ගාල්ලෙන් තවත් සක්විති කෙනෙක් අල්ලයි කෙල්ලෝ 65ක් එක්ක යාළුවෙලා සල්ලි කඩාගෙන මෙන්න රියල් පැනියෝ

ගාල්ලෙන් තවත් සක්විති කෙනෙක් අල්ලයි කෙල්ලෝ 65ක් එක්ක යාළුවෙලා සල්ලි කඩාගෙන මෙන්න රියල් පැනියෝ

මෙරට මිනිසුන් ඉතා නුවණැතිය. ඕනෑම කෙනකුගේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙන්නට ඔවුහු ඉතා දක්ෂය. එහෙත් පොඩි
ගැටලුවකට තිබෙන්නේ මේ පණ්ඩිතයන් විවිධාකාර “ගේම්කාරයන්ගේ” නූල් සූත්තරවලට නොදරුවන් මෙන් අසු වීමය. පසුගියදා එවැනි අපූරු “ගේම්කාරයෙක්” නීතියේ රැහැනට කොටු කර ගන්නට යක්කලමුල්ල පොලිසිය සමත් විය.

මෙම වංචනික අපරාධකරු වසර 7ක් පමණ කෙටි කාලය තුළ පුද්ගලයන් විශාල පිරිසක් රවටා කෝටි ගණනක මුදල් හා යාන වාහන වංචා කළ සුපිරි වැඩකාරයෙකි.
ඔහුගේ උගුලට හසුවූ කාන්තාවන් ගණන 65ක් බව යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත් පෙරේරා පවසා ඇත. මාගමුන් දැලේ දා ගැනීමට විශේෂ දක්ෂතා ඇති මෙම අනංගයා කාන්තාවන් 40කට වැඩි සංඛ්‍යාවකට මූල්‍ය වංචා සිදු කරන අතරම ඔවුන් සමඟ අඹු සැමියන් ලෙස හැසිරෙමින් විශ්වාසය තහවුරු කරගන්නටද සමත්ව තිබේ.

මෝටර් රථ බදු දීමට ඇති බවට පුවත්පත්වල පළ කරන දැන්වීම් ඔස්සේ හිමිකරුවන් සමඟ විශ්වාසය තහවුරු කොට ගනිමින් අනතුරුව කුලියට ගන්නා මෝටර් රිය තවත් පුද්ගලයකුට බදු දීම, උකස් කිරීම, විකිණීම ආදී ක්‍රමවලින් මුදල් ඉපැයීම මේ පුද්ගලයාගේ උපක්‍රමය වේ.

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පදිංචි මේ තැනැත්තාගේ වයස 38 හැවිරිදිය. දැනට ඔහුට ඇති අධිකරණ වරෙන්තු සංඛ්‍යාව 6කි. පුවත්පත් දැන්වීම් හරහා වාහන හිමියන් වෙත යන මොහු ඉතා කෙටි කාලයකින් නිවැසියන් සමඟ මිතුරු වී ඔවුන් සතු සකල සබ්බමනාවම අතගා ගැනීමේ දක්ෂයෙකි.

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් විකිණීමට අදාළ රු. 78,53,890ක මුදලක්ද, ගාල්ලේ කාන්තාවකට කෝටි 2කට ආසන්න මූල්‍ය වංචාවක්ද, වඳුරඹ කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15ක නිවෙසක් සම්බන්ධව වංචාවක්ද, මොහු පවත්වාගෙන ගිය “ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන” සමාගමක බදු මුදල් රු. 22,300,000ක් ගෙවීම පැහැර හැරීමද, තවත් ආයතනයක රු. 43,500,000ක බදු මුදල් පැහැර හැරීමද මොහුගේ වංචා අතර වේ.
මොහුගේ ප්‍රයෝගකාරී ලක්ෂණය

වන්නේ අවසන් අවස්ථාව දක්වාම තමන් ගොදුරු කරගත් තැනැත්තිය සමග නොපැකිළ දුරකතන සබඳතා පවත්වා ගනිමින් විශ්වාසය රඳවා ගැනීමය. මේ හේතුවෙන් මොහුගේ වංචාවන්ට හසුවූ බොහෝ පිරිසක් තමන් වංචාවකට හසුවී ඇති බව තවමත් නොදනිති. තම වාහනය හෝ මුදල ලැබේය යන අපේක්ෂාව නිසා ඔවුහු නීතිය හමුවට නොයති.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මොහු දීර්ඝ විමර්ශනයකින් පසු අල්ලා ගත්තේ විහාරස්ථානයක සිටියදී බවය. ඔහු පන්සලෙන් පන්සලට මාරු වෙමින් විහාරාධිපති හිමිවරු රවටා ගැනීමේ ශූරයෙකි.

යක්කලමුල්ල උඩුමලගල විහාරස්ථානයේ සැඟවී සිටි මෙම අපරාධකරු පොලිසිය පැමිණෙන විට මෝටර් රථයද එහි දමා පලා ගොස් ඇත. පසුව අම්බලන්ගොඩ පන්සලක් වටලා ඔහු පැන යෑමට උත්සාහ කරද්දී අල්ලාගෙන ඇත.

මෙවැනි ආකාරයක වංචාවකට ඔබ හසුවී ඇත්නම් වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට එම තොරතුරු දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, සහකාර පොලිස් අධිකාරි ගාමිණී ඉහළවෙල යන අයගේ පූර්ණ අධීක්ෂණය මත යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, පොලිස් පරීක්ෂක දිමුත් චමීර, පො. කො. ශාන්ත (58962), පො. කො. අමරසිංහ (40679), පො. කො. තුෂාර (73056), පො. කො. ඒකනායක (82551), පො. කො. රියැදුරු චමුද්‍රි (80849) ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙතරම් මුදලක් සොරකම් කර මොහුට ගාල්ල උසාවියේදී පසුගිය නඩුවක රජයේ ගාස්තුවක් වන රුපියල් 50ක් ගෙවීමට නොහැකි වූ අතර ඔහුගේ සාක්කුවෙහි ඒ වන විට තිබුණේ රුපියල් 12ක් පමණි.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව විවෘත වරෙන්තු 6ක් ඇති අතර ඉන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති වරෙන්තුව අනුව නඩුව පසුගිය 25දා කැඳවීය. එහිදී නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට ලබාදී තිබූ ඇප රාජසන්තක කර නඩුව අවසන් වනතුරු සැකකරු රිමාන්ඩ් කර තැබීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.

ඉමදුව – ටී. විතානවසම්
ගාල්ල – එච්. පරණවිතාන