නම්බුව බම්බුවක් වෙච්ච කාලේ අඩු කු‍ලේ කෙනෙකුට ආදරේ කරනවට වඩා කු‍ලේ ගරුත්වය රකින එක ලොකුද…?

නම්බුව බම්බුවක් වෙච්ච කාලේ අඩු කු‍ලේ කෙනෙකුට ආදරේ කරනවට වඩා කු‍ලේ ගරුත්වය රකින එක ලොකුද…?

කසාදයක් කියන්නේ කුල ගැළපීමක් නමෛයි. දෙන්නට දෙන්නා ආදරෙයි නම් තේරුම් අරන් ජීවත් වෙනවා නම් ඇයි මේ කුලයක් අල්ලගෙන දඟලන්නේ. කුලය ගැළපෙන්නේ නැතිව වෙන්වුණ කොල්ලෝ, කෙල්ලෝ මේ සමාජයේ මොනතරම් ඉන්නවාද? දෙමාපිය අකැමැත්තෙන් විවාහ වුණාම සදාකාලිකවම පවුලෙන් වෙන් කරන දරුවෝ මේ සමාජයේ ඉන්නවා. සමහර දරුවන්ට දෙමාපියන්ගේ මළගමකට එන්නවත් පවු‍ලේ උදවිය ඉඩ දෙන්නේ නෑ. ඒ තරමටම කුලය සමාජයේ මුල් බැහැගත්ත සාධකයක් වෙලා.

“විවාහය” ජීවිතයේ අපි හැමෝම දකින හීනයක්. ආදරය කරන දෙන්නෙකුගේ එකම ප්‍රාර්ථනය, විවාහයකට මුලින්ම ගැළපෙන්න ඕනෑ මොනවද? එකිනෙකා කෙරෙහි ඇති ආදරය ද? එහෙම නැත්නම් තේරුම් ගැනීමද? අවාසනාවකට අපේ සමාජයේ විවාහයකදී මුලින්ම ගළපන්න හදන්නේ විවාහ වෙන්න දෙන්න නමෛයි. පවුල් දෙකයි. සරලවම කියනව නම් කසාදයකදී මුලින්ම ගළපන්න හදන්නේ කුලය. දෙන්නා මොන තරම් හොඳට ගැළපුනත් කු‍ලේ ගැළපුණේ නැතිනම් ඒ කසාදේ ගැන එතැනින් එහාට කතා කරන්නේ නෑ. මේ සමාජයේ උගත් බුද්ධිමත් කියලා සලකන මිනිස්සුත් මේ කුලය නැත්නම් පෙළපත මුල් කරගෙන කටයුතු කරන එක ගැටලුවක්.

අතීතයෙත් මේ ගැටලුව තිබුණා. තරමක් දුරට අඩු වුණත් අදටත් ඇතැම් ප්‍රදේශවල, පවුල්වල කසාදයක් දී මුලින්ම බලන්නේ කු‍ලේ ගැළපෙනවද කියලා. මේක හොඳටම බලාගන්න පුළුවන් සති අන්ත පුවත්පතක මංගල දැන්වීම් හරහා. බොහෝමයක් මංගල දැන්වීම් පටන් ගන්නේ “උඩරට බොදු ගොවි” කියලයි. ඒ වගේම බොහෝමයක් සති අන්ත පුවත්පත්වල දකින්න ලැබෙන දෙයක් තමයි තමන්ගේ වාසගම වෙනස් කරා කියලා දැන්වීම් පළ කරන එක. කුලය හඳුනා ගන්න පුළුවන් එකම විදිහ තමයි වාසගම. ඉතින් වාසගම වෙනස් කරගෙන හරි මේ මිනිස්සු උත්සාහ කරන්නේ උසස් පෙළපත්වල අයගෙන් ඔවුන්ට වෙන අඩු සැලකිලි බව නැති කරගන්නයි. මං දකින විදියට ඒක වැරැද්දකුත් නමෛයි. මොකද කිසිම කෙනෙක් කැමැති නෑ අඩු කු‍ලේ කියලා සමාජයෙන් කොන් වෙලා ජීවත් වෙන්න.

ඒත් කසාදයක් කියන්නේ කුල ගැළපීමක් නමෛයි. දෙන්නට දෙන්නා ආදරෙයි නම් තේරුම් අරන් ජීවත් වෙනවා නම් ඇයි මේ කුලයක් අල්ලගෙන දඟලන්නේ. කුලය ගැළපෙන්නේ නැතිව වෙන්වුණ කොල්ලෝ, කෙල්ලෝ මේ සමාජයේ මොනතරම් ඉන්නවාද? දෙමාපිය අකැමැත්තෙන් විවාහ වුණාම සදාකාලිකවම පවුලෙන් වෙන් කරන දරුවෝ මේ සමාජයේ ඉන්නවා. සමහර දරුවන්ට දෙමාපියන්ගේ මළගමකට එන්නවත් පවු‍ලේ උදවිය ඉඩ දෙන්නේ නෑ. ඒ තරමටම කුලය සමාජයේ මුල් බැහැගත්ත සාධකයක් වෙලා. කසාදයකදී කු‍ලේ ගැළපෙන්නම ඕනද? ඇයි කුලයෙන් අඩු කෙනෙක් කසාද බැන්දම මොකද වෙන්නේ. අඩු කු‍ලේ කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තාම පවු‍ලේ නම්බුව විනාශ කරනවා, මූණේ දැලි ගානවා කියලයි දෙමාපියෝ කෑගහන්නේ. දෙමාපියන්ට තමන්ගේ දරුවකුගේ සතුටකට වඩා නම්බුව ද වටින්නේ. අඩු කු‍ලේක කෙනෙක් පවුලට සම්බන්ධ වුණා කියලා මොකක්ද වෙන්නේ. වෙන එකම දේ දෙමාපියන්ගේ පුහු මහන්තත්ත්වය බිඳ වැටෙන එක විතරයි. අනිත් එක කු‍ලේ ගැළපුණාම මොකද වෙන විශේෂත්වය. උසස් කුලයක දෙන්නෙක් කසාද බැන්දාම ඒ කසාදය අති සාර්ථකයිද?

වාද නැතිව භේද නැතිව ජීවත් වෙමු කියලා හැමදාම තිබුණේ කවි කතන්දරවල විතරයි. ඒත් අපි හැමෝම මනුෂ්‍යය වර්ගයේ. පුද්ගලයෙක් උසස් හෝ පහත් වෙන්නේ කරන ක්‍රියාවෙන් මිසක් කුලයෙන් නමෛයි කියලයි බුදුහාමුදුරුවෝත් දේශනා කළේ. හැබැයි සියලු සත්ත්වයන්ට මෛත්‍රීකරන ආගම ගැනම කියවන උදවිය තමයි “උන් අඩු කු‍ලේ අපිට ගැළපෙන්නේ නෑ” කියලා කසාදෙකදී උසස් කුලයක් හොයන්නේ. වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕන කීවට අපි හැමදාම ඉන්නේ එකම තැන. හිතේ තියෙන්නේ පුහුණු මහන්තත්ත්වය විතරයි. කුලය නිසා මිනිස්සු මොනතරම් මහන්තත්ත්වයට පත්වෙලාද කියනවා නම් කුලයෙන් අඩු කෙනකුගේ ගෙදරකින් වතුර උගුරක්වත් බොන්න ඇතැම් මිනිස්සු කැමැති නෑ. සතුටකදී නැතත් දුකකදී එක්වෙනවා කියන ඒ මනුස්සකම් අද කොහෙද තියෙන්නේ. මා දන්නා ඇතැම් මිනිස්සු කුලයෙන් අඩු කෙනෙක්ගේ මළ ගෙදරකටවත් සහභාගි වෙන්නෑ. එවැනි මිනිස්සුත් එක්ක හිර ගනුදෙනුවක් නැත්නම් කදාදයක් ගැන කවර කතාද?

ළමයකුට කසාදයක් ගැන තේරෙන වයසෙ ඉඳලම දෙමාපියෝ කරන්නේ මේ කුලය කියන විෂබිජය ළමයින්ගේ ඔළුවට ඇතුළු කරන එක. පවුලට ගැළපෙන කෙනෙක් තෝරගන්න කියලයි කියන්නේ. ඒත් ආදර සම්බන්ධතාවකදී කොහොමද මුලින්ම කුලයක් හොයන්නේ. ඔයාගේ කු‍ලේ මොකක්ද?වාසගම මොකක්ද? අපිට ගැළපෙයිද? මෙහෙම අහන්න පුළුවන්ද? එහෙම ඇහුවත් එක මොනතරම් පහත් වැඩක්ද? නමුත් වර්තමානයේ ඇතැම් තරුණ තරුණියන් මේ ගැන ජුවම කතා කරන්න පෙලඹෙනවා. ඒ කුඩා කාලයේ ඉඳන්ම දරුවන්ට ඔළුවට ආපු ආකල්පත් එක්ක. කුලය මේ තරමට සමාජයට ප්‍රශ්නයක් වෙයි කියලා දැන ගත්තා නම් සංඝමිත්තා තෙරණිය දහඅට කුලයක ජනතාව එක්ක මේ රටට වැඩම නොකරන්නත් ඉඩ තිබුණා.

චතුරිකා ජයසුන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *