අටේ කණ්ඩායමේ දුරදක්නා නුවන නිසා ප්‍රබල කොටි නායක සීලන්ගේ කොටි බළකොටුව සුනු විසුනු කර නැවත පැමිණි හැටි මෙන්න

අටේ කණ්ඩායමේ දුරදක්නා නුවන නිසා ප්‍රබල කොටි නායක සීලන්ගේ කොටි බළකොටුව සුනු විසුනු කර නැවත පැමිණි හැටි මෙන්න

ඕලුමඩු සිට මුලතිව් දෙසට යනතෙක්ම ආරක්ෂාව භාරව සිටි කොටි සන්නද්ධ නායකයා වූයේ සීලන් ය. කිලෝ මීටර් දොළහක් දුරට පිහිටා තිබූ සීලන්ගේ ආරක්ෂක වළල්‍ලේ විශේෂත්වය වූයේ එය කිසිවකුටවත්, රිංගාගත නොහැකි පරිද්දෙන් සීලන් වන්, ටූ, ත්‍රී නමින් ශක්තිමත් ආරක්ෂක වළලු තුනක් ඉදිකර තිබිමය.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කොටි නායකයන් හා කොටි නායකයන්ගේ පවුල්වල සාමාජිකයන් පදිංචිව සිටි නිසා එම ප්‍රදේශවලට අධි ආරක්ෂිත කලාප මෙන් දැඩි ආරක්ෂාවක් සපයා දී තිබිණි.

මෙම ආරක්ෂක වළලු තුනෙන් පළමුවැන්න ගස්අතු කපා කිසිවකුටවත් ඇතුළට රිංගා ගත නොහැකි ලෙසින් ආවරණය කර තිබිණි. ඕලුමඩු, නැදුන්කර්නි, අම්පකාමම් දක්වා ඝන කැලෑව මැද්දෙන් සීලන්ගේ මෙම ආරක්ෂක වළල්ල විහිදුණු අතර එහි ආරක්ෂාවට වැඩිපුරම සිටියේ කොටි කාන්තාවන් ය.

මෙම ආරක්ෂක වළලු තුනෙන් පළමුවෙන්ම හමුවන ආරක්ෂක වළල්ල පිහිටා තිබුණේ හමුදා ඉදිරි ආරක්ෂක වළල්‍ලේ සිට කිලෝ මීටර් දොළහක් දුරිනි. මීටර් විසිපහෙන් විසිපහට කොටි බංකර් ඉදිකර තිබුණු අතර පැය දෙකහමාරකට සැරයක් බංකර්වල ආරක්ෂාවට සිටි කොටි කණ්ඩායම් මාරු කරනු ලැබි ය.

මෙම ආරක්ෂක වළල්ල මුලින්ම විමර්ශනය වූයේ දිගුදුර විහිදුම් බළකායේ (එල්. ආර්. ආර්. පී) දොළහේ කණඩායමකට ය. එදා කෝප්‍රල් වසන්තගේ නායකත්වය යටතේ කොටි බළකොටුවට රිංගාගත් කණ්ඩායම රහසිගතව කොටි පාලන ප්‍රදේශය ඇතුළට යද්දී මෙම කොටි ආරක්ෂක වළල්ල නෙත ගැටිණි.

කොටින්ගේ ඉදිරි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා රිංගාගත් මෙම කුඩා කණ්ඩායම ඉදිරියට යන ගමන නවතා අලුතින් හමු වූ ආරක්ෂක වළල්ල විමර්ශනය කරන්නට වූහ.

කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල නිරීක්ෂණය වීමත් සමග තම කණ්ඩායමේ අට දෙනකුට පසුපසට යන්නැයි කණ්ඩායම් නායකයා උපදෙස් දුන්නේ ය. මේ අනුව අට දෙනකු පියවර එක්දහස් පන්සියයක් පසුපසට ගොස් ආරක්ෂිත තැනක් සොයා නැවතුණේ ය.

කෝප්‍රල් වසන්ත ඇතුළු සිව් දෙනකු කොටි ආරක්ෂක වළල්ලට ළඟා වී ඇහුම්කන් දීමේ මුරයක නිරත වූහ. පැය භාගයක් පමණ සවන් දීමේ දී ආරක්ෂක වළල්‍ලේ කොටි ක්‍රියාකාරකම් සිදුවන බවට තහවුරු විය. බංකර් පෙළට පිටිපස්සෙන් පාරක් ඉදිකර තිබෙන බව ද නිරීක්ෂණයේ දී තහවුරු විය. පැය එකහමාරක් පමණ නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම කණ්ඩායමේ පළමු පියවර අවසන් වූයේ ය.

සීලන්ගේ ආරක්ෂක වළලු තුන පසුකර අම්පකාමම් වෙත යෑමට මෙම කණ්ඩායමට මීළඟට උපදෙස් ලැබිණි.
අම්පකාමම් දෙසට ඉදිරියට ගමන් ඇරඹූ කෝප්‍රල් වසන්ත ඇතුළු දොළහේ කණ්ඩායමට මෙවර කිලෝ මීටර් අසූවක් පමණ ගමනට යෑමට සහ ඒමට ද සිදු විය.

අම්පකාමම් දෙසින් සීලන්ගේ ආරක්ෂක වළල්ලට ළඟා වූ මෙම කණ්ඩායම කොටින්ගේ බංකර් පෙළට ළඟා වීමත් සමග එහි කිසිවකුත් නොමැති බව නිරීක්ෂණය විය. බංකර් දෙකක් අතරින් ගමනට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමට කණ්ඩායමේ පෙරගමන්කරුවා කටයුතු කළේ ය. මේ අනුව එහි බෝම්බ, මර උගුල් අටවා ඇතිදැයි පරීක්ෂා කර සීලන්ගේ ආරක්ෂක වළල්ල පැන ගැනීමට මාර්ගයක් සකස් කර ගැනිණි.

ශක්තිමත් ලෙස සකස් කර තිබූ කොටි බංකර් අතරින් රිංගාගත් කණ්ඩායම එතැනින් ගමකට ඇතුළු විය. ඒ වන විට ගමේ කිසිදු හැල හොල්මනක් නොවීය. මෙහි එල්ටීටීඊ කොඩිය ද එල්ලා තිබිණි.

මෙහි වූ නිවාස තුනක් වෙත සිව්දෙනාගේ කණ්ඩායම් ලෙසින් ඇතුළු වී ආරක්ෂාව තහවුරු කරන්නට කෝප්‍රල් වසන්ත උපදෙස් දුන්නේ ය. පසුදින අලුයම 3.30 වෙද්දී එක්වරම කොටි කණ්ඩායම් තම ආරක්ෂක වළල්ල ආවරණය කළේ ය.

නොසිතූ මොහොතක වූ මෙයින් වසන්තගේ යටතේ වූ දොළහේ කණ්ඩායම කොටි බළකොටුව තුළටම කොටුවිණි.
එසැණින් තවදුරටත් කොටි පාලන ප්‍රදේශය තුළටම රිංගා ගැනීමට තීරණය කළ මෙම භට පිරිස් තවත් පියවර හාරදහසක් පමණ ඇතුළට රිංගා ගත්හ. අත්හැර දැමූ වැවක් අසලට ළඟා වී ආරක්ෂිතව රැඳී සිට හතරේ කණ්ඩායමක් යළිත් කොටි ආරක්ෂක වළල්ල වෙත ළඟා විණි.

කොටින්ගේ බංකර් හා ආරක්ෂක වළල්‍ලේ තොරතුරු රැස්කර ගෙන එතැනින් පැන ගැනීමට අවශ්‍ය තැන ද ඔවුහු තෝරා ගත්හ. අලුයම 4.30 වන විට එම ස්ථානයෙන් පැනගැනීමට සියලු දෙනා තීරණයකට පැමිණියහ.
අලුයම් කාලයේ තෝරාගත් තැනට පැමිණි මෙම කණ්ඩායමට වැසිකිළි යෑමට බෙලෙක්ක දෙකකට වතුර රැගෙන තුවක්කු සමග තම දෙසට එන කොටි ත්‍රස්තයන් දෙදෙනකුව නිරීක්ෂණය විය.

දොළහේ කණ්ඩායමේ සිටි දෙමළ භාෂාව හොඳින් දන්නා වලිසුන්දර සැක නොහිතෙන සේ ඉදිරියට ගොස් දෙමළ භාෂාවෙන් කතා කර එක්වරම කොටි දෙදෙනාට වෙඩි තැබුවේ ය.

එසැණින් කොටි ආරක්ෂක වළල්ලෙන් පැන ගත් මෙම කණ්ඩායම හමුදා ආරක්ෂක වළල්ල වෙත ආරක්ෂිතව පැමිණියේ එහි තොරතුරු සියල්ල රැස් කරගෙන ය.

යළිත් පසුපසට පැමිණි දිගු දුර විහිදුම් බළකා සෙබළුන් තමන් ලබාගත් තොරතුරු තම නිලධාරින් වෙත දැනුම් දුන්හ. මේ අනුව තීරණය වූයේ සීලන්ගේ ආරක්ෂක වළල්ල විශේෂ බළකා සෙබළුන් යොදවා පහර දී අත්පත් කර ගැනීමට ය.
ඒ සඳහා යළිත් කුඩා කණ්ඩායමක් කොටි බළකොටුව තුළට රිංගවා එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට තීරණය විය. මෙම මෙහෙයුමට අවශ්‍ය තොරතුරු සෙවීමට කෝප්‍රල් වසන්තගේ යටතේ වූ දොළහේ කණ්ඩායමක් යළිත් කොටි බළකොටුවට රිංගා ගත්හ.

පළමු කොටි ආරක්ෂක වළල්‍ලේ රහසිගත තැනකින් රිංගා ගත් මෙම කණ්ඩායම උපක්‍රමශීලීව සීලන්ගේ ආරක්ෂක වළල්ල සොයා ඉදිරියට ඇදුණහ.

සීලන්ගේ ආරක්ෂක වළලු තුනෙන් පළමු ආරක්ෂක වළල්ල වෙත ළඟා වූ මෙම කණ්ඩායම ආරක්ෂිත තැනට ගොස් ආවරණ ගෙන කාලතුවක්කු ඉලක්ක පත් ලබා දෙන්නට වූහ. කනගරායන්කුලම්, නැදුන්කර්නි ප්‍රදේශවල ස්ථානගත කර තිබූ කාලතුවක්කු අවි දහයක් යොදාගෙන පැය භාගයක් පමණ පුරාවට එක දිගට ප්‍රහාර එල්ල කරන්නට වූයේ මේ සමගිනි.

පැය භාගයක් පුරා එක දිගට කොටි ආරක්ෂක වළල්ල වෙත ඇදවැටුණු කාලතුවක්කු ප්‍රහාරවලින් ප්‍රදේශයම ගිඟුම් දුන්නේ ය. කාලතුවක්කු ප්‍රහාරය නැවතීමත් සමග ප්‍රදේශයම හැල හොල්මනක් නොවී ය.

මීළඟට තිබුණේ සීලන්ගේ ආරක්ෂක වළල්ලට රිංගා ගැනීමය. මෙය වසන්තගේ කණ්ඩායමට වූ මීළඟ අභියෝගය විය. අඩි අටක් පමණ උසට කම්බි ගසා සැකසූ වැට සම්පූර්ණයෙන්ම කොළ අතුවලින් ආවරණය කර තිබුණෙන් ඇතුළේ වූයේ කුමක්දැයි දැන ගත නොහැකි විය.

අවසානයේ කෝප්‍රල් වසන්ත, සමග කෝප්‍රල්වරුන් වන අතපත්තු, රොෂාන්, සේනසිංහ යන හතරේ කණ්ඩායම මෙම ආරක්ෂක වැට මතින් ඇතුළට යෑමට එකඟතාවකට පැමිණියහ. මේ වන විට ඇතුළේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව තිබිණි. මේ වන විට මහදවල් වූයෙන් මෙම ආරක්ෂක වැට පැන ගැනීම අවදානමක් විය. ඒ කොතැනක කොටි ත්‍රස්තයන් සිටී දැයි සිතාගත නොහැකි නිසා ය.

එකවරම අඩි අටක් උස වැටෙන් පනින්නට වසන්ත ඇතුළු හතරේ කණ්ඩායම කථිකා කරගත්හ. මේ අනුව එක්වරම කොටි ආරක්ෂක වළල්ල වෙත පැනගත් හතර දෙනාගේ කණ්ඩායම කොටි බංකර් පසුකර පසුපසට ගොස් ආවරණ ගත්හ.
එතැන් පටන් බංකර්වලට පසුපසින් බංකර් එකින් එකට පරීක්ෂා කිරීම ආරම්භ විය. මීට පැය භාගයකට කලින් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයෙන් කොටි බංකර් බොහෝමයක් කැඩී ගොස් තිබිණි. ගස්කොළන් කඩා වැටී බංකර් යට වී තිබිණි. බංකර් තුළම කොටි ත්‍රස්තයන් මියගොස් හා යට වී සිටියහ.

හෙමින් සීරුවේ බංකරයෙන් බංකරය පරීක්ෂා කර ඒවායේ කොටින් සිටිනවාදැයි බලන්නට වසන්ත හා රොෂාන් කටයුතු කළහ. අනෙක් දෙදෙනා දෙපැත්තෙන් ආරක්ෂාව සපයන්නට වූහ.

බංකරයෙන් බංකරයට රිංගා ගිය වසන්ත හා රොෂාන්ට බංකරයක් තුළ සිටින කොටි කාන්තාවන් සිව් දෙනකු නිරීක්ෂණය විය. මෙහි සිටි කොටි කාන්තාවන් සිව් දෙනා මියගොස් ඇතැයි සිතා එක් කොටි කතකගේ කකුලෙන් ඇද දමන්නට උත්සාහ කරද්දී කොටි කත කකුල ඇතුළට ඇද ගත්තේ ය. ක්ෂණිකවම සිදු වූ දෙයින් මේ සිටින්නේ හමුදාවෙන්ද කියා කොටි කතට පවා සිතාගත නොහැකි විණි.

කාලතුවක්කු ප්‍රහාරයෙන් මුසපත්ව බියෙන්, තැතිගත් කොටි කතුන් සිව් දෙනා මියගොස් නැති බවත්. මියගිය වුන් මෙන් ගුලි වී බිම වැටී සිටින බවත් තහවුරු විය. මේ සිව්දෙනාට වෙඩි තබන්නට ගියහොත් ඇතුළේදීම කොටුවිය හැකි නිසා එය නොකර පසුබසින්නට මෙම කණ්ඩායමේ සෙබළුන් තීරණය කළහ.

සීලන්ගේ ආරක්ෂක වළල්ල තුළට පැනගත් තැනින්ම ක්ෂණිකවම ඉවතට පැන ගැනීමට ගත වූයේ තත්ත්පර ගණනකි. එතැනින් පැනගත්ත ද තමන් සිටියේ කොටි පාලන ප්‍රදේශය තුළ නිසා තවදුරටත් අනාරක්ෂිත බව මොවුන්ට හැඟුණේ ය. මෙම කණ්ඩායමේ ඉතිරි අට දෙනා රඳවා තිබුණේ මෙතැනට කිලෝ මීටර් දෙකහමාරක් පසුපසිනි.

තමන් පැනගත් මාර්ගය පසුපස කොටි කණ්ඩායමක් ලුහුබැඳ ඒමට ඉඩ ඇති බව වසන්තගේ කණ්ඩායමට ඉවෙන් මෙන් සැකයක් ඇතිවිණි. එක දිගට නොගොස් අතරමගදී මගරැක සිට පහර දීමක් සඳහා සුදුසු තැනක රැඳී සිටීමට මෙම කණ්ඩායම තීරණය කළේ ය.

අඩිපාරක වම්පැත්තේ රැක සිට පහර දීමකට සූදානම්ව සිටිය දී එක්වරම ශබ්දයක් ඇසිණි. සැකය තහවුරු කරමින් කොටි කාන්තාවන් අට දෙනකු මෙම කණ්ඩායම ගිය මග ලුහුබඳිමින් එන බව සනාථ විය.

මේ වන විටත් සියලුම දේට මුහුණ දීමට සූදානම්ව සිටි වසන්තගේ කණ්ඩායම එක්වරම එල්ල කළ ප්‍රහාරයෙන් කොටි කාන්තාවන් අට දෙනා එක තැන මැරී වැටුණහ. කොටි කතුන් අට දෙනා මරා දැමූ විගස තවදුරටත් පසුපසට වේගයෙන් ගමන් කළ මෙම හතරේ කණ්ඩායම අතරමග දී තම ඉතිරි පිරිස සමග එක් වූහ. එතැන් පටන් කිලෝ මීටර් දහයක් දුර ගෙවමින් එදිනම හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පැමිණීමට මෙම කණ්ඩායම සමත් වූහ.

මුලතිව්වලට යෑමට නොහැකි වන ලෙස ඉදිකර තිබූ සීලන්ගේ ඉදිරි ආරක්ෂක වළල්‍ලේ කරක් ගසා එහි වූ කොටින් ද මරා පැමිණි මෙම කණ්ඩායමේ බුද්ධි තොරතුරු ඉතා වැදගත් විය.

මේ අනුව විශේෂ බළකායේ බලඝනයක් යොදවා සීලන්ගේ සම්පූර්ණ ආරක්ෂක වළල්ලටම පහර දී විනාශ කර එහි බලය අල්ලා ගන්නට හමුදා නායකත්වයට හැකි විය. මුළු කොටි ආරක්ෂක වළල්ලම ගිනි තබා සීලන්ගේ ආධිපත්‍යය වනසා දමන්නට විශේෂ බළකා භට පිරිස්වලට හැකි වූයේ කුඩා කණ්ඩායම් ලෙසින් ගොස් ලබාගත් තොරතුරු නිසා ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *