ප්‍රභාකරන්ගේ හිටපු පුද්ගලික ආරක්ෂකයාගේ ආදරය පිළිබද ඔහු කියන සංවේදී කතාව මෙන්න

ප්‍රභාකරන්ගේ හිටපු පුද්ගලික ආරක්ෂකයාගේ ආදරය පිළිබද ඔහු කියන සංවේදී කතාව මෙන්න

ආදරය කියන්නේ ජාතියකට ආගමකට විශේෂ වූ දෙයක් නෙවෙයි. මේ කියන්නට යන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ ආදර කතාවක් ගැනයි.

ඔහුගේ නම හෙළිකරනවාට අකමැති වූ නිසා අපි ඔහුට රගූ යැයි කියමු. රගූ කියන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එක්තරා දිස්ත්‍රික්කයක ඉපදුණු කෙනෙක්. යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට සිංහල තරුණයන් එකතු වුණා වගේම එල්ටීටීඊයටත් තරුණයන් එකතු වුණා. රගූ කියන්නේ එහෙම එකතු වුණු කෙනෙක්.

ඔහු තමන්ට පැවරෙන රාජකාරි අකුරටම ඉටු කරන පුද්ගලයෙක් ලෙස එල්ටීටීඊ සංවිධානයේ ප්‍රචලිතව හිටියා. කරන වැඩේ අවංකව හරියට කරන නිසාම එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් රගූ ගැන ලොකු විශ්වාසයක් තිබිලා තියෙනවා.

1996 වසරේ දවසක රඟූ තම පියා සමඟ අමනාපයක් ඇති කර ගන්නවා. ඉන් පස්සේ ඔහු නිවසින් පිටවෙලා යනවා. ඔහුට යන්න තැනක් තිබුණේ නෑ. ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ගැන ලොකු බලාපොරොත්තුවක් සහ ගෞරවයක් රගූට තිබුණා. රගූ එල්ටීටීඊ සංවිධානයට බැඳීමට තීරණය කළා. ඒ කාගෙවත් බලපෑමකට නෙමෙයි. ඒක ඔහු තනිවම ගත්ත තීරණයක්.

1996 දි පමණ තමයි රගූ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වුණේ. එල්ටීටීඊ සංවිධානයේ යුද පෙරමුණේ සිට ස්ථාන කිහිපයක රාජකාරි කළා. මෙහෙම යද්දි දෙන වැඩේ හරියට කරන නිසා කළින් කිව්වා වගේම රගූ ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තයකු වුණා. අවසානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂකයකු ලෙස රගූව තෝරා ගත්තා. ඒ 2007 වසරේ පමණ. ඔහුට ප්‍රභාකරන්ගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන්න පුළුවන් වුණේ වසර දෙකයි.

‘‘මම නායකතුමාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසත් කටයුතු කළා. එල්ටීටීඊ සංවිධානයේ හොඳ විනයක් තිබුණා. ඒවගේම දක්ෂයාට නියම තැන ලැබුණා.’’ ඒ වන විට ඔහු උප ලුතිනන් වරයකු ලෙස එල්ටීටීඊ සංවිධානයේ සේවය කරමින් සිටියා.

වසර 13ක් පමණ එල්ටීටීඊ සංවිධානයේ සේවය කළ රගූට කිසිම අනතුරක් වුණේ නෑ. ඔහුගේ නරක කාලය උදා වුණේ 2009 වසරේදි. 2009 අප්‍රේල් 17 වැනි දා එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පසු රගූ රෝහල් ගත කරනු ලැබුවා. ඔහුට සිහිය එන්න දින කිහිපයක් ගත වුණා. සිහිය එන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්.

එදා රගූට සිහිය ආවත් කිසිම දෙයක් පෙනුණේ නෑ. 2009 අප්‍රේල් නව වැනිදා උදෑසන අවට වටපිටාව රගූ දැක්කේ අවසන් වතාවටයි. ඒ එදා හවස ෂෙල් වෙඩි ප්‍රහාරයත් එක්ක රගූට පෙනීම අහිමි වුණ නිසා. රෝහලේදි සිහිය ආවත් රගූට පෙනුම නම් ආවේ නෑ.

රගූ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසට යෑමට පෙර යන්න වුණේ පුනරුත්ථාපන කඳවුරකට. ඒ වන විට යුද්ධය නිමා වුණා විතරයි. ඇස් පේන්නේ නැති රගූව පුනරුත්ථාපනය කඳවුරට යොමු කෙරුණේ තවත් පිරිසක් සමගයි.

පුනරුත්ථාපනය වෙලා ආපු රගූට රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මැසීම සඳහා පුහුණුවක් ලැබිලා තියෙනවා.

‘පුනරුත්ථාපන කඳවුරේ සිටියදී හොඳට සැලකුවා. හොඳට කන්න බොන්න ලැබුණා. මට නම් එහෙදි ප්‍රශ්නයක් වුණේ නෑ. ඉන් පසු රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මහන්න පුහුණුවක් ලැබුණා. ඒ පුහුණුවෙන් පස්සේ මම ලණු පාපිසි මහන්න පටන් ගත්තා. වියදමත් එක්ක ලණු පාපිස්සක් රුපියල් 250ක් පමණ වුණා. අපි ලණු පාපිස්සක් රුපියල් 250කට වෙළෙඳපොළට දමද්දි රුපියල් 50ටත් රෙදි පාපිසි තියෙනවා. ඕනැම කෙනෙක් ඉතින් රුපියල් 250ක් වියදම් කරන්න යන්නේ නැහැනේ. ගොඩක් අය අඩු ගානට රෙදි පාපිසි ගන්නවා.

මේ රස්සාවෙන් ලොකු දියුණුවක් වුණේ නැති නිසා පොඩි කේටරින් ස්ර්විස් එකක් පටන් ගත්තා. දැන් මං ඒක කරගෙන යනවා. අලුතින් එන අය ලොකු ගානක් දාලා පහසුකම් සහිතව ව්‍යාපාරය පටන් ගන්න නිසා අපිට බිස්නස් අඩුයි. ඔවුන් සමග හැප්පෙන්න අපට බෑ.‘

ඊළඟට එන්නේ රගූගේ ජීවිතයේ සුන්දරම කාලය කියලයි රගූ කිව්වේ.

දිනක් රගූගේ සහෝදරයාගේ ජංගම දුරකතනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබිලා තියෙනවා. එය මිස්කෝල් එකක්. මිස්කෝල් එක කාගේදැයි බලන්න රගූගේ සහෝදරයා එම නොම්බරයට ඇමතුමක් අරගෙන. දුරකතන ඇමතුම පැමිණ තිබුණේ වැරදීමකින් කියලා එවිට තේරිලා. කෙසේ වෙතත් රගූගේ සහෝදරයා සහ අත්වැරදීමකින් වැරදි ඇමතුම් දුන් කාන්තාව මිතුරන් බවට පත්වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ.

රගූගේ සහෝදරයා සමඟ මිත්‍ර වූ තරුණියට සහෝදරියක් හිටියා. ඇයත් රගූ සමග ඉඳ හිටලා කතා කළා. දවසක් රගූගේ සහෝදරයා තම මිස්කෝල් මිතුරිය සමග කතා බහ කරමින් ඉන්දි රගූ ගැන කිව්වා. ‘අපේ අයියා එල්ටීටීඊ එකේ ඉඳන් ඇවිත් ඉන්නවා. එයාගේ ඇස් පේන්නේ නෑ.‘ කියලත් ඔහු කියලා තියෙනවා. ඉතින් මේ කණගාටුදායක කතාව ඇය ඇගේ සහෝදරියටත් කියලා.
ඇස් අන්ධ තරුණයා සමඟ කතා කරන්න ඇයට ඕනෑ වෙලා ඒ බව සහෝදරයට කියා තිබෙනවා. ඒ අනුව රගූගේ සහෝදරයා මාර්ගයෙන් රගූ සමග කතා කරන්න ඇයට හැකි වුණා. පළමු දිනයේ කතා බහ මිනිත්තු කිහිපයකින් අවසන් වුණත් එය ජීවිතයේ ඇරැඹුම කියා එදා රගූ හිතන්න නැතිව ඇති.

ඉන් පසු නිතර නිතර දුරකතන සංවාද ඇති වෙද්දී රගූගෙයි අර තරුණියගෙයි මිත්‍රකම ප්‍රේමයක් දක්වා යන්න වැඩි කාලයක් ගත වුණේ නෑ. කාලයක් දෙන්නා මෙහෙම දුරකතනයෙන් කතා කළත් හමුවෙලා තිබුණේ නෑ. මෙහෙම යද්දි එකපාරටම රගූට තම ප්‍රේමවන්තියගෙන් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ අනුව හොයලා බලද්දී රගූට ආරංචි වෙලා රගූගේ ඇස් අන්ධ නිසා ඇගේ ගෙදරින් මේ සම්බන්ධයට තහංචි වැටී ඇති බව.

මේ සිද්ධියෙන් රගූ ගොඩක් කම්පනයට පත් වුණා. ඔහු මේ ගැන ඥාතියකුට කියලා තියෙනවා. ඥාතියා තරුණිය ගැන සොයා බලා ඇය හොඳ ගති පැවතිම් ඇත්තියක බව තහවුරු කරගෙන ඒ බව රගූට දැනුම් දුන්නා. ඇය ඉතා ලස්සන තරුණියක් බවත් ඔහු කියා තිබුණා. තරුණිය සම්බන්ධ කරගත්තු රගූ ඉදිරි කටයුතු ගැන විමසද්දි ඇස් අන්ද වුණත් රගූ සමඟ විවාහ වෙන්න ඇය කැමති වෙලා. ඒ අනුව රගූ කියලා තියෙනවා කිසිම දෙයක් නැතිව තනිවම කිලිනොච්චි නගරයට එන්න කියලා.

නියමිත වේලාවට ඇය කිලිනොච්චි නගරයට ගියාම රගුත් සිය සහෝදරයා සමග ගිහින් එදාම ඇය සමඟ විවාහ වෙලා තියෙනවා. පෙම්වතිය රගූව සියැසින් දැකලා තිබ්බෙත් එදාමයි. නමුත් රගූ අද වනතුරුත් තම පෙම්වතිය ඇස් දෙකෙන් දැකලා නෑ. ඒ ඔහුට ඇස් පෙනීම අහිමි නිසා.

දැන් රගූ පියෙක්. බිරිය හා දියණිය ජීවත් කරවන්න රගූ ලොකු වෙහසක් ගන්නවා. විශේෂත්වය ප්‍රශ්න රැසක් මැද්දේ මේ පවුල ජීවත් වෙන්නේ ඉතාම සතුටින්.

රගූගේ බිරිඳ තම සැමියා ගැන මෙහෙම කිව්වා.

‘‘මෙයාට ඇස් පේන්නේ නැති නිසා අපේ ගෙදර අය කැමති වුණේ නෑ. ගෙදර අය කැමති වුණේ මාව හොඳ තැනකට විවාහ කර දෙන්නයි. නමුත් රගූ එක්ක ෆෝන් එකෙන් කතා කරද්දි මට තේරුණා ඔහු ගොඩක් හොද කෙනෙක් කියලා. ඔහු අවංක කෙනෙක් කියලා මට තේරුණා. ඒනිසා මම තීරණය කළා දෙමාව්පියො අකමැති වුණත් රගූත් එක්ක විවාහ වෙන්න. මටත් දැන් දුවෙක් ඉන්නවා. මගේ දෙමාපියන් මට තියෙන ආදරේට තමයි මෙයා එක්ක විවාහ වෙනවට අකමැති වෙලා තියෙන්නේ කියලා මට දැන් තේරෙනවා. ඒත් මං විවාහ වුණේ කැමැත්තෙන්. අදත් මම මෙයා එක්ක ඉන්නේ කැමැත්තෙන්. මෙයා මට ගොඩක් ආදරෙයි. අපි සතුටෙන් ජීවත් වෙනවා.’’ ඇය කීවාය.

අප සමඟ බොහෝ වේලාවක් කතා කළ රගූ අවසන් වශයෙන් මෙහෙමයි කිව්වේ.

‘‘හමුදාව සමඟ තරහක් නෑ. ඔවුන් සමග යාළුවන් විදියටයි ඉන්නේ. නමුත් අප වැනි ආබාධිතයන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවධානය අඩුයි. හිටපු එල්ටීටීඊ කෙනෙක් කියලා හංවඩු ගහනවට මං කැමති නෑ. දෙමළ සහ සිංහල ඕනෑම කෙනකුට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙන්න පුළුවන්. එය සාමාන්‍ය දෙයක්. අපිටත් තිබ්බා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒ කාලේ කළා. දැන් ඒ සියල්ල ඉවරයි. ආයේ ඒවා කරන්නේ නෑ. අපිට දැන් ජීවත් වෙන්නයි ඕනැ. අපිට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න කියලයි ඉල්ලන්නේ’’

තරිඳු ජයවර්ධන සහ
සිතුම් චතුරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *