කටුපොල් ලංකාවට සුදුසු වගාවක් නෙවෙයි කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවෙන විශාල හානිය මෙන්න රට විනාශ කරන මෙම වගාව හැකි ඉක්මනින් මෙය නවතා දමන්න

කටුපොල් ලංකාවට සුදුසු වගාවක් නෙවෙයි කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවෙන විශාල හානිය මෙන්න රට විනාශ කරන මෙම වගාව හැකි ඉක්මනින් මෙය නවතා දමන්න

කටුපොල් වගාව තුළින් සිදුවෙන පාරිසරික සහ සාමාජීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පත්කරන ලද විද්වත් කමිටුව මගින් එම වගාවෙන් ඇතිවෙන පාරිසරික හානි පිළිබඳව අධ්‍යයනය කරන ලද අතර එය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බව නිර්දේශ කර තිබේ.

කටුපොල් වගාව නිසා ඇති වී ඇති අහිතකර පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ මහජන පැමිණිලි රාශියක් පසුගිය වසර කිහිපය තුළ මධ්‍යම පරිසර අධිකාරිය වෙත වාර්තා වූ අතර කටුපොල් වගාවේ ව්‍යාප්තියත් සමඟ මහජන පැමිණිලි හා විරෝධතා සංඛ්‍යාත්මකව වැඩි විය. මෙම ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය සුදුසු විසඳුම් සොයා ගැනීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට අදාළ ප්‍රධාන පාර්ශ්වයන් ද නියෝජනය වෙන පරිදි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රබර් පර් යේෂණ ආයතනය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අධ්‍යයන කමිටුවක් පත් කරන ලදී.

මෙම අධ්‍යයන කමිටුව විසින් අන්තර් ජාතික පර් යේෂණ වාර්තා, සිද්ධි ක්ෂේත්‍ර අධ්‍යයනයන් හා අදාළ ප්‍රදේශ වල සිදු කරන ලද සමීක්ෂණ දත්ත පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන කටුපොල් වගාව සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය කරගෙන තිබේ.

පරිසර හා සමාජ හිතකාමී වශයෙන් තහවුරුව පවතින රබර්, තේ සහ පොල් වැනි සම්ප්‍රදායික වැවිලි බෝගවල තිරසාර පැවැත්මට තර්ජනයක් එල්ල වීම.

දැනට පවතින රටාව ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් අනාගතයේදී රබර් ඉඩම් විශාල ප්‍රමාණයක් කටුපොල් වගාවට පරිවර්තනය වීම.

වගා ඉඩම්වල පාරිසරික යෝග්‍යතාව හඳුනා ගැනීමකින් තොරව කටුපොල් වගාව ව්‍යාප්ත වීම.

කටුපොල් ශාකය විසින් අධික ලෙස ජල පරිභෝජනය කිරීම

වැඩුණු කටුපොල් ශාකයක වාෂ්පීභවන හා උත්ස්වේදන ශීඝ්‍රතාව වියළි කාලයේදී දිනකට ලීටර 500-600 ක් අතර සහ සාමාන්‍ය දින වලදී දිනකට ලීටර 400 ක් පමණ ඉහළ අගයක් ගන්නා බව අන්තර්ජාතික පර් යේෂණ අධ්‍යයනයන් මගින් අනාවරණය කරගෙන තිබේ. මේ හේතුව නිසා කටුපොල් වගාව මගින් භූගත ජල මූලාශ්‍ර වලට වැඩි බලපෑමක් එල්ල කරයි. වැඩුණු පොල් ගසක වාෂ්පීභවන හා උත්ස්වේදන සීඝ්‍රතාව දිනකට ලීටර 80 ක් පමණ වන අතර රබර් ගසක දිනකට ලීටර 60 ක් පමණ වීම.

වර්ෂාව රහිත කාලයේ දී කටුපොල් වගාබිම් අවට පවතින ළිං සහ දිය පහරවල් වල ජලය ඉතා සීඝ්‍රයෙන් අඩු වීම සහ සිඳීයාම. (අන්තර්ජාතික අධ්‍යයන, මහජන පැමිණිලි)

කටුපොල් වගාවන් පවතින ප්‍රදේශවල, පස තද වීමකට ලක් වීම නිසා පාංශු ජල අවශෝෂණය අඩු වන අතර එවිට මතුපිටින් ගලායන වර්ෂා ජල ප්‍රමාණය වැඩිවීම මගින් පහත් බිම් වල නිරන්තර ජලගැලීම් තත්ත්ව ඇති වීම.

(අන්තර්ජාතික පර් යේෂණ)

බෑවුම් සහිත ප්‍රදේශවල පවතින කටුපොල් වගාවන්වල පාංශු ඛාදනය සාපේක්ෂව ඉහළ අගයක් ගැනීම.

බැවුම් සහිත ප්‍රදේශවල වගා වේදිකා ඉදිකිරීම හා කටුපොල් ගස් අවට පස නිරාවරණය කිරීම මගින් මෙම තත්ත්වය වඩාත් උග්‍ර වේ. (අස්වනු නෙළීම පහසුවීම සඳහා කටුපොල් ගස් අවට භූමිය යටි වගාවකින් තොරව නිරාවරිතව පවත්වා ගනී) කටුපොල් වගාවන්වල පාංශු පුනරුත්ථාපනය සඳහා අනෙකුත් වගාවන්ට වඩා වැඩි කාලයක් වැයවන බැවින් එය ආර්ථිකව ඵලදායී නොවීම.

කටුපොල් බීජ ස්වභාවිකව පැළවෙන අතර ස්වභාවික ප්‍රචාරණයෙන් කටුපොල් භෝගය වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම.

මෙසේ ව්‍යාප්ත වුණු කටුපොල් ශාක ජල මාර්ග අවට භූමි ප්‍රදේශ සහ තෙත් බිම් ආක්‍රමණය කර ඇති බව මහජන පැමිණිලි ලැබුණ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයේ දී එම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලදී. මෙය ජෛව විවිධත්වයට තර්ජනයක් වීම.

රබර් වගාවන්ට සාපේක්ෂව කටුපොල් වගාවන්වල ජෛව විවිධත්වය අඩුවීම.

කටුපොල් වගාවන් ආශ්‍රිත ප්‍රදේශවල ජෛව විවිධත්වය අඩු වී ඇති නමුත් සර්පයින් වැනි සමහර සත්ව විශේෂවල ගහනයේ වැඩිවීමක් නිරීක්ෂණය කර තිබේ. (අන්තර් ජාතික පර් යේෂණ වාර්තා සහ ජෛව විවිධත්වය පිළිබඳ ජාතික විද්වත් කමිටුවේ නිර්දේශ)

භෝග ආරක්ෂාව සඳහා අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම සහ අධි මාත්‍රා වලින් අකාබනික පොහොර භාවිතය.

මෙම පොහොර ප්‍රමාණය රබර් වගාවට වඩා 8-10 ගුණයකින් පමණ වැඩිය. (SLAAS ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය-2002)

පාම්තෙල් සැකසුම් කර්මාන්තය මගින්, පරිසර දූෂක කාරක විශාල ප්‍රමාණයක් ජනනය වීම සහ ජනනය වන අප ජලය පිරිපහදු කිරීම අපහසුවීම.

නෙළාගන්නා අස්වැන්නෙහි බර අනුව 75% ක්ම අපද්‍රව්‍ය ලෙස බැහැර වේ. මෙයින් වැඩි ප්‍රතිශතයක් තෙල් සහ ජලය මිශ්‍රිත කාබනික අපජලය වේ. මේ හේතුව නිසා අපජලය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කිරීම් සඳහා ඉතා ඉහළ පිරිවැයක් වැයවන අධි තාක්ෂණික පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වේ. දැනට ලංකාවේ පවතින කර්මාන්තශාලා දෙකෙහිම අප ජල ප්‍රතිකාරක පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
රබර් හා පොල් වැනි වැවිලි භෝගයන්ට සාපේක්ෂව කටුපොල් භෝගයේ දැවමය වටිනාකමක් නොමැති වීම.

කටුපොල් වගාවන් සඳහා වනාන්තර එළි කිරීමත්, මෙය ගෙවතු වගාවක් ලෙස පවත්වාගෙන යාමට ඇති ප්‍රවණතාවත් සම්බන්ධයෙන් දැඩි අවදානමක් පැවතීම.

පාම් තෙල් සඳහා දැනට පනවා ඇති ආනයන බඳු හේතුවෙන් කටුපොල් කර්මාන්තයෙන් විශාල ලාභයක් ඉපයීම හා කර්මාන්තයක් වශයෙන් ගත් කල එහි තිරසාර භාවයක් නොමැති වීම.

අධික ආනයන බදු (රු.130/ කී.ග්‍රෑම්) නිසා එයට හිමිව ඇති කෘත්‍රිම ඉහළ මිල, දේශීය පාම් තෙල් කර්මාන්තයේ ලාභදායිත්වයට ප්‍රධාන වශයෙන් හේතුවේ.

කටුපොල් වගා කරන රටවල් (මැලේසියාව) අත්විඳිනු ලබන විශාල නිෂ්පාදන පිරිවැය ගැටලු, නැවත වගාවේදී අස්වැන්න අඩු වීම්, පාම් තෙල් නිසා හටගන්නා නොයෙක් රෝග සහ සෞඛ්‍යමය ගැටලු වැනි ගැටලුකාරී තත්ත්වයන් රාශියකට මුහුණ දීමට සිදුවීම.

දැනට ලෝක නැඹුරුතාව පවතින්නේ පොල් වගාව හා පිරිසිදු පොල්තෙල් සඳහා

වන අතර, ශ්‍රී ලංකාව තුළ උචිත කෘෂි පාරිසරික කලාපයන් තුළ පොල් වගාව

ප්‍රචලිත කළ හැකි වීම

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ ඉහත සඳහන් කරුණු පාදක කර ගනිමින් අධ්‍යයන කමිටුව විසින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවන් අලුතින් ආරම්භ කිරීම, නැවත වගාකිරීම හෝ පවතින වගාවන් පුළුල් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතුය.

ආනයන – අපනයන පනත යටතේ සහ වෙනත් අදාළ නීති රෙගුලාසි යටතේ ජීව්‍යතාව සහිත කටුපොල් බීජ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ යුතුය.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය යටතේ දැනටමත් ආනයනය කර ඇති කටුපොල් බීජ සිටුවීම, උපායමාර්ගික පරිසර අධ්‍යයනයක් (SEA – Strategic Environmental Assessment) සිදුකර හඳුනාගත් යෝග්‍ය ඉඩම්වල පමණක් සිදු කළ යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද දිස්ත්‍රික් මට්ටමේ පසුවිපරම් කමිටුවක් මගින් දැනට ස්ථාපනය කර ඇති කටුපොල් වගාවන්ගේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කළ යුතුය. මෙම පිරික්සුම් කමිටුව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල නියෝජිතයෙකුගෙන් හා අදාළ ග්‍රාම නිලධාරීවරයා සහ අවශ්‍යතාව අනුව වෙනත් ඕනෑම ආයතන නියෝජිතයෙකුගෙන් සමන්විත විය යුතුය.

දැනටමත් අස්ථායී හා පාරිසරිකව යෝග්‍ය නොවන නුසුදුසු ඉඩම් කට්ටිවල වගාකර ඇති කටුපොල් වගාවන් දිස්ත්‍රික් පසුවිපරම් කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රදේශයට සුදුසු ශාක විශේෂ වගා කිරීම මගින් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කළ යුතුය.

කටුපොල් වගාවන් අවට ප්‍රදේශවල ස්වභාවික ප්‍රචාරණය මගින් බීජ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සුදුසු පුර්වෝපායන් යෙදිය යුතු අතර දැනට එසේ ව්‍යාප්තව ඇති කටුපොල් ශාක අදාළ වැවිලි සමාගම් මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගත යුතුය.

වැවිලි සමාගම් මගින් ඔවුන් සතුව පවතින කටුපොල් වගාවන් සඳහා පාරිසරික කළමනාකරණ සැලැස්මක් (Envirronmental Management Plan) ඉදිරිපත් කළ යුතුය. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් කමිටුවක් මගින් අදාළ සැලැස්ම සමාලෝචනය කළ යුතු අතර එහි අනුමත පිටපතක් දිස්ත්‍රික් පසුවිපරම් කමිටුව වෙත යොමු කළ යුතුය.

මේ අනුව කටුපොල් වගාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බව ඉහත කරුණු මගින් අනාවරණය වේ.

මධ්‍යම පරිසර අධිකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *