ගෝල්ෆේස් එකේදී ඡායාරූප ශිල්පිකුට හමුවූ රූමත් ගණිකාව කියූ හද සසල කරවන සංවේදී කතාව

ගෝල්ෆේස් එකේදී ඡායාරූප ශිල්පිකුට හමුවූ රූමත් ගණිකාව කියූ හද සසල කරවන සංවේදී කතාව

කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ආදරවන්තයින්ගේ සොඳුරු නවාතැනක් බව අමුතුවෙන් කිවයුතු නැත. එදින ඉරිදා දිනයකි. ඒ නිසා බොහෝ පිරිස් ගාලු මුවදොර පිට්ටනියට ඇදී එති. ඒ සතුට විඳගැනීම සඳහාය. කැමරාව ගෙල වටා දමාගත් මම ද ගෝල්ෆේස් පිට්ටනිය කෙළවර ඇති පාරදිගේ ලයිට් හවුස් දෙසට ඇවිද යන්නට වීමි.

සොබා සෞන්දර්යයේ චමත්කාරය විඳීමින් ඉදිරියට ගිය මම සුන්දර දසුන් කිහිපයක් කැමරාවට හසුකර ගත්තෙමි.

ඒත් වැඩිදුරක් යන්නට මට නොලැබිණි. මගේ කැමරා ඇස එක තැනක නතර විය. නිල් පැහැති සාරියකින් සැරසී සිටි ඇය ඉමක් කොනක් නොපෙනෙන මහ සාගරය දෙස නෙත් යොමා සිටියාය.

මම කැමරා කාචය තවත් ඇය වෙතට ළං කළෙමි. ඇත්තෙන්ම ඇය සිටින්නේ තනිවමය. ඇය කවුද? දෙනෝදාහක් සතුට විඳීන මෙම සුන්දර පරිසරයේ තනිව සිටින ඇය මා සිතට ගෙන ආවේ කුතුහලයකි.

නිල් පැහැති සාරියට ඇය ඇත්තෙන්ම ලස්සනය. බැලූ බැල්මට ඇය හින්දි නිළියකට සමානය. මෙතරම් ලස්සන කෙල්ලක් මෙතැන කුමක් කරනවාදැයි මට සිතාගත නොහැකිය.

මම සෙමින් ඇයට ළං වූයෙමි. ඒ ඇගේ රුව කැමරාවට හසුකර ගැනිමේ අටියෙනි. කැමරාවේ සිහින් ශබ්දයත් සමඟ මෙතෙක් වේලා මහ සයුර දෙසට නෙත් යොමා සිටි ඇය එකවරම පසුපස හැරී මා දෙස බැලුවාය.

ඇගේ රුව මා කැමරාවේ පැහැදිලිවම සටහන් වී ඇත. එය ඇය දැනගත්තාය. ඇය ඊට එරෙහි වනු ඇතැයි මම සිතුවෙමි.

“ඔයා මගේ ෆොටෝ එකක් ගත්තා නේද..?”

“මම. නෑ..”

“බොරු කියන්න එපා….”

ඒත් ඇය මට දොස් නොකීවාය. ඒ නිසා මම වැරැද්ද පිළිගත්තෙමි.

“ලස්සන කෙල්ලෙක් තනියම ඉන්න හින්දයි මට ගන්න හිතුණේ”

මම කීවෙමි. ඇය ඊට සිහින් සිනහවක් පෑවාය.

“ඇයි ඔයා තනියම”

මම ඇගෙන් විමසුවෙමි. මහ සයුර දෙසට හැරුණු ඇය දිග සුසුමක් පිට කළාය.

“මම මේ කවුරු හරි එනකම් බලාගෙන ඉන්නවා”

“කවුරු හරි කිව්වේ”

“ඔයා වගේ කවුරු හරි එනකම්”

මට ඇය කියන දේ තේරුණේ නැත.

“ඔයා කියන කෙනා තවම ආවේ නැද්ද”

මම ඇගෙන් එසේ ඇසුවෙමි.

“ආවා.”

“කෝ”

“ඔය මගේ ළඟම ඉන්නේ”

“මමද?”

“ඔව්…”

ඇය කියන්නේ මා ගැනය. මම ඊට එකඟ නොවූයෙමි.

“මම ඔයාව දැක්කෙත් අදයි. මම ඔයාව දන්නෙත් නැහැ.”

“මං ගාවට එන හුඟ දෙනෙක් මාව දන්නේ නැහැ”

ඇය කියන අපභ්‍රංසය මට තවමත් නොතේරේ. ඒත් ඇය දමා යන්නට මගේ සිත ද ඉඩ නොදේ. මම ද ඇය අසුන්ගෙන සිටි සිමෙන්ති බංකුව මත වාඩිවී ඇය සමඟ කතාවට වැටුණෙමි.

“ඔයාගේ තව ෆොටෝ එකක් ගන්නද?”

අහන්න දෙයක් නැති තැන මම ඇගෙන් ඇසුවෙමි. ඇය ඊට කැමැත්ත පළකළාය.

“එහෙනම් මේ පැත්ත බලන්නකෝ” මගේ කැමරාව ඇගේ සුන්දර රුව හොරා ගත්තේ එළෙසය.

“මම ඔයාට පිංතූර එවන්නම්”

මම ඇයට කීවෙමි.

“කොහාටද ?”

“ආ.. ඒකත් ඇත්තනේ… ඔයා ඇඩ්ඩ්‍රස් එක දෙන්න. මම එවන්නම්”

“මොන ඇඩ්ඩ්‍රස් ද අනේ මට.. ඔයා ආයෙත් මෙහෙට එන දවසක ගේන්නකෝ.”

ඇය කීවේ එවැන්නක්ය. මට ඇගේ කතාව ප්‍රහේළිකාවකි. ඒත් ඒ බව නොපෙන්වා මම ඇය සමඟ කතාවට වැටුණෙමි.

වැඩි මොහොතක් යන්නට කලින් ඇය මා සමඟ මිත්‍ර වූවාය. අවසානයේ ඇය කවුදැයි මට තේරුම් ගත හැකි විය. ඇය ඇත්තෙන්ම ගණිකාවකි. ගණිකාවක් ලෙස ජීවත් වූවද ඇය දුටු පමණින් එවැන්නක් සිතාගත නොහැකිය. බැලූ බැල්මට ඇය හොඳ රැකියාවක් කරන සුන්දර යුවතියක් මෙනී. ඒත් දෛවය ඇයට අකාරුණික වී ඇත. අකාරුණික දෛවය ඇය මහපාරට ඇද දමා ඇත.

“මගේ දරුවට තවම මාස හතයි. එයාව ජීවත් කරවන්න තමයි මෙහෙම එන්නේ…”

ඇය කියන්නේ සිතාගත නොහැකි කතාවකි. දරුවා නඩත්තු කර ගැනීම සඳහා මෙසේ පැමිණ සිය සිරුරේ පහස කවුරුන් හෝ පිරිමියෙක්ට ලබාදීම ඇගේ රැකියාවය.

“මම හැමදාමත් මෙහෙම එන ගෑනියෙක් නෙමේ. සතියකට දෙසැරයක් විතර එනවා. ගෝල්ෆේස් එකට එන හොඳ මහත්තයෙක් හම්බවුණොත් එයත් එක්ක යනවා.”

ගණිකාවන් ගැන මම කොතෙකුත් අසා ඇත්තෙමි. ඒත් මෙළෙස තනිවම සිය රැකියාවේ නියැළෙන ගැහැනුන් අඩුය. ඔවුන් කවුරු හෝ යටතේ සිය රැකියාව කරගෙන යනු ඇත.

“මටත් පුළුවන් කාටහරි එකතුවෙලා මේක කරන්න.”

“ඒක තමයි මාත් හිතුවේ.”

“මම විකුණන්නේ. මගේ ඇඟ. ඇයි ඉතින් පිට එවුන්ට මම ඇඟ විකුණලා හම්බ කරන සල්ලි දෙන්නේ”

ඇය කියන කතාව ඇත්තකි. එලෙස කවුරුන් හෝ යටතේ සිය රැකියාව කරන්නේ නම් ඔවුන්ට ද කොටසක් ගෙවිය යුතු වේ. ඒ නිසා තනිවම මේ රස්සාව කරන බව ඇය කීවාය.

“ඔයාගේ ගෙවල් මෙහෙද?”

“නැහැ. මම රත්නපුර… පොඩි ප්‍රශ්නයක් වෙලා මම කොළඹ ආවා”

ඇය පදිංචි කොහේද යන්න වැඩිදුරටත් දැන ගැනීමට මම නොගියෙමි. එය මට අවශ්‍ය

නැත. ඒත් ඇය හා කතා කිරීම ඇත්තෙන්ම සුන්දරය.

අනෙක ඇය කෙළින් කතා කිරීම ගැන මා සිත තුළ ඇති වූයේ සතුටක්ය. ඒ නිසා තවත් මෙහොතක් මම ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වීමි.

“මම මෙතැන ඉන්න එක ඔයාට පාඩුවක් නේද?”

“ඇයි..?”

“මම හිටියම ඔයාට හොඳ මහත්තයෙක් හම්බවෙන්නේ නැහැනේ”

“ඒකත් ඇත්ත. ඒ වුණාට ඔයා ඔහොම ඉන්න.”

“ඇයි ඒ.. ඔයා මට කැමතිද?” මම ඇගෙන් ඇසුවෙමි.

ඇය ඒ සමඟම මා දෙස බැලුවේ දෙනෙත් ලොකු කරමිනි.

“මම නම් කැමතියි. ඒත් ඔයා මට කැමති නැහැනේ” ඇය එවර කීවාය. මම ඉන්

තිගැස්සුණෙමි.

“නැහැ. එහෙම දෙයක් නැහැ”

“එහෙනම් අපි යමුද?”

“කොහේද” අපේම ලෝකයකට”

“දැන්…”

“දැන් නැතිව හෙටද”

ඇගේ ආරාධනාව ඉදිරියේ මම නිරුත්තර වීමි. මට කිසිවක් කර කියාගත නොහැකි විය.

“ඒකනේ ඔයා මට කැමති නැහැයි කිව්වේ”

“නැහැ එහෙම දෙයක් නැහැ.”

“එහෙනම් අපි යමු”

“යමු”

ඇගේ ඉල්ලීමට මම ද එකඟ වීමි. අපි ගාලු මුවදොර පිට්ටනිය මැදින් ගාලුපාරට ළඟා වූයෙමු.

“කොහේද යන්නේ”

“මම දන්න තැනක් තියෙනවා. එහෙට යමු.”

ත්‍රීවීලරයක නැ¼ගුණු අපි මොහොතකින් ඇය කී තැනට ළඟා වූයෙමු. එය සුවිසල් මන්දිරයකි.

“එන්න බය වෙන්න එපා. ගෙදර කවුරුත් නැහැ.” ගැහෙන හදින් යුතුව මම ඇය පසුපස ගියෙමි. බෑගයෙන් ඇදගත් යතුරක් අතට ගත් ඇය නිවෙසේ දොර විවර කළාය. ඇත්තෙන්ම එය සුපිරි බංගලාවකි.

“කාගෙද මේක”

“මේක මම හඳුනන මහත්තයෙක්ගේ… මහත්තයා ඉන්නේ රට.. එයා එනකම් මම තමයි බලාගන්නේ…”

ඇගේ අතින්ම සාදා දුන් දොඩම් යුෂ වීදුරුව මම උගුරට දෙකට බීවෙමි.

ඒත් සමඟම මට දැනුණේ සතුටකි. සුන්දර ලෝකයක අතරමංවූ මම ඇය තුරුලේ

සැනසෙන්නට විමි. එතැනින් එහාට වූ කිසිවක් මම නොදනිමි.

පැය කිහිපයක නින්දකින් පසු මම අවදිවූයෙමි. පාට පාට ලෝකයක සිට පියවි ලොවට පිවිසි මා ඉදිරියේ කවුදෝ සිටගෙන සිටී. කලබලයට පත් මම එකවරම උන් හිටි තැනින් නැඟිට ගත්තෙමි.

“ඔහේ කවුද?”

“මම තමයි සර් මේ ගෙදර මුරකාරයා”

“කෝ අර නෝනා”

“නෝනා හදිසියේම එළියට ගියා සර්.. නැගිට්ටාම මේ කොළේ දෙන්න කීව්වා”

වයෝවෘද්ධ ඔහු මා වෙත දිගු කළේ කොළ කැබැල්ලකි. මම එක හුස්මට එය කියවා බැලීමි.

“මගේ ෆොටෝ ටිකත් අරගෙන ලබන සඳුදා ගෝල්ෆේස් එන්න.”

මම මුරකරු දෙස බැලුවෙමි. ඔහු යටහත් පහත්ව මා දෙස බලා සිටී. මම වහා එතැනින් පිටවූයෙමි. ඇය කී පරිදි ඊළඟ සඳුදා ද මම ඇය සොයා ගියෙමි. ඒත් ඇය පෙනෙන්නට නොවීය. ඇය කවුද? එය මට තවමත් ප්‍රහේළිකාවකි.

(කීර්ති මෙන්ඩිස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *