ගලපිටගල අද්භූත මානව රූපය කෙටුවේ කවුද…? එම මානව රූපය සම්පුර්ණ නොකර මගින් නවතා දැමුවේ ඇයි..?

ගලපිටගල අද්භූත මානව රූපය කෙටුවේ කවුද…? එම මානව රූපය සම්පුර්ණ නොකර මගින් නවතා දැමුවේ ඇයි..?

ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්‍රහ​ෙලා්කවල පවා තිබෙන දෙයක් බව අද වන විට සියල්ලෝම දනිති. ඕනෑම තැනක, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල ගල්කැබලි, ගල්කුට්ටි හෝ ගල් පර්වත ඕනෑ තරම් දැකිය හැකිවීම සුලභ දෙයකි. පුරාතනයේ සිට මානවයා නැතහොත් මිනිසා විකාශනය වීමේ සිට ඔහුගේ දෛනික ජීවිතයට ගල් සම්බන්ධ වී තිබුණි.

ගල් ආයුධ, ගල් ගුහා සහ පසුකාලීනව මූර්ති ඇඹීම සඳහා පවතින ගලම භාවිතයට ගැනීම ඔවුන්ගේ විකාශනයේ විවිධ අවධි කියාපායි. එවන් ගලක කෙටීමට සැරසුණු නමුත් අතර මග නැවතු මිනිස් රුවක් පිළිබඳ වඩාත් ප්‍රචලිත ලංකාවේ ඉසව්ව නම් ගලපිටගල නම් ස්ථානයයි

එය ස්වභාවික පිහිටීමක් නොවන බවටත් මිනිස් රුවක් කෙටීමට උත්සාහ කළ බවත් සලකුණු සොයාගෙන ඇත. එම දුර්ගය තුළ අදටත් නොඉඳුල් ස්ථාන පවතින අතර ගලපිට ගල පිළිබඳ අබිරහස සොයා අප බෙලිහුල්ඔයට ගියෙමු.

චිලී රාජ්‍යයට අයත් පැසිපික් මුහුදේ පිහිටි අරුම පුදුම දූපතක් ඊස්ටර් දූපත (Easter Island) ලෙස හඳුන්වන අතර එය 1995 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කළ ස්ථානයකි. එම දූපත වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්වභාවික ගලේ මිනිස් මුහුණු 887ක් නෙළා තිබීම නිසාය. දූපතින් විවිධ ස්ථානවල මෙම අද්භූත ගල් රූප ඇති අතර මේවා මෝයි (Moai) වරු ලෙස හඳුන්වන අතීතයේ විසූ රපා නුයි (Rapa Nui) ග්‍රෝත්‍රිකයන් බව කියැවේ.

මෙම ගල් කුට්ටි මත විවිධ ආකාරයේ මුහුණේ ඉරියව් දිස්වෙන මානව රූප සමූහයකි. මේවා අතීතයේ විසූ ග්‍රෝත්‍රිකයන් නිර්මාණය කළේ කෙසේද යන්න ගැටලුවක් වන්නේ මෙම කැටයම් නෙළීමට භාවිත කළ උපකරණ පිළිබඳව සොයා බැලීමෙන් සහ තාක්‍ෂණය විමසා බැලීමෙනි. මන්ද දැවැන්ත ගල් කුට්ටි මිනිස් ඔළුවක් ලෙස නිවැරදිව කපා ඇස්, කට, නහය සියුම් ලෙස ඉරියව් ගත කිරීමට තරම් සුමට උපකරණ මීට වසර දහස් ගණනකට පෙර පැවතුණේද නැත්නම් මෙම ග්‍රෝත්‍රිකයන් හට මේවා නෙළීමට වෙනත් ග්‍රහලෝවාසීන්ගේ සහය ලැබුණේද යන්න විස්මය ජනකය. තවද මෙම මුහුණු තුළින් ඔවුන් කීමට උත්සාහ කළේ කුමක්ද? මෙලෙස නිර්මාණය කළ හේතුව තවමත් අබිරහසකි.

මෙවැනිම ආකාරයේ ගල් කුට්ටියක මානව මුහුණක් නෙළීමට ගත් ලාංකේය උත්සාහය මීට වසර ගණනකට පෙර දිවයයි. ගල්පිටියාය පුද්ගලික වතු සමාගමේ උඩවේරිය දෙසට එනම් උතුරු – ඊසාන මායිමේ පිහිටි ගලපිටිගල නම් ගල් කුට්ටිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වස්තුවකි. දේශීය විදේශීය සංචාරකයන්ගේ අවධානය තවමත් යොමුව නැති මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක බවින් වැදගත් ස්ථානයක් ලෙස ගවේෂණය කළේ ආචාර්ය රාජ් සෝමදේව මහතා විසිනි.

බෙලිහුල්ඔය පසුකොට කළුපහන හන්දිය වෙත ළඟා වූ පසු එතැන පිහිටි නාම පුවරු මගින් ඔබට දැකගත හැක්කේ ලංකාවේ උසම දියඇල්ල වෙත ගමන් කළ යුතු මාර්ගයයි. ප්‍රධාන මාර්ගයේ සිට බඹරකන්දට යන මාර්ගය ඉන් පසු යක්‍ෂයාගේ පඩි පෙළ ඔස්සේ උඩවේරිය හා වෙස්ට් හපුතලේ වතුකර හරහා හෝර්ටන් තැන්න මාර්ගය පිවිසුම අසලට වැටේ. ලංකාවේ සංචාරයට රුසි සැමගේ අභියෝගාත්මක ඉසව්වක් ලෙස මෙම යක්‍ෂයාගේ පඩිපෙළ හැඳින්විය හැක.

තවද සිතියම් අධ්‍යයනයේදී අප දුටුවේ කි.මී. 12ක් පමණ ගෙවා දුෂ්කර මාර්ගයේ ගමන් කළ යුතු උඩවේරියවත්තට ගලපිටියාය වත්තේ සිට මහ වනය මැදින් ගමන් කළ හැකි බවයි. කෙසේ නමුත් අප අද දවසේ තරණය කළ යුතු ගලපිටගලට යාමට නම් කළුපහන හන්දියේ සිට බඹරකන්දට යන විට හමුවන ප්‍රථම මංසන්ධියෙන් දකුණට හැරී ගලපිටියාය වත්තට ගමන් කළ යුතුය. පටු වංගු සහිත මාර්ගයේ ඉහළට ගමන් කරන විට පසෙකින් ඔබට ලංකාවේ සිටින තවත් දැවැන්තයින් පිරිසක් දැක ගත හැකිය.

එනම් වංගෙඩිගල, බළතුඩුව සහ ගොම්මෝලිය කන්දයි. මීට වසර කිහිපයකට පෙර එම කඳු සියල්ල හීන්සීරුවට තරණය කළ අයුරු අපට සිහි වූ අතර ඈතින් අපට පරවියන්ගල කඳු මුදුනක් පවා දැකගත හැකි වූයේ අප කඳු නැගීමට ලක් වූ හෙයිනි. ක්‍රම ක්‍රමයෙන් හිරු මෝරාගෙන අහස්කුස එළිය දෙන විට ළා හිරු රැස් අතු පතර යටින් මාර්ගයට බැස ඔය මොබ සලිත වන බව අප දුටුවේ ගුවෙන් රැඳී මීදුම් සළු පහව යන විටය.

කෙසේ හෝ ගලපිටයාය වත්තට හැරෙන මාර්ගය අසලට අපි පැමිණි පසු එම වතුයායට ඇතුළු වූයේ පූර්ව අවසර ලබා තිබූ හෙයිනි. තේ කර්මාන්තය ප්‍රධාන ආදායම කොටගත් වතුයායේ පසෙක සංචාරක බංගලා සහ නිවාස පිහිටා තිබුණි. නාරංගොල්ල ඔය සමීපයේ ඒවා ස්ථාන ගත වූ හෙයින් කඳු මිටියාවත පාමුල සුන්දර දියඇලි පිරුණු නිස්කලංක පරිසරයක් එහි තිබූ බව අපි දුටුවෙමු.

නියමිත ඇතුළුවීමේ ගාස්තු ගෙවූ පසු අප තරණය කළ යුතු කන්ද පාමුලට පැමිණියෙමු. පසෙකින් උඩවේරිය කන්දත් යකාගේ පඩිපෙළ ‘‘වී’’ කැපුම පිහිටි කන්දත් වංගෙඩිගල කඳුවැටියත් නෙතු මානයේ දර්ශනය වූයේ නිලට නිලේ දිලෙන වාසි රහිත සොඳුරු කාලගුණ තත්ත්වයක් යටතේය. තේ වත්ත මැදින් ගමන් ඇරඹූ අප ක්‍රමයෙන් සිග්සැග් ක්‍රමයට කන්ද නගිමින් මානා පඳුරු යායට පිවිසුණෙමු.

වියළි කාලගුණය නිසා පෙරදින සරුවට වැඩුණු මානා ගස්වල උස අඩි 4ක් පමණ විය. මාන යායට පැමිණිය ද අපට ගලපිටගල දැකිය නොහැකි විය. එය ඈතින් පෙනෙන ගල් වැටියට සඟව ඇති බවත් ආසන්නයට යන තෙක්ම අපට දැකිය නොහැකි වනු බවත් කල්තියාම අප දැන සිටියෙමු. චණ්ඩ හිරු රැසට නිරාවරණය වූ අප ලිස්සනසුලු පසට අඩිය තබමින් මානා කැලය මැදින් වැටුණු කුඩා අඩි මාර්ගය දිගේ ඉහළටම ඇදුණෙමු.

ක්‍රම ක්‍රමයෙන් කන්ද නගිමින් ඉහළට ඇදෙන විට එක යායට දෘශ්‍යමාන වූ කඳුවැටි රාශියක් දකුණු ප්‍රදේශයෙන් අපට දැකගත හැකි විය. එහිදී කුරගල පිහිටි කඳුවැටිය පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර සමනල වැව් හා කල්තොට සිට නමුණුකුළ තෙක් අපට පුළුල් වපසරියක් දැකගත හැකි විය.

හෝරා දෙකක ගමනකින් පසුව අප ගලපිටගල ගල් පර්වතය අසලට පැමිණියෙමු. පින්තූරයට දකිනවාට වඩා එම ගල් පර්වතය විශාලය. තනි විශාල කළු ගල තවත් කුඩා සම්බන්ධයක් පිහිටි ගල වෙත දරා ඇත. ගලපිටගල අඩි 30ක් පමණ උසවන අතර වට ප්‍රමාණය අඩි 10ක් පමණ වේ. මෙම ගලේ මුහුණ ලෙස ඇඹීමට උත්සාහ කළ බව. පෙනෙන්නේ කන්ද දෙසටමය. එය ගලපිටියාය වතු ප්‍රදේශය එනම් දකුණු දෙසට නොපෙනේ. එම මුහුණුවර බලා සිටින්නේ උතුරු ඊසාන දස දිශාව බව මාලිමාව මගින් අපි නිශ්චිත කර ගත්තෙමු. මුහුණුවර වඩාත් හොඳින් බැලීමට නම් තවත් මීටර 20ක් පමණ කන්දේ ඉහළට නැග ගත යුතුය.

හල්දුම්මුල්ල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගවල ජීවත් වූ මානවයා පිළිබඳ සමහර සාක්‍ෂි හමුවූ ප්‍රදේශයක වාඑළිය නම් ප්‍රදේශයේ පිහිටි හුණුගල් තලා, ගුහාවක තිබී සොයාගත් පුරාවස්තු වසර 5000ක් තරම් අතීතයට යන බව අනාවරණය විය. තවද එම ගුහාව අතීතයේ ස්ත්‍රීන් සඳහා යාතුකර්ම සිදුකළ ස්ථානයක් බවටත් එහි හමුවූ මූර්තියක් ගලපිටගල පිහිටි මිනිස් මුහුණට සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් එය ගවේෂණය කළ මහාචාර්ය සෝමදේව මහතා නිගමනය කරන ලදී.

ගලපිටගල පර්වතයේ මුහුණේ ඉරියව් අංග ඉස්මතු කිරීමට උත්සාහ කළ බවත් කාලාන්තරයක් මුළුල්ලේ වූ ස්වභාවික හේතුන් මත අද වන විට යම් යම් පතුරු ගැලවීම් ඛාදනයවීම් නිසා මුහුණේ සම්පූර්ණ පෙනුම විනාශවී ඇති බවත් පර්වතයේ මුඛය හා කම්මුල් ඉස්මතු කිරීමට ගත් උත්සාහය මැනවින් දැකිය හැකි බවත් ඔහු පැවසීය.

මූර්තියේ නළල මත යමක් තැබීමට උත්සාහ කළ බවත් එහි එවැනි ලකුණක් දැකිය හැකි බවත් නිගමනය විය. උතුරු කඳුකරය දෙස බලා සිටින මේ අත්භූත මිනිසා මෙලෙස ඉතා උස් කඳු මුදුනක කෙටීමට හේතු පාදක වූයේ කුමක්දැයි නිශ්චිත කළ නොහැක. විටෙක පහළ ගම්මාන හා ප්‍රදේශවල ජීවත් වූ මානවයා ඉහළ කඳුකරය හෝ ගුවන්තලය දෙසින් වන සතුරු උවදුරු හෝ ස්වභාවික උවදුරුවලට ආරක්‍ෂාව පතා මෙම මූර්තිය නෙළීමට ඇත්ද නැතහොත් සක්වළ සම්බන්ධතාවලට පිටුවහලක් වීමට හෝ භයානක සතුන් පලවා හැරීමට මෙම මූර්තිය නෙළීමට ඇත්දැයි අපට සිතාගත නොහැක.

පුරාවිද්‍යාත්මක පැත්තෙන් මෙලෙස විශ්ලේෂණ ගවේෂණයේදී ගලපිටගල හා එම ප්‍රදේශය පිළිබඳ අපූරු වෙනස් කථාවක් අපට දැනගැනීමට ලැබුණේ ගලපිටයාය වතු කළමනාකාර හසිත මහතාගෙනි. ඔහු පවසන ලෙස මීට වසර කිහිපයකට පෙර ඔහු​ ගලපිටගල ආශ්‍රිත වත්තේ සංචාරය කරන විට ඔහුට වෙනස් ආකාරයේ ගල් කැබලි කිහිපයක් හමුවී ඇත. පසුව ඔහු අන්තර්ජාලය හරහා සිදුකරන ලද සෙවුම්වලදී එම ගල් උල්කාපාත කැබලි බව ඔහුට පෙනුණි. වත්තේ එක්තරා ස්ථානයකදී ඔහුට මෙම උල්කාපාත කැබලි හමුවී තිබුණි. එහි සිට ගලපිටගල පර්වතයට වැඩිදුරක් නොතිබුණු බව ඔහු පැවසීය.

කෙසේ හෝ ඔහු මෙම උල්කාපාත කැබලි රජයේ නියමිත ආයතනවලට භාර දුන්නේ වැඩිදුර ගවේෂණ සඳහාය. අැතැමුන් ගලපිටගල පිටසක්වළ ජීවීන් සමඟ මුතුන් මිත්තන් සබඳතා පැවති ස්ථානයක් බවට සිතන අතර ලෝකාන්ත හෝටලය දෙස සිට බලන කල ගලපිටගල මුහුණ පිහිටි ගල් පර්වතයට පහළින් සම්බන්ධිත ගල් කුට්ටි කුඩා ඇඟ කොටසක් ලෙස දැකිය හැක. එනම් කුරුමිටි මිනිසෙකු ලෙසය. ඔළුව ඉතා විශාල නමුත් ඇඟ ඊට වඩා සාපේක්‍ෂව කුඩා ජීවි කොට්ඨාසයක පෙනුමක් එහිදී දැකගත හැක. ගලපිටගල සහ හෝර්ටන් තැන්නේ බෑවුම් වන මෙම ප්‍රදේශය තුළ රාත්‍රී කාලවලදී වෙනත් ප්‍රදේශවල දැකිය නොහැකි අතිශය අලංකාරවත් අහසක් දැක ගත හැකිය මේ බව අප මෙම ප්‍රදේශවල රැය ගෙවූ අවස්ථා 4ක සේම අද දිනයේ රාත්‍රියේද දැක ගැනීමට ලැබුණි.

එය නම් අධික තරු පිරි අහසක් පැවතීමය. තරු රටා කිහිපයක්ද හඳුනා ගත හැකි අතර මෙම ස්ථානයට ඉහළ අහස මුළුමනින්ම පාහේ නිල් තරු කැට මිලියන ගණනකින් වැසී තිබුණි. රාත්‍රී අහසේ කළු වර්ණය වෙනුවට මෙම ස්ථානයට ඉහළ අහස අධික නිල් ගතියෙන් යුක්ත විය. එය අප සිවු වරක් දුටු ප්‍රායෝගික තත්ත්වයක් විය.

කෙසේ හෝ ගලපිටගල විවිධ ඉරියව්වලින් ඡායාරූප ගත් අප පසුව එම කන්ද ඉහළට ගමන් කළෙමු. ගලපිටගල කන්ද ඉහළම ස්ථාන මීටර 1356ක උසින් යුක්ත විය. ගලපිටගල පර්වතයේ සිට කන්ද මුදුනට නැගීම දුෂ්කර සේම අවදානම් ගමනකි. ගල් කුළු ගල් කුට්ටි අතරින් හීන් සීරුවට අඩි තබමින් ඉහළට යාමට සිදුවන අතර සුළු අත්වැරැද්දක් ප්‍රපාතයේ පාමුල ඔබගේ මළ සිරුර රැඳවීමට තරම් ප්‍රමාණවත් බව මතක තබා ගත යුතුය.
එසේ ඉහළ නගින විට අපට කුඩා ගුහාවක් හමු විය. එය ස්ථාන කිහිපයකින් විවර වී තිබූ අතර ගල් කැබලි රාශියක් එහි ඉහළ සිරාවට රැඳී තිබුණි. ඉහළම ස්ථානයට නැග ගත් විට කැඩී ගිය​​ ජෝගුවක් ආකාරයෙන් යුත් ගල් පර්වතයක් විය. එහි සුමට ලෙස වක්‍ර වූ කොටසක් විය. බුමර ඇල්ලේ සිට ගලපිටගල කන්දට අප නගින වි ඒ අසල වූ ගල් පර්වතයක විශාල අත්ලක සලකුණක් වැනි කෙටූ ස්ථානයක් අපට දැක ගැනීමට ලැබුණි. ගලපිටගල කන්ද මුදුනට නැගගත් පසු ගලපිටගල සිට පහළ වතුයාය දක්වාද සමස්ත පරිසරයේ අංශක 240ක පමණ විවෘත අවකාශය පැහැදිලිව දැක ගැනීමට ලැබුණි.

කන්ද මුදුනට නැගගත් පසු ලෝකාන්ත හෝටලය (Worlds End Lodge) යන අඩිපාර තිබූ අතර අපි දවසේ ඉදිරි කටයුත්ත පිණිස උඩවේරිය කන්ද දෙසට ගමන් කරන්නට සැරසුණෙමු. කටු පඳුරු පීරගෙන ගල් වැටි ගල් කුට්ටි මතින් පනිමින් කිලෝමීටරයකට වැඩි දුරක් ගමන් කළෙමු. අප ගමන් කළේ හෙළට සමාන්තරවය. එසේ ගමන් කිරීමේදී නාරංගොල්ල ඔය නිර්මාණය කරන තවමත් මෙරට කිසිවෙකුගේ නෙත නොගැටුණු කුලුඳුල් දිය ඇළි 20ක් පමණ අපට දැකගත හැකිවිය. සෘජුවම මීටර් 500ක පමණ දැවැන්ත හෙළක් වූ එම දුර්ගයට යාම අතිශය දුෂ්කර හා කාලය ගත වන්නක් බවට අපට පසක් විය. මන්ද උඩවේරිය කරා යන ගමනේදී මෙම කන්ද මත නිම්න හත අටක් පමණ අපට පසු කිරීමට සිදුවිය.

දුරට එම ස්ථානවල මීටර 100ක පමණ අංශක 90 බෑවුම සහිත නිම්න තිබෙන බව පෙනෙන්නට නැතිමුත් එ්වා අපට දැක ගැනීමට ලැබුනේ කුලුදුලේම මිනිස් පය නොතැබුණු ස්ථාන මතින් අසීරුවෙන් යන්නට වූ නිසාවෙනි. කෙසේ හෝ රාත්‍රිය උදාවන විට ගමන හමාර කරමින් අප නැවතත් කළුපහනට පැමිණියේ දවසේ අලුත් අත්දැකීම් රාශියක් සමගිනි.

ඊස්ටර් අයිලන්ඩ් සංකල්පය ලෙස ගොඩනැඟුණු ලංකාවේ අබිරහස් මානව රූප වන ගලපිටගල අත් දෙකෙන් සෙලවිය නොහැකි නමුත් ඇඟිල්ලෙන් සෙලවිය හැකි බවට පහළ ගම්වාසීන් අතර මතයක් තිබුණ ද ගල පිහිටි ගලට ගාව තිබූ බැවින් එවැන්නක් සිදු නොවිය හැකි බව අපට ද පසක් විය. උතුරු කඳුකරය දෙස බලා සිටින මේ මිනිසා හෙළ ශිෂ්ටාචාරය ආදී මිනිසාගේ මුහුණුවරද? නැත්නම් වානර මුහුණක්ද? නැත්නම් යම් කිසි පුද පූජාවකට නෙළීමට කළ මූර්තියක්ද? නැත්නම් ශරීරය කුඩා හිස විශාල පිටසක්වළ ජීවියෙකුගේ රුවක්ද යන්න තවමත් අබිරහසකි. නළල මැද කෙටූ ස්ථානයේ කුමක් තැබීමට ඔවුන් උත්සාහ කළේද? එහි යමක් තිබූ නමුත් පසුකාලීනව ඒවා සොරුන්ගේ ග්‍රහණයට ලක් වුණාද යන්න තවමත් අබිරහසකි.

මෙවැනි අබිරහස් රාශියක් පිහිටි ගලපිටගල අබිරහස් කලාපයට අප සමුදුන්නේ හිතේ වූ ප්‍රශ්න රාශියක් සමගිනි. ඒ ගලපිටගල අසාමාන්‍ය පිහිටීමයි. තවද කුලුඳුලේම දැයට දායාද වූ නාරංගොල්ලේ දිය ඇළි 20 තවමත් මිනිසාගේ ඇසට හසු නොවී තිබීමත් ඒ ආශ්‍රිත දැකිය හැකි හෝ සොයා ගත හැකි තවත් ගල්ගුහාවක් වේනම් ස්වභාවික නිර්මාණ මතු දිනක ක්‍රියාදාම චාරිකාවකින් ගවේෂණය කිරීමට හිතැතිව අපි ගමන අවසන් කළෙමු.

සංචාරක සටහන හා ඡායාරූප :
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *