කොටින්ගේ හදවත වගේ තිබුන කොටිහඬFM සන්නිවේදන කුලුන විනාශ කරන්න ගුවන් හමුදාවට ඉලක්කය සොයාදෙන්න ගිය අටේ කණ්ඩායමේ සුපිරි මෙහෙයුම මෙන්න

කොටින්ගේ හදවත වගේ තිබුන කොටිහඬFM සන්නිවේදන කුලුන විනාශ කරන්න ගුවන් හමුදාවට ඉලක්කය සොයාදෙන්න ගිය අටේ කණ්ඩායමේ සුපිරි මෙහෙයුම මෙන්න

දින දහයක විමර්ශන මෙහෙයුමක් සඳහා දිගුදුර විහිදුම් බළකායේ අටේ කණ්ඩායමක් සූදානම් විය. මෙහෙයුම සඳහා අවශ්‍ය සියලුම අවි ආයුධ, කෑම බිම හා ආම්පන්න ද එකලස් කෙරිණි.
මෙය ද සුවිශේෂී ඉලක්කයක් විය. මුලතිව් නැදුන්කර්නි මාර්ගයට පහළින් වූ ඉලක්කයක් සොයා යෑම අරමුණ විය. මීට පෙර මෙහෙයුමක් සඳහා ගිය සැරයන් කුමාරසිංහගේ කණ්ඩායමකට නිරීක්ෂණය වූ ඇන්ටනාවක් පිළිබඳ සොයා බැලීම මූලික අරමුණ විය.

මෙම කණ්ඩායමට කෝප්‍රල් විජේරත්නගේ නායකත්වය යටතේ රංජිත් කුසුම්සිරි, විජේතිලක, විජේසිරි, රිස්වි, සමරසිංහ, දයාවංශ, සිල්වා යන විශේෂ බළකා දිගුදුර විහිදුම් ඒකකයේ අටේ කණ්ඩායමක් එක් විය.
මෙම කණ්ඩායම ඉදිරියට යෑමට තිබුණේ වැලිඔය, ජනකපුර ආරක්ෂක වළල්ලෙන් ය. කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගැනීමට රාත්‍රී කාලයේ දී තැනක් විමර්ශනය කෙරිණි.

කොටින්ගේ මර උගුල්, බිම් වෙඩි, ගලවා දැමු තැනකින් උපක්‍රමශීලීව කොටි ආරක්ෂක වළල්ල තුළට අටේ කණ්ඩායමේ භටයන් රිංගා ගත්හ. ඒ පාන්දර 2.00 ට පමණ ය. කොටි ආරක්ෂක වළල්ලෙන් රිංගා මීටර් පන්සියයක් පමණ ගොස් ආරක්ෂිත තැනක් සොයා නවාතැන් ගැනීමට කණ්ඩායම තීරණය කළේ ය.

ඒ ඉදිරියේ වන දේ ගැන සවන්දීමේ හා විමර්ශනය කිරීමේ කටයුතු සඳහා ය. මුල් අදියර වශයෙන් තන්තිමුරුප්පු වැව ආසන්නයට යෑම කණ්ඩායමේ ඉලක්කය විය. මේ අනුව නැවත ගමන ඇරඹී ය. ඒ අලුයම 5.30 ට පමණ ය. කිලෝ මීටර් හයක් පමණ ඉදිරියට ගමන් ඇරඹූ අටේ කණ්ඩායම තන්තිමුරුප්පු වැව් බැම්ම ආසන්නයටම ළඟා වූහ.

මීළඟට ඇති බාධකය පැන ගැනීම අසීරු එකක් විය. තන්තිමුරුප්පු වැව විවෘත භූමියත් සමග පිහිටා තිබුණෙන් අඳුර වැටීමෙන් පසුව එය පසුකර යෑම අවදානම් විය. ඊට හේතුව වූයේ තන්තිමුරුප්පු වැව් බැම්මේ කොටින්ගේ කඳවුරක් ඉදිකර තිබිම නිසා ය. වැව් බැම්මේ සිටින කොටින්ට විවෘත භූමිය හරහා ගමන් කරන ඡායාවක් වුව හොඳින් නිරීක්ෂණය වන නිසා රාත්‍රී කාලයේ පවා ගමන් ගැනීම අවදානමක් විය.

කොටි ත්‍රස්තයන් නිදි කිරා වැටෙන අලුයම් යාමයේ මෙම බාධකයත් පැන ගැනීම අවශ්‍ය විය. මේ වන විට අඳුර වැටෙමින් තිබූ නිසා පසුදින අලුයම් කාලය වනතුරු වැව් බැම්මේ ආරක්ෂිත තැනක ලැගුම් ගැනීමට තීරණය විය. මේ අනුව ආරක්ෂිත තැනක් තෝරාගෙන ඕනෑම මොහොතකට සූදානම් විය හැකි පරිදි මෙම සෙබළු එහි ලැගුම් ගත්හ.

එදින දවසම එක් තැනක ගත කරන්නට මෙම කණ්ඩායමට සිදු විණි. මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට කැලෑව තුළම රැඳී සිටින මෙම භට කණ්ඩායම්වලට වැසිකිළි යෑමට සිදු වුවත් තමන් සිටින තැනම හෙමින් සීරුවේ වළක් හාරා තම ශරීර අවශ්‍යතාව ඉටුකර ගැනීමට සිදුවන්නේ ය. යම් හෙයකින් සතෙක්, සර්පයකු දෂ්ට කළහොත් එයට ද එතැනම ප්‍රතිකාර දෙන්නේය.

දිගුදුර මෙහෙයුම්වල නිරත සෙබළුන්ට ඇතැම් දිනවල ඉලක්කය ලබාගන්නා තුරු දින තුන හතර එකම තැන රැඳී සිටීමට සිදුවන අවස්ථා ද එමටය. එවැනි මොහොතක කෑම ගැනීමත්, මලපහ කරන්නටත් ඇත්තේ ද තමා සිටින තැනමය. යම්තමට වළක් හාරා තම අවශ්‍යතාව ඉටුකරගෙන පස්වලින් වසා දැමීම සාමාන්‍ය පුරුද්දය.

එමෙන්ම අරමුණක් කරා අධිෂ්ඨානයෙන් යද්දී තුන්වේලම කෑම ගැනීම ද අතපසු වන්නේ ය. එවන් බොහෝ අවස්ථාවල භාවිත කරන්නේ අධි ‍පෝෂිත පෙත්තකි. මෙයින් එක් වේලකට සරිලන ‍පෝෂණයක් ඇඟට ලැබෙන්නේ ය. -කුසට සරිලන කෑම වේලක් ගැනීමද බොහෝ විට අසීරු වන්නේ ලැගුම් ගන්නා තැන්වල ඇති අවදානම නිසා ය. කොටි ත්‍රස්තයන් ගමන්ගන්නා මාර්ගයක් අසල හෝ බංකර් පෙළක් ආසන්නයේ ලැගුම් ගන්නා විට කෑම සුවඳ පිටතට යෑමට ඉඩ ඇති නිසා බිස්කට් කා වතුර බි කුසගින්න නිවාගන්නා අවස්ථා ද එමටය. එමෙන්ම හරක්මස්. මීපැණි ඇතුළුව ‍පෝෂණයෙන් වැඩි ආහාර වර්ග කල්තබා ගත හැකි අයුරෙන් සකස්කරගෙන මෙවැනි මෙහෙයුම්වලට රැගෙන යෑමට ද මෙම දිගුදුර මෙහෙයුම්වල නිරත වන භට පිරිස් කටයුතු කරන්නේ දින දහයක පමණ මෙහෙයුමකට සැලසුම් කළත් ඇතැම් විට දින විස්සක් පමණ සතුරු බළකොටුවේ රැඳී සිටීමට සිදුවිය හැකි නිසා ය.

එවන් අවස්ථාවල ගස්වල කොළ, ‍පොතු, වැල් ඇතුළු පරිසරයෙන් හමුවන දෑ ආහාරයට ගැනීමට මෙම විශේෂ බළකා සෙබළුන් පුරුදු වී ඇත. කෑමට දෙයක් නැති වූ තැන හුඹස්වල පස් පවා කෑමට ගත් අවස්ථා ද ඇත්තේ ය. තමන්ට ලබාදෙන අති දුෂ්කර වූ පුහුණුව තුළින් ඕනෑම තත්ත්වයක් යටතේ නොනැසී ජීවත් වීමට මොවුන්ට හැකි ය.

තන්තිමුරුප්පු විවෘත භූමිය පසුකර යෑම අසීරු නිසා වැව් බැම්ම අසල ලැගුම්ගත් මෙම අටේ කණ්ඩායම ඉදිරියට යෑමට සැලසුම් කළේ පසුදින රාත්‍රී 12 න් පසුව ය. ඒ වනතෙක් දවසක්ම රැය ගෙවනතුරුම නිසොල්මනේ රැඳී සිටීමට මෙම භට පිරිස්වලට සිදු විණි.

රැය ගෙවී යද්දී ඉදිරි ගමන සැලසුම් කළ භට කණ්ඩායම රාත්‍රි 12. පසුවීමත් සමග අසීරු බාධකයක් වූ විවෘත භූමිය පැනගෙන ඉදිරියට ඇදුනහ. රාත්‍රී 12.00 ත් 2.00 ත් අතර තුළ ඉදිරියට යෑම සිදු විණි. විවෘත භූමිය පැනගත් කණ්ඩායම් යළිත් එළිය වැටෙනතුරු ලැගුම් ගැනීමට තීරණය කළේ ය.

නැවත ගමන ඇරඹුණේ උදෑසන 6.30 ට පමණය. නැදුන්කර්නි – මුලතිව් මාර්ගය අසලට පැමිණි භට පිරිසට මීළඟට තිබුණේ මෙම බාධකය පැන ගැනීම ය. මෙම මාර්ගවල කොටින්ගේ ක්‍රියාකාරකම් සිදුවන්නේ උදෑසන 8.00 ට පමණය. එය අත්දැකීමෙන්ම දන්නා නිසා ඊට කලින් මෙතැනින් පැන ගැනීමට සැලසුම් කළේ ය. පැය භාගයක් පමණ නැදුන්කර්නි – මුලතිව් මාර්ගය නිරීක්ෂණය කළ කෝප්‍රල් විජේරත්න යටතේ වූ භට කණ්ඩායම එම මාර්ගය ද පැන ගත්හ.

මෙයින් පසුව තිබුණේ අදාළ ඉලක්කය වෙත යෑමය. කෝප්‍රල් සිල්වා යටතේ හතර දෙනකුගේ කණ්ඩායමක් ලැගුම් ගන්නා තැනක් තෝරා එතැන නැවැත්වීය. සියලු දෙනාගේ ගමන්මලුත් එතැන තබා තම අවි සමග විමර්ශන මුර සංචාරයක නිරත වීමට කෝප්‍රල් විජේරත්න ඇතුළු සිව් දෙනකු කටයුතු කළහ.

සිව් දෙසටම කිලෝ මීටර් දෙක තුන යමින් දහවල් 12.00 පමණ වනතුරු විමර්ශන මුරයක නිරත වූහ. තමන් සිටිනා තැන බලාගත හැකි ජී. පී. එස්. යන්ත්‍රද උපයෝගී කර ගනිමින් සම්පූර්ණ ප්‍රදේශයම ආවරණය වන පරිදි කිලෝ මීටර් දහයක් පමණ විමර්ශන මුරයේ නිරත කණ්ඩායම තොරතුරු එක්රැස් කරන්නට වූහ.

ලැගුම්ගත් තැන සිට කිලෝ මීටර් පහක් පමණ දුරක් ඇවිද යද්දී කඳු සහිත භූමියක් මෙම කණ්ඩායමට නිරීක්ෂණය විය. තවදුරටත් ළං වී නිරීක්ෂණය කිරීමේ දී වටේට කඳුපෙළක් සහිතව මැදි වූ තැනිතලාවක් ද දක්නට ලැබිණි.

දුරදක්නයකින් නිරීක්ෂණය කිරීමේ දී කඳුපෙළ මැද වූ තැනිතලාවේ ඉදිකර ඇති ඇන්ටනාව දර්ශනය විය. මෙය ඈතින් දකින්නට වූ බව මීට පෙර මෙම ප්‍රදේශයට පැමිණි කණ්ඩායම කියා සිටිය ද එය තිබෙන්නේ කොතැනද යන්න තහවුරු කරගෙන නොතිබිණි. ඒ අවශ්‍ය මොහොතේ දී ඉහළට ඔසවා යළිත් දුරස්ථ පාලකයකින් (රිමෝට්) එය පහළට බෑමට හැකි අයුරින් සකස් කර තිබු එකක් නිසා ය.

මෙය ගුවන් ප්‍රහාරවලින් බේරා ගැනීමට අවශ්‍ය නිසා මෙවන් ආරක්ෂිත උපක්‍රම යොදවා තිබිණි. කොටි නායකයන්ට මෙය සැබැවින්ම අත්‍යවශ්‍ය රැකගත යුතුවම තිබූ දෙයක් වූයෙන් මෙවැනි ආරක්ෂක උපක්‍රම යොදා තිබිණ. මෙය කොටින්ගේ කොටිහඬ (Voice Of Tiger) ගුවන් විදුලි විකාශනය කළ සම්ප්‍රේෂණ කුලුනය. මෙම සම්ප්‍රේෂණ කුලුන ගුවන් මගින් නිරික්ෂණය විය හැකි නිසා අවශ්‍ය නොමැති අවස්ථාවල දුරස්ථ පාලක මගින් පහතට බෑමට කොටි ත්‍රස්තයන් කටයුතු කළහ.

කොටිහඬ ගුවන්විදුලිය කොටින්ගේ හදවත බඳු වූයේ මෙම කාල සීමාවේ කොටින්ගේ ප්‍රචාරක ජාලය ඊළම ව්‍යාප්ත කිරීමට යොදා ගත් ප්‍රබල අවියක් වීම නිසා ය. කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන නොවැම්බර් කොටි මහා වීර සතියට කොටි නායකයාගේ මහා වීර දේශනය නමින් හඳුන්වන වාර්ෂික කතාව ප්‍රචාරය කළේ ද කොටිහඬ මගිනි. යුද්ධයක දී භාවිත කරන මනෝමූල මෙහෙයුම් (Psy – Ops) උපරිමයෙන් යොදාගනිමින් ඊළම වෙනුවෙන් කරන සටනට තරුණ පිරිස් බඳවා ගන්නටත්, අරමුදල් රැස් කර ගැනීමටත් කොටි නායකයන් කොටි හඬ ගුවන්විදුලිය මගින් තම වැඩසටහන් විකාශනය කරන්නට ද වූහ.

මෙම සම්ප්‍රේෂණ කටයුතු කළ ඇන්ටෙනාව නිරීක්ෂණය කර ගත් ජී.පී. එස්. යන්ත්‍රයෙන් තැන ලකුණු කරගෙන තමා ඉතිරි සගයන් සිව් දෙනා සිටි තැනට පසු බැස්සහ. යළිත් එතැන දී තම ගමන්මලු ඇතුළු සියල්ලෙන් සංවිධානය වී සම්ප්‍රේෂණ කුලුන ළඟටම යෑමට ගමන් ඇරඹූහ. මෙවර සම්ප්‍රේෂණ කුලුනට කිලෝ මීටර් දෙකක් තරම් ළඟට ගොස් එය වටේට අංශක තුන්සිය හැටම ආවරණය වන පරිද්දෙන් සතුරාගේ ආරක්ෂක විධි විධාන යොදා ඇති තොරතුරු රැස්කර ගත්තේ ය. සතුරු කඳවුරු හා සතුරු බංකර් පිහිටා ඇති තැන් පවා සලකුණු කරගෙන තම මූලස්ථානය වෙත පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් දැනුම් දීමෙන් මෙම කණ්ඩායමේ මූලික ඉලක්කය අවසන් කිරීමට කෝප්‍රල් විජේරත්න යටතේ වූ කණ්ඩායම කටයුතු කළහ.

මෙහි ඇති කඳුගැට පාමුල කොටින්ගේ බංකර් ඉදිකර තිබිණි. කඳුගැටයෙන් කඳුගැටයට බංකර් ඉදිකර තිබිමට අමතරව ගස් උඩ තැනූ කොටි අට්ටාල ද එහි විය.

කොටි හඬ සම්ප්‍රේෂණ කුලුන ආසන්නයේම වූ කන්දක තිබූ කොටින්ගේ නිරීක්ෂණ කුටියට කිලෝ මීටර් විස්සක් පමණ ඈත වන දේ පවා නිරීක්ෂණය විය. ජනකපුර, වැලිඔය, හමුදා පාලන ප්‍රදේශයේ යන එන වාහන පවා මෙම කන්දට නිරීක්ෂණය වූයේ ය. කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වීමෙන් පසුව හමුවන ප්‍රධානම බාධකයක් වන තන්තිමුරුප්පු වැවේ විවෘත භූමි ප්‍රදේශය දහවල් කාලයේ පසුකරන ඕනෑම අයකුව මෙම නිරීක්ෂණ කුටියේ දුරදක්නා යොමාගෙන සිටින කොටි ත්‍රස්තයන්ට නිරීක්ෂණය වන්නේ ය. කොටින්ගේ මේ සියලු ආරක්ෂක විධිවිධාන තහවුරු කරගන්නට හැකි වූයේ නිරීක්ෂණ මුරයේ නිරත වූ මොහොතේ ය.

කොටි පාලන ප්‍රදේශයට රිංගා ගැනීමේ දී දින, පැය ගණන් එකම තැන රැඳී සිට උපක්‍රමශීලීව රාත්‍රී කාලයට ගමන් කිරීමට සිදු වූයේ ද කොටින්ගේ මෙවැනි ආරක්ෂක උපක්‍රමවලින් බේරී යෑමට ය.

මෙහි දී අටේ කණ්ඩායම මගින් ලබාගත් දත්ත සියල්ල ගුවන් හමුදාවට ලබා දී කොටි සම්ප්‍රේෂණ කුලුන වෙත ප්‍රහාර එල්ල කිරිමට ඉලක්කය ලබා දුනි.

කිලෝ මීටර් දහනවයක් පමණ කොටි පාලන ප්‍රදේශය ඇතුළට වන්නට ඉදිකර තිබු කොටි සම්ප්‍රේෂණ කුලුනේ සියලු තොරතුරු දින තුනක් කොටි පාලන ප්‍රදේශය තුළ රැඳී සිටිමින් රැස් කළ මෙම කණ්ඩායම තවත් දින තුනහමාරක් පමණ දින ගෙවමින් කොටින්ගේ බාධක පසුකරමින් හමුදා පාලන ප්‍රදේශය වෙත ආරක්ෂිතව පැමිණියහ.

මින් පසුව ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ඉහළට ඔසවා ප්‍රහාර එල්ල කළ ද ප්‍රහාර සඳහා කටුනායකින් ගුවන්ගත වෙද්දීම කොටි සම්පේෂණ කුලුන අකුලන්නට කොටි ත්‍රස්තයන් කටයුතු කළහ. කටුනායක ගුවන්තොටු‍පොළ අවට කොටි ඔත්තුකරුවන් රඳවා සිටි නිසා ප්‍රහාරක ජෙට් යානා ඉහළට ඔසවද්දීම වන්නියට තොරතුරු ලැබිණි. මෙම තොරතුරු ලද විගස කොටි නායකයන් ආරක්ෂිත නිවෙස් තුළ සැඟවීමටත්, කොටින්ගේ බර අවි ඇතුළු වැදගත් දේ සැඟවීමත් උපක්‍රමයක් වශයෙන් සිදු විණි.

මේ අයුරින් සම්ප්‍රේෂණ කුලුන ඉලක්ක කර ගැනීම ද අපහසු නිසා දිගුදුර විහිදුම් කණ්ඩායම් ඇතුළට රිංගවා ඔවුන්ගෙන් ලද තොරතුරු මත කොටි නොමග යවා ප්‍රහාර එල්ල කරන්නට සැලසුම විය. මේ අනුව කලින් තොරතුරු රැස්කළ කණ්ඩායම ඇතුළට රිංගවා ඉලක්කය ලබාගෙන ප්‍රහාර එල්ල කෙරිණි. ගුවන් ප්‍රහාර එල්ල වෙද්දී ඉලක්කයේ සිට කිලෝ මීටර් පහක් පසුපසට යැමට ද මෙම කණ්ඩායම් වගබලා ගත්හ. මේ අයුරින් ජීවිත අවදානම් මධ්‍යයේ ගොස් කොටිහඬ සම්ප්‍රේෂණ කුලුන විනාශ කරන්නට මෙම අටේ කණ්ඩායම් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ ජීවිත පරිත්‍යාගයෙනි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *