දේවදත්තට රඟපාන්න කතාකළාම මට ලොකු කම්පනයක් ඇතිවුණා දිනෙන් ද සිල්වා කියන අමුතු කතාව මෙන්න

දේවදත්තට රඟපාන්න කතාකළාම මට ලොකු කම්පනයක් ඇතිවුණා දිනෙන් ද සිල්වා කියන අමුතු කතාව මෙන්න

නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි ඔහු රංගන ක්ෂේත්‍රයට අහම්බෙන් පැමිණියත් ඔහු ගැන හැමෝම වැඩිපුර කතාබහ කරන්න පටන් අරන්. ඒ යශෝදරා චිත්‍රපටයේ දේවදත්ත චරිතය නිසයි. ඒ නිසාම දේවදත්තයන්ට රංගනයෙන් දායක වන දිනෙත් ද සිල්වා මෙවර කතාබහට එකතු කරගත්තා.

 මේ දවස්වල දිනෙත්ට වඩා දෙව්දත්ට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඔව්. හිතාගන්නත් අමාරුයි. ක්ෂේත්‍රයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගෙන් වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම බාල, තරුණ, මහලු යන හැමෝගෙන්ම ලැබෙන ප්‍රතිචාර ගැන හිතාගන්න බැහැ. මම වෙච්ච මහන්සියේ ප්‍රතිඵල ඒ විදිහටම ලැබුණා කියලා නිහතමානී සතුටක් තියෙනවා.

 දෙව්දත්ගේ චරිතය නිසා දිනෙත්ට ලැබෙන ඉල්ලුම වැඩි වුණාද?
මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. යශෝදරා චිත්‍රපටය නරඹලා
පළමු වැනි සතියෙම මගේ යාළුවෙක් අලුත් චිත්‍රපටයකට කතා කළා.

  දේවදත්ත කියන්නේ ඉතිහාසයේ කළු චරිතයක්. එවැනි චරිතයක් භාරගැනීම මොන විදිහටද දැනුණේ?
ප්‍රියන්ත අයියා මට මුලින්ම කතා කළා සුනිල් සර්ගේ චිත්‍රපටයක් තියෙනවා කියලා. මම ඇහැව්වා මොකක්ද චරිතය කියලා. ඔහු දේවදත්ත කීවහම මට විශාල කම්පනයක් ඇතිවුණා. මොකද මම බෞද්ධදයෙක්, ඒ වගේම බෞද්ධ සමාජය බොහොම පැත්තකට කරපු චරිතයක් තමයි දේවදත්ත කියන්නේ. සුනිල් සර් නිර්මාණය කළ යශෝදරා ගැන කොහේවත් නිර්මාණයක් කරලා තිබුණේ නැහැ. අපි දන්න දේවදත්ත බොහොම නපුරු, සැරපරුෂ කෙනෙක්. සර්ගේ පිටපතේ ඉන්නේ සැබෑවට තමාගේ නැගණියට ආදරය කරන අයියණ්ඩියෙක්. මේ දේවදත්ත හොඳ පණිවිඩයක් දිය හැකි වුණා.

 දිනෙත් එක් රාමුවකට කොටුවෙලාද?
නැහැ. මම යශෝදරා චිත්‍රපටයේ රඟපෑවේ ගිය අවුරුද්දේ මැයි මාසයේ. මම ඒ අවුරුද්ද ඇතුළත තව චිත්‍රපට හතරකට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපට එකක්වත් රජ කතා ‍නෙවෙයි. චිත්‍රපට හතරම වෙනස් විදිහේ කතා තේමාවන් යටතේ නිර්මාණය වුණ දේවල්.

 දෙව්දත්ට දිනෙත් සාධාරණයක් කළා කියලා හිතනවාද?
මම මේ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මම නිතරම උත්සාහ කළේ සුනිල් සර්ගේ දේවදත්ත එළියට ගන්න. සර්ගේ දේවදත්ත ගැන මම සොයන්න ගත්තා. ‍පොත්පත් කියෙව්වා. හැම අවස්ථාවකම ඒ චරිතය උපරිමයෙන් කරන්න වෙහෙසුණා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා මම චරිතෙට සාධාරණයක් කළා කියලා.

 යශෝදරා චිත්‍රපටයේ දේවදත්ත කියන්නෙත් ප්‍රධාන චරිතයක්. මොකද හිතෙන්නේ එවැනි චරිතයක් ලැබිම ගැන?
මාව මුලින්ම මේ චරිතයට යෝජනා කරලා තියෙන්නේ නන්දා මාලනී මහත්මිය. ඇය මම රංගනයෙන් දායක වුණ ආලෝකා උදපාදි චිත්‍රපටය නරඹලා තමයි සුනිල් සර්ට කියලා තියෙන්නේ. ඇය බොහොම සතුටු වුණා චිත්‍රපටය අවසානයේදි මම වගේ කෙනෙක් මේ චරිතයට යෝජනා කරපු එක ගැන. ප්‍රියන්ත දිසානායක, චතු වීරමන් මාව යෝජනා කරලා තිබ්බා. ඒ විදිහටයි මට මේ චරිතය ලැබෙන්නේ. මම සුනිල් සර් එක්ක කතා කරලා පුද්ගලිකව මුණගැහිලා කතාබහ කරලා තමයි මාව මේ චරිතයට තෝරාගත්තේ.

 ඔබේ බාහිර ස්වරූපය නිසාද මෙවැනි චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙන්නේ?
සිද්ධාර්ථ චරිතයයේ රංගන ශිල්පියත් මම වගේම උස කෙනෙක්. මේ චිත්‍රපටය රූපගත කළේ නේපාලයේ. එදා තිබුණු පරිසරය අපි ඒ විදිහටම නිරූපණය කරන්න උත්සාහ කළ නිසා මගේ බාහිර ස්වරූපයත් මේ චරිතය ලැබෙන්න බලපෑවා.

  චිත්‍රපටවලට විතරද රංගනයෙන් දායක වෙන්නේ?
නැහැ. ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ වැඩ පටන් ගන්න ඉන්නේ. දිගටම චිත්‍රපටවලට ආරාධනා ලැබුණ නිසයි මාව චිත්‍රපටවලින් දකින්න ලැබුණේ. මම, මට කරන්න පුළුවන් දෙයක් විතරයි භාරගන්නේ.

  දිනෙත් ලැබෙන ඕනම චරිතයක් භාරගන්නවාද?
නැහැ. හැම චරිතයක්ම භාරගන්නේ නැහැ. හැමෝම කියනවා මම චරිත පරිස්සමට තෝරා ගන්නවා කියලා. මුදල් මත, වෙනත් දේවල් නිසා මම නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. සමාජයට යම් පණිවිඩයක් දෙන කෙනෙක් විදිහටයි මම රංගන ශිල්පියෙක්ව දකින්නේ. මම මේ දක්වා කළ චරිත හරි පරිස්සමට තෝරා බේරාගත්තේ. ඉදිරියටත් එහෙමයි.

 ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
චිත්‍රපටයක් කළත් වෙන දෙයක් කළත් ඒ හැම තැනම ඉන්නේ ප්‍රවීණයෝ. මම ඒ හැමෝම එක්කම බොහොම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. හැමෝම මට හරි ආදරෙයි. මොකද මම වෙලාවට වැඩ කරන කෙනෙක්. මට ඒ හැම කෙනාගෙන්ම ආදරය ලැබෙනවා. ප්‍රවීණයෝ දුරකථනයෙන් පවා කතා කරලා මට සුබ පතනවා.

 දිනෙත් කවුද අනුකරණය කරන්නේ?
එහෙම කාවවත් මම අනුකරණය කරන්නේ නැහැ. නමුත් මම හැම කෙනෙක් ගැනම අධ්‍යයනය කරනවා. ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්නවා. මම කැමති නැහැ කවුරුවත් කොපි කරන්න. මම මගේම අනන්‍යතාවක් ලැබෙන චරිතය තුළ ගොඩනගා ගන්නයි නිතරම උත්සාහ කරන්නේ.

 දිනෙත් මේ ආපු ගමන ගැන ආපස්සට හැරිලා බලද්දි මොකද හිතන්නේ?
නිරූපණ ශිල්පියෙක් ලෙස ඇවිත් අහම්බෙන් තමයි රංගන ශිල්පියෙක් වෙන්නේ. මම රංගනයට ගොඩක්ම කැමතියි. නමුත් කාලයත් එක්ක කැමැත්ත යටපත් වෙලා ගියා. අහම්බෙන් තල්ලු වෙලා මේ ආපු ගමන මම ආවේ බොහොම කම්කටොලු හා බාධක මැදයි. නමුත් ඒ ගමන ගැන ලොකු සතුටක් තියෙන්නේ.

  බිරිඳගෙන් මොන වගේ සහායක්ද ලැබෙන්නේ?
චරිත තෝරාබේරා ගැනීමේදී ඇය ලොකු සහායක් දෙනවා. මගේ පිටිපස්සේ ඉඳන් ලොකු ශක්තියක් දෙන්නේ ඇයයි. ඒ වගේම මගේ දෙමව්පියෝ, සහෝදරයෝ මගේ යාළුවෝ මේ හැමෝම බොහොම ආදරෙන් මතක් කරනවා.

තිළිණි කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *