අපි උපදින්නේ ඉරණම අතින් අරගෙනයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්තෙත් එහෙමයි මම ලමති විජය ගැන කතාකරන්න විතරයි මාලනී විජයගේ පෙම ගැන කතාකරයි

අපි උපදින්නේ ඉරණම අතින් අරගෙනයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්තෙත් එහෙමයි මම ලමති විජය ගැන කතාකරන්න විතරයි මාලනී විජයගේ පෙම ගැන කතාකරයි

ඇය හෙළ සිනමාවේ නිළි රැජින ලෙස අභිෂේක ලබා සිටින්නීය. මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද සම්මානයට පත්‍රවූ ඇය නොයෙකුත් දුක් කම්කටොළු මැදින් ඉදිරියට ගිය නිර්භීත එඩිතර කාන්තාවක් යැයි හැඳින්වුවහොත්, එය වඩාත් නිවැරැදිය. ජීවිතය තුළ ගල්, මුල් වැදුණ ද ඒවා උපේක්ෂා​ෙවන් බලමින් තම ගමන සාර්ථක ලෙස අදටත් ඇය ගමන් කරමින් සිටින්නේ කාගේත් ආදරය, ආශිර්වාදය ලබමිනි. මේ නිසාවෙන්ම කොයි තරම් ඇයට චෝදනා අපවාද සමහරු එල්ල කළද, ජනතාව ඇය තව තවත් ඉහළින් අගය කිරීම හා වැළඳ ගැනීම සිදුකළේ ඒ අයට කනේ පහරක් ගසමිනි.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරිය ලෙසින්ද ඇය ක්ෂේත්‍රයේ ඉහළ තලයට පැමිණියාය. රංගන දිවියේදී ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්‍ෂකයන්ගේ සිත් සතන් තුළ නිදන් ගත වුවාය. මේ නිසා ඇයට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තාය. අදටත් ඇය නිලියන් අතරින් ඉහළ ස්ථානය වැජබෙන්නේ ඒ නිසාවෙනි.

පසුකලෙක ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසද කටයුතු කිරීමේ වාසනාව උදා කරගත්තේ, එවැනි තනතුරක් ලැබූ පළමු සිනමා නිළිය ලෙස වාර්තාවක් තබමිනි. අද එයින් විශ්‍රාම ලබා ඇය තම සුපුරුදු කටයුතුවල නිරත වෙන්නේ පෙරටත් වඩා උද්යෝගයකිනි. ඇය නමින් ආචාර්ය මාලනී සෙනෙහලතා ෆොන්සේකාය. ඇයගේ මෙම දක්ෂතාවය නිසාම මීට වසර කිහිපයකට පෙර සෞන්දර්ය කළා විශ්‍වවිද්‍යාලයෙන් ආචාර්ය ගෞරව උපාධිය ද හිමිකරගන්නා ලදී.

‘‘හෙළ සිනමා නිළි රැජින’’ ලෙස සැලකෙන ආචාර්ය මාලනී ෆොන්​ෙස්කාගෙන් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන කතා කිරීමට මා හිතාගත්තේ මීට මාස ගණනකට පෙරදීය. එහිදී ඇය මුලින් අකමැති වූ අතර, පසුව මගේ බලවත් ඉල්ලීම මත ඇය එය පසුව දෙන්නම් කියා මඟ හැරියාය. එ්ත් මේ නිරහංකාර අව්‍යාජ වාසනාවන්ත නිළිය මට පිටුපෑවේ නැත.

ඇය ‘‘රිදී රැයක්’’ ප්‍රසංගය අවසාන වෙනවාත් සමඟ මා සමඟ කතා බහ කිරීමට කැමති වූයේ මා කෙරෙහි පැවති විශ්වාසය හා ආදරය නිසාවෙනි. ඉදින් ප්‍රථම වරට ඇය ‘‘ආදරය, ප්‍රේමය හා විවාහය’’ ගැන කතා කළේ මා හටත් හිත් නොරිදන ආකාරයෙනි. මේ අැයගේ කතාවයි. ඇයට තුනි පුදමින් ඒ කතාබහ මෙලෙස මම පත්ඉරුවක සටහන් කරන්නෙමි.

ඔබ මේ දිනවල මොනවද කරන්නේ කියා මුලින් අපි දැනගන්න කැමතියි. එයින්ම අපේ කතා බහ අරඹමු නේද?

ඔව්. ඒක හොඳයි. පසුගිය වකවානුවල අපි රූගත කිරීම්වල කාර්යබහුල තත්ත්වයකයි යෙදිලා හිටියේ. එහෙම වෙලා කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයෝ එකතු කරගත්තාට පස්සේ, හිතනවා ටිකක් නිවාඩුව දැන් ඉන්න ඕනෑ කියලා. දැන් තමයි ඉස්සරටත් වැඩිය කාර්යබහුල වෙලා තියෙන්නේ නිවාඩුවක් හොයා ගන්න අමාරු වෙලා.

දැන් රූගත කිරීම්වලට අමතරව, උත්සවවලට, පාසල්වල කලා උළෙලවල්වලට, නොයෙකුත් ප්‍රවර්ධන කටයුතුවලට ආදී බොහෝ දේවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයේ මුහුරත් උළෙලවලට, මංගල දර්ශනවලට ආරාධනා ලැබෙනවා. ඒවාට වෙනම කාලය වෙන් කරගෙන යන්න ඕනෑ. මෙතෙක් කලා ක්ෂේත්‍රයේ සිටි කලාකාරිනියක් ලෙස ඒවාට යන එක මගේ යුතුකමක්. එය මම කළ යුතු දෙයක්.

ඒ නිසා ඒ දේවල් මා භාරගන්නවා. හැබැයි කාර්යබහුල වූ විට සමහර ඒවා භාරගන්න බැරි වන අවස්ථාත් තිබෙනවා. ඒ වගේම දෙරණ අලුතින් 20-20 කියලා අලුත් රියැලිටි වැඩසටහනක් පටන් ගන්නවා. ඒ තරගය විනිශ්චය කරන්න මමයි, චන්නයි, සමිතායි සහභාගි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන කටයුතුවලට දායක වුණා. රූගත කිරීම්වලට මේ දිනවල කෙරුණේ මගේ නංගී දමයන්ති ෆෝන්සේකා කරන ‘කිරි අම්මා’ නාට්‍යයේ රඟපෑමයි.

පසුගිය කාලයේ ඔයා මන්ත්‍රී ධුරයක් හෙඹවූවා. දැන් එයින් විශ්‍රාම ගිහින්. දැන් දුකක් ඇති වන්නේ නැද්ද?

නෑ. අවංකවම නෑ. ඒ කියන්නේ මට ඒ වගේ මන්ත්‍රී ධුරයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියෙත් නැහැනේ. මට ආසාවක් තිබුණා අවංකව එවැනි තනතුරක සේවයක් කරන්න. ජාතික ලැයිස්තුවෙන් ඒ එක්කම මට මන්ත්‍රී ධුරය ලැබුණා. සිනමාව වෙනුවෙන් කළ උපහාරයක් ලෙසින් තමයි මට එය ලැබුණේ. එහිදී අවුරුදු 5ක් මම දේශපාලනය සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් ලබාගත්තා. සේවය කරද්දී එන ගැටලු කරන්න පුළුවන් ප්‍රමාණය කොතරම්ද ඒ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්ද බැරිද යන බොහෝ දේ මා එයින් ඉගෙන ගත්තා. මම බෙහෝ දේ බොහොම නිහඬව කළා. තව දේවල් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒවා කරගන්න බැරිවුණා.

මම නිහඬව කියන වචනය කිව්වේ තේරුමක් ඇතිවයි. මොකද කෙනෙකුට හිතන්න පුළුවන් මම මොකුත් කළේ නෑ කියලා. නමුත් මට අවශ්‍ය වුණේ නෑ මා කළ කාර්යයන් ලොකුවට ප්‍රචාරය කරන්න. එහෙම මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. මොකද මට ප්‍රචාරය, ප්‍රසිද්ධිය ඕනෑතරම් ලැබිලා තිබුණේ. ඒ නිසා එ්ක ලැබෙන එක ගැන ලොකුවට වුවමනාවක් තිබුණේ නෑ. නමුත් මම හිතනවා සමහර වෙලාවට, එහෙම මා කළ දේවල් ගැන ප්‍රචාරය නොකිරීම වැරැදියි කියලා.

ඒ නිසා තමයි හුඟක් දෙනා මම මොකුත් කළේ නෑ කියලා කියන්නේ. නමුත් මගේ හිතත් දන්නවා මගෙන් ප්‍රයෝජන ලබාගත් අයත් දන්නවා, මා කරපු දේවල් ගැන. එහෙම කියනකොට හිතට යම් කනගාටුවක් එනවා. මොකද මම බොහොම අවංකවම වැඩකළා. මට ලැබුණු ප්‍රතිපාදනවලින් යම් මන්ත්‍රීවරුන් ඒ අයගේ ප්‍රදේශවලට කරන කටයුතුවලදී උපකාර කළා. මට ලංකාවේ ඕනෑම අයකුට ඒ ප්‍රතිපාදන පාවිච්චි කරන්න පුළුවන් හින්දයි එවැනි දේවල් කළේ. අද හිතනවා ඒ පිළිබඳව ප්‍රචාරණයක් ලබා නොගැනීම වරදක් කියලා.

ආපහු දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නවාද?

එහෙම හිතාගෙන නෑ. මේ මනාපක්‍රමය විශේෂයෙන්ම කාන්තාවකට අමාරුයි. අනෙක මට තේරුම් ගිය කාලයේ මම දැක්ක මේ මනාප ක්‍රමය නැති කාලයේ කොහොමද වැඩ කළේ කියලා. ඒ නිසා මම හැම තිස්සේම හිතන විදිහක් තමයි මේ මනාප ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නෑ කියන එක. මනාප ක්‍රමය හුඟාක් අමාරුයි. ඒකට මට මුහුණ දෙන්න බැහැ.

ඒ කියන්නේ කාන්තාවන්ට දේශපාලනයේදී අයුතු යෝජනා වැඩියි ද?

අපෝ නෑ. මම අයුතු යෝජනාවලට පොඩ්ඩක්වත් බය නෑ. කාන්තාවන්ට විතරක් ​නොවෙයි අවංකවම දේශපාලනය කරන කාටත් අමාරුයි. එතනදී ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. අවංකව දේශපාලනය කරන්න ගියාම වෙන දේවල් මා පාර්ලිමේන්තුව ඇතුළේ දැක තිබෙනවා. ඒ අය අධෛර්යට පත් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා අවංකව සේවය කරන හොඳ දේශපාලනඥයෝ බොහොම නිහඬව ඉන්නවා. ඒක අපේ රටට ලොකු පාඩුවක්. එහෙම අය තමයි අතීතයේ හිටියේ.

එහෙම නම් ජීවිතය ගැන දැන් ඔයාට මොකද හිතෙන්නේ?

ඉස්සර මට මගේ ජීවිතය මේ විදිහයි, අනෙක් අයගේ ජීවිත මේ විදිහයි කියලා තේරුම් ගන්න බැරි වුණා. ඕනෑම කෙනෙකුට කාලයක් යනවිට වැටහෙනවා ජීවිතය කියන්නේ මොකද්ද කියා. අද වෙනවිට මම ජීවිතය බොහොම හොඳට පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු හා ආසාවන් ගැන හොඳ වැටහීමකින් ඉන්නේ. ආසාවන් ගැන එහෙම කැමැත්තක් නෑ. මොකද ඒ තුළ එන්නේ කනගාටුව. නමුත් බලාපොරොත්තු කියන එක තිබෙන්න ඕනෑ. බලාපොරොත්තුව කියන තැන තව වැඩ කරන්න පුළුවන් කියන අදහස එනවා. දෙයක් කරන්න වුවමනාව තිබෙනවා නම් සිතුවිලි එක්ක ධනාත්මක විදියට වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුව අයියෝ දැන් ඇති වැඩ කළා. මොනවටද වැඩ කරලා කියන අදහස කොයිවෙලාවකවත් මගේ සිතේ නෑ.

ඕනෑම කෙනෙක් ස්වභාවධර්මයට අනුකූලයි. මම දන්නවා කවදා හරි මැරෙනවා කියලා. ඒ වෙනතුරු අපට ජීවිතයක් තිබෙනවා​ෙන්. ඉතිං ඒ ජීවිතය අපරාදේ විනාශ කර ගන්නේ. අයියෝ මැරෙනවා කිය කියා හිත හිතා ඉඳලා වැඩක් නෑ. ඒ තුළ ජීවිතය ධනාත්මක ලෙස ඉදිරියට ගෙන යා යුතුයි.

එවැනි ජීවිතයක් තුළ ආදරය, ප්‍රේමය ඔයා හඳුනා​ෙගන තිබෙන්නේ කොයි විදියට ද?

ආදරය, ප්‍රේමය කියන එක හරිම සුන්දර දෙයක්. ඒක හරිම අවශ්‍යයි. ඒක අපි ජිවිතේ හුස්ම ගන්නවා කෑම ගන්නවා වගේ සමානව අවශ්‍යම දෙයක්. ඒක නැතුව ජීවත් වෙන්න බැහැ. ඉතිං ආදරය ප්‍රේමය කියන එක විවිධයි. මවුපියන්ට දරුවන්ට, සහෝදර, ස​ෙහ්දරියන්ට යහළුවන්ට, ප්‍රේමවන්තයන්ට, සත්තුන්ට දක්වන ආදරය විවිධයි. ඉතිං ඒ විවිධ වූ ආදරය මම හොඳට හඳුනාගෙන තිබෙන්නේ.

ඒ සෑම ආදරයක්ම පටන් ගත්තේ කොහොමද? ඒක පවත්වාගෙන යන්නේ කොහොමද? ඊට පස්සේ ඒක අවසන් වුණාම සතුටෙන් ද දුකෙන් ද ඉවත් වෙන්නේ? දුකෙන් ඉවර වුණාම හිතට දැනෙන වේදනාව යනාදී සියලු දේ මම අත්විඳලා තිබෙනවා. ඒවා ගැන හොඳට අවබෝධයක් තිබෙනවා. සමහරු හිතන්න පුළුවන් ඒවා ගැන හිතලා මම කනස්සල්ලෙන් ඉන්නවා කියලා. එහෙම පොඩ්ඩක්වත් නෑ. එදා වගේම අදත් මම හොඳින් ඉන්නවා. හැබැයි අර බලාපොරොත්තු කියන එක තිබෙනවා.

ඔයාට එවැනි ආදරයක් ඇති වුණේ, ඒ කියන්නේ ප්‍රේමවන්තයෙක් ගැන අදහසක් ඇති වුණේ කොයි කාලයේද?

(සිනාසෙන්නට විය) මටත් මතක නෑ. මොකද ඒ කාලයේ දැණුනු දේවල් ආදරය කියලා කියන්න බැහැ. දැක්ක ගමන් ඇති වන හැඟීම තමයි ඒ දවස්වල අපේ සිතේ ඇති වෙන්නේ. අවංකව ආදරය කියන එක එකිනෙකාට ගෞරව කරගෙන එකිනෙකාගේ අදහස්​ තේරුම් අරගෙන කරන එකක් කියලා තේරුම් ගන්නේ කාලයක් ගියාට පස්සේ. ඇත්තමට මම නම් ජීවිතේ ආදරේ කරද්දි ඒ විදිහට තමයි ආදරය කළේ. මම හැම තිස්සෙම සිතුවේ අනෙක් කෙනාගේ ජීවිතය පිළිබඳවයි.

පාසල් කාලයේදී එහෙම සම්බන්ධයක් ඔබට තිබුණේ නැද්ද?

එහෙම ලොකුවට ගිය එකක් නෑ. ලියුම් දීපු ඒවා තිබුණා. හොරෙන් පොත් අස්සට දාලා ලියුම් දීපු අවස්ථා තිබුණා. පොඩ්ඩක් කතා කරන්න ඕනෑ කියන ඒවා තිබුණා. ඒ දවස්වල අපි අම්මාට හරි බයයි. නමුත් ඊට වඩා මට ඒක අවශ්‍යම දෙයක් විදියට ඕනෑ වෙලා තිබුණේ නෑ. ඊට වඩා මම ඕපන්, හුඟාක් විනෝදයට හිටි කෙනෙක්. කොල්ලොත් ඒ දවස්වල මාත් එක්ක කතා කරන්න බයයි. කතා කරපු ගමන් ඇයි මොකද? කියලා කඩාගෙන පනිනවා. ඒ නිසා ආදරයක් ගැන මගෙන් අහන්න ඔවුන් බය වුණා.

පාසල් කාලයේදීම ඔයා රංගනයට එක් වෙනවා. එතනදී නළුවන්, අධ්‍යක්ෂවරුන් ඔයාව දැලේ දාගන්න උත්සාහ කරන්න ඇති නේද?

රංගනයට ආ විට ඒක මට ඉතාම සතුටුදායක එකක් වුණා. මම මේ රංගනයත් එක්ක කලා ලෝකයට එක්වීම ගැන හරිම සතුටු වෙනවා. කලා ලෝකයට මම ආ නිසා මාව පුදුම විදියට වෙනස් වුණා. හරිම සතුටින් ජීවත් වුණා. පස්සේ කාලයක මෙය රැකියාවක් වුණා. මම පුදුම විදියට සතුටින් ඒ රැකියාවේ නිරත වුණා. මගේ රැකියාවට මම හරියට ගෞරව කරනවා. මම බොහොම නිහතමානීව සතුටු වෙනවා, මේ වගේ රැකියාවක් ලැබීම ගැන. ලෝකයේ අනෙක් රැකියාවන් ගැන පහත් කරනවා නොවෙයි. මේ රැකියාව කොයි තරම් උසස් ද? මිනිසුන්ගේ ආදරය, කැමැත්ත, දිනාගන්න ලෝකය දකින්න මගේ මවුපියන්ට, සහෝදර, සහෝදරියන්ට යාළුවන්ට උදව් කරන්න සමාජයේ හොඳ තැනක් ලබන්න වගේ දේවල් මට ලැබුණේ මේ රැකියාව හින්දයි. ඒ නිසා මම සතුටු වෙනවා.

ඒ කාලයේ නළුවන් සමග ආදර සම්බන්ධතා ඇති වුණා. එහෙම නොවුණා නම් තමයි ප්‍රශ්නය වෙන්නේ. එහෙම එකට වැඩ කළ පමණින් හැමෝම එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියේ නෑ. විජය මුණ ගැසීම ලොකු දෙයක් වුණා. ඔහු මුණ ගැසීම ගැන සතුටු වුණා. ඒ හරහා අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වුණා. එය ඒ කාලයේ හැමෝම දන්න දෙයක්.

ඔයා විජය කුමාරතුංග සමග විවාහ වෙන්නත් ගියා නේද? අැත්තටම ඒක නැති වුණේ කොහොමද?

මෙහෙමයි, ඒක එක එක්කෙනාගේ ජීවිතවලට අපි ඉපදෙන විට අපට ඉරණම මේ විදිහයි කියලා ලියැවී තිබෙනවා. ඒ ලියැවුණු ඉරණම විදියට තමයි විජයගේත් මගේත් ජීවිතය ගමන් ගත්තේ. ඒක අපි දන්නේ නැහැ කොහොම සිද්ධ වෙයිද කියලා. ජීවිතේ සතුට දුක පරාජය ලැබෙනවා ද කියා අපි දන්නේ නෑ. ඒවාට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම දේවල්වලට මම අනන්තවත් මුහුණ දීලා තිබෙනවා. ඒ මුහුණ දුන් ඒවාට මම වහල් වෙලා ඉන්නේ නෑ. මොළය කල්පනා කරලා ඊළඟට මගේ හිත හදා ගෙන ඉදිරියට මගේ ගමන ගියා.

හරි මම අහන්​ෙන් විජය එක්ක තිබූ ඒ සබඳතාවය නැති වුණේ කොහොමද කියලයි?

(ඇය සිනාසෙමින් කල්පනා කරන්නට වූවාය)

තරුණ කාලයේ ඇති වන හැඟීම්, ඒවා නැතිවෙලා යන ආකාරය පිළිබඳව අපි කිසිම කෙනෙකුට උත්තර දෙන්න බැහැ. මම ඒකයි කියන්නේ අපි ඉරණම අතින් අරගෙනයි ඉපදෙන්නේ කියලා. ඒ ඉරණමට අනුව තමයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්​ෙත්.

පසු කාලයේදී ඔයා තවත් ජනප්‍රිය නළුවෙක් සමග සබඳතාවක් ඇති කර ගත්තා නේද?

ඒ ගැන අපි කතා නොකර ඉඳිමු නේද? මොකද මට එහිදී හොඳ නරක ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මම කැමති නෑ කිසි කෙනෙක් හෙළා දකිමින් කතා කරන්න. එයත් මගේ ඉරණම මත සිදු වූ දෙයක් ලෙසටයි මා දකින්නේ. එතනින් එහාට ඒ ගැන කියන්න දෙයක් නෑ.

එතකොට ඔයාට කොයි කාලයේදී ද විවාහයක් ගැන අදහසක් සිතේ ඇති වුණේ?

කවදත් මට විවාහ වෙන්න ඕනෑ කියන හැඟීම ඒ කාලයේ තිබුණා. ඒකට විවිධ ප්‍රශ්න මතු වූ හින්දා ඒවා නැති වෙලා ගියා. පස්සේ තමයි විවාහයක් සිදු වුණේ. ඒ විවාහයත් ගැළපීම නැති වූ හින්දා ඒකත් නතර වුණා. ගෙදරින් මට බලපෑම් කළේ නෑ විවාහ වෙන්න කියා.

නමුත් ඔයා ළඟ සිටි අය මාධ්‍යවලින් විවිධ චෝදනා එල්ල කළා නේද? ඇයි ඔයා ඒකට නිහඬ වුණේ?

මම කැමති නෑ ඒ ගැන කතා කරන්න. ඒ අය මාධ්‍යවලට ගිහින් කතා කළාට, මම නම්වලින් ඒ අය ගැන කතා කරන්න කැමැති නෑ. කතා කරනවා නම් කතා කරන්නේ විජය ගැන විතරයි.

ඔබේ විවාහයත් කඩාකප්පල් වුණේ ඔයාගේ වරදක් හින්දද? නැත්නම් වෙනත් හේතු හින්දද?

දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැනේ. අනෙක ඒවා ගැන පශ්චාත් පරීක්ෂණ කියලා වැඩක් නෑ. ඒවා කිව්වාම මම තව කෙනෙක්ට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්. ඔවුන් මට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මට ඇඟිල්ල දික්කරලා මගේ වැරැදි කිව්වාම, මම දන්නවානේ මගේ සිත කවුද කියලා. ඒ නිසා මම ඒවායින් සැලෙන්නේ නෑ. මට ඇඟිල්ල දිගු කරලා මාධ්‍යවලින් මා ගැන කතා කළාට, මම කොයිවෙලාවකවත් ඇඟිල්ල දිගු කරලා ඔවුන්ට කතා කරන්නේ නෑ. මම එයින් සැලෙන්නෙත් නෑ. ඒවා ගැන මාධ්‍යවලින් කතා කරන්න අවශ්‍ය නෑ කියලා මම සිතන්නේ.

ඔයා මේ කරුණුවලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඔයා කිසිම කෙනෙක්ට හිත රිදවන්නේ නැතිව, විවේචනය කරන්නේ නැතිව කතා කරන චරිතයක් ලෙසයි අප දකින්නේ. මේවා ගැන හොඳ අවබෝධයක් තියාගෙන නේද ඔයා වැඩ කරන්නේ?

අනිවාර්යයෙන්ම ඒක හරියටම හරි. මම එහෙම දුරස් වෙන කොට, ඒ ප්‍රශ්නය මගේ නොවෙයි කියලා එළියට අරගෙන බොහොම මධ්‍යස්ථව ඒ ගැන බලනවා. මම එහිදී ඇයි මම එහෙම කළේ මගේ අනෙක් කෙනා මොනවද කළේ බොහොම සමබර විදිහට එහිදී මම කිරලා බලනව​ා. එතනදී මම පිළිගන්න දෙයක් තමයි ගරු කරන දෙයක් තමයි ඒ සම්බන්ධතාවයන් පෞද්ගලිකයි.

ඒ සිද්ධීන් ඔක්කොම පෞද්ගලිකයි. ඒවා කතා කිරීමෙන් මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. ඒ ප්‍රචාරය හොඳ දෙයක් ද නරක දෙයක් ද කියන එක ගැනවත් මම කතා කරන්නේ නෑ. තව කෙනෙක් ඒ ගැන මාධ්‍යවලින් ප්‍රචාරය කළ බව ඇත්ත. මම ඒ ගැන හිතලා, හිනාවෙලා කමක් නෑ කියලා මගේ ඔලුවෙන් ඒක බැහැර කරනවා. එය මගේ ප්‍රශ්නයක් නොවේ කියා මගේ පැත්තෙන් බැහැර කරලා මම මාලිනී ​ෙෆාන්සේකා හැටියට මේ යන ගමන දිගටම යනවා.

විවාහයක් ගැන ඔයා නිතරම ආසාවෙන් හිටි කෙනෙක්. ඉතිං විවාහ වුණාට පස්සේ ඔයාට මොකද සිතුණේ? ඔයා බලාපොරොත්තු ආදරය, කරුණාව ලැබුණාද?

මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ගියොත් අර මුලින් මා කියූ දේවල් බොරු වෙනවා. (ඇය සිනාසෙන්නට වූවාය)

ඉන්පසු ඔයාට නළුවන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් දේශපාලකයන්ගෙන් යෝජනා හරියට එන්න ඇති නේද?

ඔව්. හරියට ආවා. ඒ මොන තරාතිරමක කෙනෙක් වුණත් පෞද්ගලිකව, පුද්ගලයා කියන කෙනා ගැන ඇති වෙන හැඟීම ගැන මම සලකනවා. එයා ධන කුවේරයෙක්ද? එයා මොන ව​ෙග් දෙයක් කරන කෙනෙක්ද? කියා බලනවා. මම මුදල් ධනය ගැන තකන්නේ නෑ. පෞද්ගලිකව මනුෂ්‍යයෙක් විදිහට මම කැමති විදිහේ කෙනෙක් හැටියට ඒ දකින හැඟීමට තමයි මා කැමති වෙන්නේ.

එහෙම හුඟාක් වෙලාවට මට හමු වූ අය ඉන්නවා. හොඳ අය වෙන්නැති මට කතා කරපු අය. අද සමහරු කියයි අයියෝ ඇයි ඔයා අරයා එක්ක යාළු වුණේ නැත්තේ? කියලා. නෑ එවෙලේ ඇති වෙන හැඟීම මත තමයි තීරණය කරන්නේ.

ඒ කිසි කෙනෙක් ගැන ඇත්තටම ඔයාට සිතක් පහළ වුණේ නැද්ද?

නෑ. එහෙම සිතුණා නම් මම එයත් එක්ක යාළුවෙනවානේ.

(සිනාසෙන්නට වූවාය)

ඔයාගෙන් අයුතු බලාපොරොත්තු ඇති කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ ආශාවල් ඉෂ්ට කරන ගන්න පැමිණි අයත් ඔය අතරේ ඉන්න ඇති නේද?

මෙහෙමයි. එහෙම බලාපොරොත්තු ඇති කර ගන්න විදියට මම හැසිරෙන්නේ නෑ. කවුරු හරි තමන් ගැන ඒ සිතිවිලි ඇති කර ගන්නවානම් එහෙම සිතිවිල්ලක් ඇති වෙන්න මගෙන් අනුබලයක් ලැබෙන්න ඕනෑ නේද? එහෙම අනුබලයක් කාටවත් මම දුන්නේ නෑ. හොඳ සිතකින් ඇවිත් කතා කරපු අය හිටියා. මම මොන විදිහේ සිතකින් ද ආවේ කියලා දකිනවා. මම දන්නවා ඔවුන් මට කැමති බව, ඒත් ඉතිං මම කැමති වෙන්න එපායැ.

දැන් ඔයාට තනිකමක්, පාළුවක් සිතෙන්නේ නැද්ද?

අපෝ නෑ.

(මහ හයියෙන් සිනා සෙන්නට විය. මාලිනී කතා කරනවාට වඩා ලස්සනක් සිනාසෙද්දී මුහුණෙන් පිළිබිඹු වෙයි. ඇය කොතරම් නිර්ව්‍යාජ. අවංක හදවතින් කතා කරන බව එහිදී මට පෙනුණි)

එහෙම මට හිතෙන්නේ නෑ. කොහොමටත් මට ඒ කාලයේ ඉඳන්ම පැත්තකට වෙලා, පාඩුවේ ඉන්න ආසාවක් තිබුණා. පොත් පත් කියවගෙන ඝෝෂාකාරී දේවල් වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක් මම. ඉතිං අදත් ඒ විදියට තමයි ඉන්නේ. කවුරුවත් නෑ අයියෝ, කියලා එහෙම මම නෑ. දැනටමත් මගේ ගෙදර පාඩුවේ ඉන්නවා. මගේ යාළුවෝ ටික ඉන්නවා. මගේ පූසෝ, බල්ලෝ, කුරුල්ලෝ ටික ඉන්නවා. යාළුවෝ නිතරම හමු වෙනවා. මම වැඩ කරනවා. ඒ හින්දා මම කාර්යබහුලයි.

අද නළු නිළියන් ඉක්මනට විවාහ වෙලා, ඉක්මනට වෙන් වී ඒවා මාධ්‍යවලින් බැණ අඬ ගහගන්න තත්ත්වයට පත් කරගෙන ඉවරයි. මේ පිළිබඳව ඔයාට මොකද සිතෙන්නේ?

නළු නිළියන් විතරක් නොවෙයි. ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම අයකුට එවැනි දේවල් සිද්ධ වෙනවා. හොඳ ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ වගේම ප්‍රශ්න ඇති වෙලා වෙන් වෙන අය ඉන්නවා. අපේ ක්ෂේත්‍රයට විතරක් ඇඟිල්ල දික් කරන එක හොඳ නෑ. ඒක වැරැදියි. ඊට වඩා අපි හිතන්නවත් බැරි ක්ෂේත්‍රවලට හිතන්න බැරි දේවල් සිද්ධ වෙනවා. පවුල් අතර. අපි වැඩිපුර මාධ්‍ය එක්ක ඉන්න නිසා අපිව නිතරම දකිනවා. ඔයාල අපි ගැන මෙහෙම කතා කරනවා.

ප්‍රසිද්ධ වෛද්‍යවරියක් ගැන හිතමුකෝ. එයාලා ගැන කතා කරනවා අඩුයි නේද? මාධ්‍යයෙන් නමුත් අපි ගැන හරියට කතා කරනවා. ඒ අපි හැම තිස්සෙම මේ ගමන ආවේ මාධ්‍යයත් එක්ක හින්දා. ඒ නිසා තමයි අපේ දේවල් නිතරම ජනතාව අතර කතාබහට ලක් වෙන්නේ. එහිදී අපි මාධ්‍ය ඉස්සරහ බැණ ගහගන්න එය නම් එච්චර හොඳ නෑ කියලයි මට හිතෙන්නේ. දේශපාලනයේත්, ක්‍රීඩාවේත් මේ ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒකට වඩා අපේ ක්ෂේත්‍රයේ අයගේ දේවල්වලට තැන ලැබෙනවා වැඩියි. අපි හුඟාක් මහජනයා එක්ක සමීපයි. ඒ හින්දා අවධානය වැඩියි.

එවැනි තත්ත්වයක් තුළ ඔයාගේ පෙම් සබඳතා, විවාහ ජීවිත, කඩා බිඳ දමන්න හුඟාක් අය උත්සහා කරන්න ඇති නේද?

මම නම් ඒවා දැක්කේ නෑ. මම ඒවා ගැන තැකුවේ නෑ. මම කාගෙවත් විරුද්ධකම් එපා කියන ඒවා අහන කෙනෙක් නොවෙයි. මම කරන්නේ මට ඕන දේ පමණයි. අරයා මෙයා මෙහෙමයි නරකයි කියලා කියන ඒවා මම කරන්නේ නෑ.

මීට කලකට පෙර ඔයාගේ නිවසට හොරු පැන සම්මාන හොරෙන් අරගෙන ගියා. ඇත්තටම ඒවාට මොකද වුණේ? අදටත් ඒ ගැන හෝඩුවාවක් නෑ නේද?

ඒක ඉතිං මම හිතින් අත හැරලා දැම්මා. එයා ගෙනියන්න ඇත්තේ මේක සම්මානයක් කියා හිතන්නේ නැතුව වෙන්නැති. ඒක රත්තරන් එකක්. ඒක විකුණලා හරි උණු කරලා හරි ඇති. ලැබුණු සම්මානය කිසි කෙනෙකුට උණු කරන්න, නැති කරන්න බැහැනේ. ඒ සම්මානය මට ලැබුණනේ. ඒ ද්‍රව්‍යමය කියන කොටස විතරයි නැති වුණේ. නමුත් මට ලැබුණු සම්මානය එහෙමමයි.

මිනිසුන්ගේ හිත්වල එය තිබෙනවා. මගේ හිතේ පෞද්ගලිකව තිබෙනවා. ඒ පුද්ගලයා රත්තරන් කියන කොටස විතරක් අරගෙන ගියා.

හැම පොලිසියකින්ම මේ ගැන උනන්දු වෙලා හෙව්වා. ඩී.අයි.ජී.ලා. කතාකළා. අයි.ජී. විතරයි කතා නොකළේ. ඔය හැමෝම කතා කළා. රහස් පොලිසියේ ගියා. නමුත් ලැබුණු දෙයක් නෑ.

නළුවෙක් ඒකට සම්බන්ධයි කියලා ප්‍රචාරයක් ඒ කාලේ ගියා. ඒක සම්පූර්ණ බොරු කතාවක්. සම්පූර්ණයෙන්ම හොරකමේ යන කෙනෙක් තමයි ඒ දේ කළේ.

ඔය සෙනෙහලතා ​ෙෆාන්සේකා කොහොමද එදා වගේම අදටත් ඒ සෙනෙහස ඒ විදිහටම තියාගෙන ඉන්නේ?

(ඇය සතුටින් සිනා සෙන්නට විය)

මම කවදත් එකිනෙකාගේ ළෙන්ගතුකමට, ආදරයට හරි ආසයි. කවුරුහරි මා ගැන අවධානය යොමු කරනවා නම්, මට ආදරය කරනවා නම්, මා ගැන සැලකිලිමත් වෙනවා නම්, ළෙන්ගතු වෙනවා නම් මම හරි ආසයි. ඒක තමයි මට ඕනෑම කරන දේ. මට මේ ජීවිතයේ ඒක හැමදාම ඕනෑ. ආදරය කියන එක අවශ්‍යයි. ඉතිං ඒකත් එක්ක තමයි මම මෙච්චර කාලයක් ජීවත් වුණේ. ඉස්සරහටත් ඒක අවශ්‍යයි. ඒක මට පුදුමාකාර විදිහට ලැබී තිබෙනවා.

පුංචි දරුවාගේ සිට වයසට ගිය අය පවා අදටත්, අපි ඔයාගේ චිත්‍රපට බැලුවා. හරිම ලස්සනයි කියලා මට කියනවා. මේ ළඟකදී අපේක්ෂා රෝහලට ගිය වෙලාවේ අපි දානමය කටයුත්තක් කරද්දී අවුරුදු 50-60ක විතර පිළිකා රෝගයෙන් පෙළෙන අයෙක් මා දිහා බලලා කිව්වා, අපි ඔයාගේ චිත්‍රපට කොච්චර බැලුවාද? මම රසවිඳලා තිබෙනවා. මම ආසම කරන්නේ. ආවා සොයා ආදරේ චිත්‍රපටයේ නාමාවලිය දමන කොට අර මම දිව එන දර්ශනයට කියලා.

එතකොට මාත් එයට උපරිම ආසයි කියලා ඔහුගේ අත් දෙක අල්ලලා කිව්වා. ඔහුගේ ඇස්වල කඳුළු පිරුණා. කතා කරපු හැම කෙනෙක්ම මාව අත් දෙකෙන් අල්ලාගෙන ආදරයෙන් කතාකළේ. ඒ හැමෝටම මම ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ඇමෙරිකාවේ ඉන්න මගේ මිතුරියක් මෙය සංවිධානය කළේ. ඒ අයගේ ශක්තිය නිසයි ධෛර්යය නිසයි, ආදරය නිසයි මම අදටත් මෙහෙම ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ඇස්වල ආදරය, කරුණාව පිරිලා තිබෙන බව මා දකිනවා. ඒක පුදුමාකාර විදිහට දැකීමෙන් ජීවිතය සම්පූර්ණ වෙනවා කියා මා හිතනවා. ජීවිතේ පිරෙනවා.

ඇය බෝහෝ දේ ඉවසීමෙන් සිතා බලා කතා කළේ කාහටවත් සිතක් නොරිදන පරිද්දෙනි. එය ඇය ලබා ගත් අත්දැකීම් තුළින් උපයා ගත් දේ බව මට වැටහිනි. ඇත්තෙන්ම ඇය කාන්තා පරපුරටම ආදර්ශයක් දෙන නිළි රැජින බව නම් කිව යුතුමය. ඇයගේ මේ සටහනෙන් ඔබටත් ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි බව කියවද්දී වැටහේවි. ඒ නිසා එය සොයා ගන්න උත්සාහ කරන්න.

පුරා මාස ගණනාවක් තිස්සේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ, ක්‍රීඩා ක්ෂේත්‍රයේ, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජනප්‍රිය අයගේ ආදරය, ප්‍රේමය හා විවාහය ගැන මම කතා කෙළෙමි. බොහෝ කාරණා, මා පිළිබඳව තැබූ විශ්වාසය නිසාම මාධ්‍යයෙන් හෙළි කිරීමට අවස්ථාව ලැබිණි. ඒ නිසාවෙන්ම ඒ ලිපි මාලාව ගැන ඔවුන් මට ප්‍රශංසා කළ අවස්ථා බොහෝය. ඉදින් අද මේ වසරේ අවසන් දිනයයි.

අපේ මේ සටහන “හෙළ සිනමා නිළි රැජිනියගෙන්ම” අවසන් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටුවන්නෙමි. ඇය හැර මෙය අවසන් කිරීමට සුදුසු කෙනා කවුරුන්ද? එසේ මා සිතමින් “ආදරය, විවාහය සහ ප්‍රේමය” යන පරිච්ඡේදයේ අවසානය මා සටහන් කරන්නේ මෙයට උදව් දුන් සියලු දෙනාට තුති පුදමින් හා එයින් යම් සිත් තැවුලක් ඇති වූවා නම් ඒවාට සමාව ලබාදෙන මෙන් කාරුණික ඉල්ලීමක් ද කරමිනි.

කතාබහ කළේ සමන්ත යහම්පත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *