පොසොන් උදාවේ ජනපතිගේ දේශපාලන පොලොන්නරුව තිඹිරිගෙදර මුල් කොට සුනඛ සංහාරයක් ?

පොසොන් උදාවේ ජනපතිගේ දේශපාලන පොලොන්නරුව තිඹිරිගෙදර මුල් කොට සුනඛ සංහාරයක් ?

පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සිකුරාදා (08) පොලොන්නරුව නගර වාසින් අතරේ බෙදා හැර තිබේ.

එම නිවේදනය සම්පුර්ණයෙන් මෙලෙසිනි.

කාරුණික දැනුම්දීමයි : “මේ වන විට පොලොන්නරුව නගරය ආශ්‍රිතව අයාලයේ යන සුනඛයන් සපා කෑමට ලක් වීම නිසා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රලෙස වැඩිවී ඇති අතරම ජලභීතිකා රෝගීන්ද වාර්තා වී ඇත.

ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ දිස්ත්‍රික් පශුවෛද්‍ය කාර්යාලය එක්ව මෙම තත්වය පාලනය කිරීම සඳහා අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමේ වැඩසටහනක් ඉදිරිදිනවලදී නොකඩවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එබැවින් ඔබ නිවසේ ඇති කරන ලබන සුරතල් සතුන් කූඩු කර හෝ බැඳ තබා ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස මෙයින් ඔබව කාරුණිකව දැනුවත් කරමි”.

ඉහත සඳහන් නිවේදනයෙහි ගැටලු සහගත තැන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතාගෙන් විමසීමක් කරන ලදී එහිදී ඔහු වෙත යොමු කරන ලද පළමු ප්‍රශ්නය වුයේ ඔහුගේ බල ප්‍රදේශය තුළ ගෟහස්ථ නොවන අයාලේ යන සුනඛයන් සපාකෑම නිසා රෝහල් ගතවූ පුද්ගලයන් ශීඝ්‍රයෙන් වැඩිවූ බව සංඛ්‍යාලේඛන මගින් සනාථ කළ හැකිද යන්නය. නමුත් ඊට ඔහුගෙන් නිසි පිළිතුරක් නොලැබිණි.

ඔහුවෙත යොමු කෙරුණු දෙවෙනි ප්‍රශ්නය වුයේ ඔහුගේ බල ප්‍රදේශය තුළ මෑත කාලය තුළ ජලභීතිකා රෝගීන් කීදෙනෙකු වාර්තා වී තිබේද යන්නය. එහෙත් ඒ සඳහාද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි. මෙම නිවේදනයෙහි සඳහන් “සුනඛයන් ඉවත් කිරීම”යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද යන්න පිළිබඳව අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ එය තවම සාකච්ඡා මට්ටමේ පවතින්නක් බවය. ඒ අනුව සුනඛයන් ඉවත් කරන බවට නගර වැසියන්ට නිවේදනයක් නිකුත්කොට ඇත්තේ අදාල සාකච්ඡාව සිදුකිරීමටත් පෙර බව පෙනේ. එය සැකයට තුඩු දෙන්නකි. එමෙන්ම සත්ව අවිහිංසා ක්‍රියාකාරිනියක විසින් මේ පිළිබඳ කරන ලද විමසුමකදී ඔහු පවසා ඇත්තේ එම සතුන් අනුරාධපුරයේ පිහිටි සුනඛ අනාථාගාරයක් වෙත යොමු කිරීමට කටයුතු කරන බවකි.

එහෙත් නොවිධිමත් පරිපාලන හේතුන් මත අනුරාධපුර නෙල්ලිකුලමේ පවත්වාගෙන ගිය “සුනඛ මිතුරු නිවහන”නම් සුනඛ අනාථාගාරය වසා දමා දැන් සෑහෙන කලකි. පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කරන ලද මෙවන් පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මෙම සුනඛයන් “ඉවත් කිරීමේ”ක්‍රියාවලිය ගැන සාධාරණ සැකයක් ඕනෑම කෙනෙකු තුළ ජනිත වියි හැක.

මක්නිසාද වෙනත් ස්ථාන වලින් ද මෙලෙස සුනඛයන් පැහැරගෙන ගොස් හොර රහසේ මරා දැමූ බවට සත්ව හිමිකම් සංවිධාන වලට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවිනි. 2013 වසරේ කොළඹදී පැවැති CHOGM සමුළුව මුල් කොට කොළඹ නගරය තුළින් අල්ලා ගත් නිවාස අහිමි සුනඛයන් 300කට අධික ප්‍රමාණයක් රහසේ මරා දැමූ පුවත මෙරට සත්ව හිමිකම් හා සුභසාධන තත්වය ඛේදනිය ලෙස උඩුයටි කරවන්නක් බව බොහෝ දෙනෙකුගේ මතයයි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සත්ව හිමිකම් සහ සුභසාධන ක්‍රියාකාරිනියක වන නීතිඥ ලලනි පෙරේරා මහත්මිය මෙසේ කීවාය.

“සත්ව හිමිකම් හා අයිතිවාසිකම් ගැන දැන් ලෝකයේ විශාල උනන්දුවක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල පවා සත්ව හිමිකම් හා අයිතිවාසික්ම් තහවුරු කෙරෙන වගන්ති යොදා තිබෙනවා. ඒ අනුව ඒ රටවල මුලික අයිවාසිකම් මිනිසුන්ට සේම සතුන් හටද ලැබී තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීමට සතුන්ට බෑ. ඒ වෙනුවෙන් කතා කළ යුත්තේ අපිමයි. අපේ රටේත් 2006 වසරේ සිට රජය සුනඛ ඝාතනය ප්‍රතිපත්තිමය වශයෙන් නතර කළා.

ඒ අනුව සුනඛ ගහනය පාලනය කිරීමේ උපයා මාර්ගය ලෙස සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දීම සහ සුනඛ වන්ධ්‍යාකරණය 2008 සිට රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කළා. සත්ව හිමිකම් සහ සුභසාධන සංවිධානත් මේ යාන්ත්‍රණයට එක්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වන විට ජලභීතිකාව සාර්ථක ලෙස පාලනය වෙමින් තිබුණා. නමුත් අද වන විට එම යාන්ත්‍රණය මුළුමනින් අඩාලවී තිබෙනවා. ඒ අනුව සුනඛ ගහණය පාලන කිරීම සඳහා රහසිගතව සුනඛයන් ඝාතනය කිරීම ඇතැම් පාලාත් පාලන හා වෙනත් ආයතන මගින් සිදු කෙරෙන බවට තවමත් තොරතුරු ලැබෙමින් තිබෙනවා.

මෙය දියුණු සමාජය තදින්ම පිළිකුල් කෙරෙන මිලේච්ඡ තත්වයක්. ඒ අනුව රජය සහ වගකිව යුතු ආයතන විසින් සදාචාර සම්පන්න ලෙස ගතයුතු ක්‍රියාමාර්ග පසෙකලා සුනඛයන් “ඉවත් කිරීම”වැනි ආටෝපකාරී වදන ජනතාව හමුවට ගෙනවිත් සුනඛ සංහාර සිදු කිරීමට කෙසේවත් ඉඩ දිය යුතු නැහැ.

විශේෂයෙන් සුනඛයන් මහමඟට ඇද දැමීම සම්බන්ධයෙන් නිසි කළමනාකරණ වැඩ සටහනක් ක්‍රියාත්මක කොට ඒ සඳහා ජනතා සහයෝගය ලබා ගැනීමට මෙහිදී වගකිව යුත්තන් කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව අසරණ සුනඛයන් නිතිපතා ඝාතනය කරවීම හෝ ඔවුන් ජනශූනය ප්‍රදේශවලට ඇද දමා මරණයට පත්කරවීම මිනිසත් කමටත් නිගා දෙන්නක් බව කිවයුතුයි”.

අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සත්ව සුභසාධන සංවිධානයේ විධායක සභික නීතිවේදී වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පළ කරනුයේ මෙවන් අදහසකි.

අපෙ රටේ නිවාස අහිමි සුනඛයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ට නිවාස අහිමිව ඇත්තේ එම සුනඛයන් හෝ මව පියා නැතහොත් මුත්තනුවන් සහ මිත්තනිය ඉතා කෘර ලෙස නිවෙස් වලින් මහ මඟට ඇද දැමීම නිසයි. ඒ අනුව එය ඔවුන්ගේ වරදක් නිසා සිදුවූවක් නොවන බව පැහැදිලියි. එමෙන්ම ඔවුන් අයාලේ (stray) යන වදනින් හැදින්වීමත්විද්‍යාත්මක නෑ. අද මහ මඟ සිටින සෑම සුනඛයෙකුම යැපෙන්නේ කිසියම් ප්‍රජාවකගේ රැකවරණය යටතේයි. ඔවුන්ට නිතිපතා ආහාර ලබා දෙන ඔවුන් ගැන යම් තරමකට හෝ සොයා බලන පිරිස් අප සමාජයේ සිටිනවා. ඒ නිසා එම සුනඛයන් විද්‍යාත්මක වශයෙන් හැදින්වෙන්නේ ප්‍රජා සුනඛයන්(community dog ) ලෙසයි.

මෙම සුනඛයන් පිළිබඳව අප සංවිධානය නිරීක්ෂණ කිහිපයක්ම සිදුකොට තිබෙනවා. පිටස්තරයන් නොදැන සිටියාට එම ප්‍රජාව විසින් ඔවුන් හැදින්වීමට නම් පවා භාවිතා කරනවා.

නිවාස අහිමි වුවත් මෙම සුනඛයන්ටත් වාසභූමි(Habitat) තිබෙනවා. ඇතැම් විට ඒ වාසභූමියි කිසියම් වර්ග ප්‍රමාණයක් විය හැකියි. ඔවුන් නිතිපතා වාසය කරන්නේ ඒ වාසභූමිය තුළයි. ඒ අනුව ඔවුන් දඩාවතේ යන වදනින් හැදින්වීම මුළු මනින්ම වැරදියි.

නවීන ලෝකයේ සිදු කර ඇති මෙම සොයා ගැනීම් අපේ රටට තවම සම්ප්‍රේෂණයවී නැහැ. බොහෝ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරී කටයුතු වලදී සිතන්නේ ඉතා පටු රාමුවක් තුළයි. ඒ මත ගනු ලබන ඇතැම් නීන්දු තීරණ නවීන ලෝකයාගේ අවඥාවට ලක් විය හැකියි. ඒ නිසා මෙවැනි නීන්දු තීරණ ගැනීමේදී නෛයිතික රාමුව වගේම සමාජ සදාචාරය සහ සමාජ විඥානය අතින්ද මෙම නිළධාරීන් තව දුරටත් මුවහත් විය යුතු යැයි මා සිතනවා.

කිසියම් ප්‍රදේශයක සුනඛ ගහනය සිදුවන්නේ බහුවිධ සාධක පදනම් කරගෙනයි. වගකීම් විරහිත ලෙස සුනඛයන් ඇති කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වනවා. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල මෙන් සුනඛ ලියාපදිංචියක් සිදු කර විදේශීය සුනඛයන් ඇති කරන්නවුන්ගෙන් බද්දක් අය කර හෝ සුනඛ කළමනාකරණ වැඩ සටහනක් ක්‍රීයාත්මක කිරිම අප්‍රමාදව සිදුවිය යුත්තක්. එසේ නොකොට සුනඛ ගහනය වැඩිවීමේ“වරදට”අසරණ සුනඛයන් වැරදිකරුවන් කොට ඔවන් කෘර මරණ දඩුවමට යටත් කිරීම මිනිස් සදාචාරයට ඉදුරාම පටහැනි මිලේච්ඡ ක්‍රියාවක් බව නිසැක ලෙසම කිව යුතුයි”.

මීට වසර 2343 කට පෙර එනම් ක්‍රි.පූ 2325 මිහිදු මාහිමියන් සිරිලකට වැඩම කර සිදුකළ පළමු කාර්ය දඩ කෙළියේ යමින් සිටි තිස්ස රජතුමන් “තිස්ස තිස්ස”කියා ඇමතීම යැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් මිහිදු හිමියන් එම ඇමතීම කරන ලද්දේ මරණයට කැපවී සිටි මුවෙකු හට අභයදානය දීමට බව අද බොහෝ දෙනෙකුට අමතකවී තිබේ. එවන් උතුම් පරමාදර්ශ සහිත බුදු සසුන සිරිලක ස්ථාපිතවීම සැමරෙන ශ්‍රී.බු.ව. 2562 පොසොන් පෝය මුල් කොට පැරණි හෙළ රජ දහනක් සේම වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන තිඹිරිගෙය වන පොලොන්නරුව මුල් කොට සිදු කිරීමට යන මෙම සුනඛ සංහාරය සම්බුදු සසුනේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වැනසීමට කිසියම් පිරිසක් විසින් සැලසුම් කරන ලද නිහඬ කුමන්ත්‍රණයක් යැයි යමෙකු චෝදනා කළ හොත් මෙම සිද්ධිය අදාල බලධාරීන් ඊට ලබා දෙන පිළිතුර කුමක්ද?

තිලක් සේනාසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *