පුරන් අප්පු චරිතයට පණදෙන්න ලැබීම පිනක් එත් දැන් නිදහසේ පාරකවත් බැහැලා යන්න බෑ ඒ නිසා ජීවිතේ අන්තිම කාලෙ ලංකාවෙන් ගිහින් වෙන රටක ජීවත් වෙනවා.

පුරන් අප්පු චරිතයට පණදෙන්න ලැබීම පිනක් එත් දැන් නිදහසේ පාරකවත් බැහැලා යන්න බෑ ඒ නිසා ජීවිතේ අන්තිම කාලෙ ලංකාවෙන් ගිහින් වෙන රටක ජීවත් වෙනවා.

පේ‍්‍රක්ෂක ආදරය නොමඳව ලබාගත් ආදරණීය කලාකරුවෙක් මෙවර සැඳැල්ල කතාබහට එකතු කරගන්න හිතුවා. ඒ ඔහුගේ කලා ලොවේ තොරතුරු කතාබහ කරන්නටත් සමඟින්. ඒ තමයි ඔබ අප කවුරුත් ආදරය කරන රංගන ශිල්පී ගයාන් වික‍්‍රමතිලක.

ගයාන් නැවතත් ඉතිහාසගත චරිතයකින් දකින්න ඉන්නවා නේද?

ඔව්, නැවතත් ඉතිහාසගත චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ‘‘උරුමයක අරගලය’’ ටෙලි නිර්මාණය හරහා.

‘‘උරුමයක අරගලය’’ ගැන කතා කරමුද?

මෙහිදී නිරූපණය කරන්න මට ලැබිලා තියෙන්නෙ වීරපුරන් අප්පු කියන චරිතය. අපේ රටේ ඉතිහාසයේ රට වෙනුවෙන් සටන් කරපු වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩබංඩා, කුඩාපොළ හිමි වැනි වීර චරිත කිහිපයක් එකතු කරගෙන තමයි මේ කතාව ගොඩනඟලා තියෙන්නෙ.

‘‘වීරපුරන් අප්පු’’ වගේ චරිතයක් කරද්දී මොනවගේ අභිමානයක්ද දැණුනෙ?

ඇත්තටම ඒක වචනවලට පෙරළන්න අමාරුයි. හේතුව අපේ රටේ වීර චරිත අපිට ප‍්‍රතිනිර්මාණය කරන්න අවස්ථාවක් ලැබීමත් ලොකු භාග්‍යයක්. මොකද එවැනි චරිත නැවත අපට ඉදිරි අනාගතයේ දැකගන්න වෙන්නෙ නෑ. අහන්න වෙන්නෙත් නෑ. ඒ වගේම අද සමාජයේ වීර චරිත අභාවයට යමින් තියෙන්නෙ. කුඩා දරුවන්ට අහන්න දකින්න මෙවැනි කතා යන්නෙත් නෑ. හැමදේම යන්නෙ වෙනත් පැත්තකට. එහෙව් කාලෙක මෙවැනි චරිතයක් කරන්න ලැබීම සහ මෙවැනි නිර්මාණ කිරීමත් ලොකු දෙයක්.

ගයාන්ට එක දිගට ඉතිහාසගත චරිත කරන්න අවස්ථාව ලැබුණනෙ? ඒකට බලපාන්නෙ ගයාන්ගෙ පෙනුමද?

ඔව්, මම එහෙම හිතනවා. මම මේ මෑතකදීත් කල්පනා කරපු දෙයක් තමයි ඉස්සර ඉතිහාසගත චරිත අපේ ඇස් ඉදිරියෙ ජීවමාන කරපු අය තමයි පාලිත සිල්වා, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී වැනි රංගන ශිල්පීන්. ඉතින් එතැනින් පසුව මට වැඩි වශයෙන් එවැනි චරිත නිරූපණය කිරීම සඳහා මට ආරාධනා ලැබෙනවා. ඒ පිළිබඳ ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද ඉතිහාසගත චරිතයක් කරන්න මම සුදුසුයි කියලා නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු සහ නාළිකාවලින් අදහසක් දරනව නම් ඒ යම්කිසි හේතුවක් මතනෙ. ඉතින් ඒ වෙනුවෙන් ආරාධනා ලැබීමම සතුටට කාරණයක්.

එවැනි චරිත රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නෙ?

අපි මෙහි නිරූපණය කරන චරිත අපි කවුරුත් සැබෑවට දැකලා නෑ. ඉතින් අපි වැඩිහිටියන්ගෙන්, පොතපතින්, අධ්‍යාපනය තුළින් මේ දේවල් අහලා, දැකලා තියෙන්නෙ. එවැනි චරිතයක් නිරූපණය කරද්දි තියෙන අභියෝගය තමයි බහුතරයක් ඔහු මේ චරිතය සඳහා ගැළපෙනවා. චරිතය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා කියන දේ. එහෙම හිතලා තමයි මේ චරිත භාර දෙන්නෙ.

මේ දේ බොහොමයක් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට කරන්න අමාරුයි. එවැනි චරිත කිරීම සුළුපටු දෙයක් නෙමෙයි. හඬ හැසිරවීම, අතපය හැසිරවීම, ගමන, බලාගෙන ඉන්න එක පවා ඒ චරිතයට සාධාරණයක් වෙන විදියට තියෙන්න ඕනැ. නැතිවුණොත් ඒ චරිතවලට අපි කරන අපහාසයක්. ඓතිහාසික චරිත කරන ඕනෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් දැනගන්න ඕනැ දෙයක් තමයි යම්කිසි වීර චරිතයක් ඈඳගෙන ඒ වීරවරයා නමින් කකුල් දෙකෙන් නැඟී සිටිනවා නම් මම මේ වීර චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා කියලා ඒ හිටගන්න එකේ සිට හිතන්න ඕනෑ අපේ ජාතික වීරයන්ට අවනම්බුවක් නොවන විදියට පොළොවෙ පයගහලා ජීවත්වෙන්න ඕනැ කියලා. එහෙම නැතිව මම ඉතිහාසගත රජ කෙනෙක් කියන දේ නිරූපණය කරන එකෙන් තමන්ව පෙන්නගන්න එක විතරක්නම් බලාපොරොත්තුව මම ඒක කොහෙත්ම අනුමත කරන්නෙ නෑ.

මේ චරිත ගොඩනඟන්න අපහසු ඇති නේද? සාමාන්‍ය චරිතවලට වඩා ගොඩක් වෙනස් නිසා?

ඇත්තටම එකෙ ලොකු අපහසුවක් නෑ. මොකද ඊට වඩා අමාරු චරිත මම නිරූපණය කළා. පත්තිනි, දළඳාගමනය, අජාසත්ත වැනි නිර්මාණවල. ඒ නිර්මාණවලට සාපේක්ෂව මේ නිර්මාණයේ පහසුවක් දැනෙනවා. ඇඳුම් පැළඳුම් සහ කතා ව්‍යවහාරය තරමක් දුරට හොඳයි. සංකීර්ණ නෑ.

ගයාන් ‘‘උරුමයක අරගලය’’ සමඟ සම්බන්ධ වුණේ කොහොමද?

මම සනත් අබේසේකර මහත්මයාගෙ නිර්මාණ කිහිපයකම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ චරිතයටත් සනත් අබේසේකර මහත්මයා ඇතුළු හිරු නාළිකාවෙ ඒ හා සම්බන්ධ සියලූ දෙනාගෙ කැමැත්ත මත මට මේ වෙනුවෙන් ආරාධනා ලැබෙන්නෙ. ඉතින් මම හිතනවා හිරු නාළිකාවත් සනත් අබේසේකර මහත්මයත් ඇතුළු මේ සියලූම දෙනාගෙන් ලැබුණු ආරාධනාව මම ටෙලිනාට්‍ය තුළ සාර්ථකව නිරූපණය කරනවා කියලා.

මීට අමතරව නියැළෙන නිර්මාණ ගැනත් කතා කරමු?

මීට අමතරව තවත් නිර්මාණයක් පටන් ගන්නවා චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ. ඒක ප‍්‍රහසන ටෙලි වෘතාන්තයක්. මගෙ ජීවිතේ පළවෙනි වතාවට තමයි එවැනි ටෙලිනාට්‍යයකට දායක වෙන්නෙ. ඉතින් මම හිතනවා ඒක මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. මොකද මම මීට පෙර ප‍්‍රහසන නාට්‍යවලට සම්බන්ධ වෙලා නෑනෙ. ඉතින් බලනවා මේ චරිතය කොහොමද කරන්න වෙන්නෙ කියලා.

රංගන ශිල්පියෙක් විදියට ඕනෑම අභියෝගයක් භාරගන්නවා?

ඔව් ඔව් ඒ අභියෝගවලින් තමයි අපි ක්ෂේත‍්‍රයේ යම්දෙයක් ඉගෙන ගන්නෙ.

ගයාන් විවිධාකාර චරිත තුළින් නිර්මාණවල පෙනී හිටියනෙ. ඉතින් මේ වනතෙක් නොලැබුණු නිරූපණය කරන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවද?

මම ගොඩක් ආසයි ගොළු, මන්ද මානසික චරිත වගේ දේකට යන්න. ඒවගේ චරිතයක් ඉදිරියෙදී ලැබෙනවනම් ආසාවෙන් භාරගන්නවා.

රංගන ශිල්පීන් ශිල්පිනියන් දැන් ගොඩක්ම රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ඉන්නවනෙ. ගයාන්ට ඒ වෙනුවෙන් ආරාධනා ලැබිලා නැද්ද?

මමත් චතුරිකාත් අපි දෙන්නම රියැලිටි වැඩසටහන්වලට සහභාගී වෙන්නෙ නෑ. හේතුව සමහරුන්ට ඒවා ගැලපුනාට ඒක අපිට ගැළපෙන්නෙ නෑ. මොකද අපි රංගන ශිල්පීන් විදියට චරිත නිරූපණය කළාට ප‍්‍රසන්ටර්ස්ලා නෙමෙයි. ඉතින් එහෙම වැඩසටහන් තුළ අපි පේ‍්‍රක්ෂකයන්ගෙන් ිපි ඉල්ලන්නවත් ඔවුන් ඉදිරියෙ කොමඩිකාරයො වෙන්නවත් කැමති නෑ. ඒ අපි හිතන විදිය. නමුත් ඒ වෙනුවෙන් සහභාගී වෙන අනිත් අයගෙ වරදක් අපි දකින්නෙ නෑ. එක එක පුද්ගලයන්ගෙ සිතළු සහ හැකියාවන් ඉදිරිපත් කිරීම් වෙනස් ඇති. ඒක නිසා අපි එවැනි වැඩසටහන් වලින් ටිකක් ඈත්වෙලා ඉන්නවා. නමුත් අවුරුදු වැඩසටහන්වලදී, ඇතැම් නාළිකා වල කරන ප‍්‍රසංග වේදිකා වැඩසටහන් වගේ දේවල්වලට සම්බන්ධ වෙනවා නාළිකාවෙ ඉල්ලීම මත.

ඉතින් අවසාන වශයෙන් ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද කියලත් කතා කරමු?

ජීවිතේ ගොඩක් කාර්යබහුලයි. එළිවුණු මොහොතේ පටන් කුමක් හෝ වැඩක නිරතවෙන්න සිදුවෙනවා. මොන දේ වුණත් මගෙ එකම දේ සන්තෝසෙන් නිදාගන්නවා. හොඳට නිදාගන්න ඕනෑකම තියෙනවා. ඉදිරි අනාගතය පිළිබඳ ලොකු බලාපොරොත්තු නෑ. නමුත් ජීවත්වෙන්න ඕනැ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අවසානෙ තියෙන එකම බලාපොරොත්තුව තමයි ලංකාවෙන් සමු අරගෙන යන එක. මොකද මම පොඩි කාලෙ දැකපු ප‍්‍රාර්ථනා කරපු රට නෙමෙයි දැන් තියෙන්නෙ. ඉදිරියෙදි ලංකාව යන විදියත් එක්ක මට හිතෙනවා මෙහෙ ඉන්න එක ඔළුවට හොඳ නෑ කියලා. නිදහසේ පාරකවත් බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. ඉතින් මම කැමති නෑ අපේ රට මෙහෙම විනාශවෙනවා දකින්න. ඒ නිසා ජීවිතේ අන්තිම කාලෙ ලංකාවෙන් ගිහින් වෙන රටක ජීවත් වෙනවා.

ධනු විජේරත්න
උපුටාගැනීම saaravita.lk වෙබ් අඩවියෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *