ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න 

ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න

භාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවට පුරසාරම් දෙඩු බැස්ටියන්පිල්ලේ වන ලැහැබක කුණු වෙමින් සිටිය දී ගස් කපන්නෙකුට හමු විය. මේ ප‍්‍රවෘත්තිය එල්.ටී.ටී.ඊ ට ඉස්තරම් වාර්තාවක් වූ අතර තමන්ට ඕනෑම වීර කි‍්‍රයාවක් කර නොපෙනී යාමේ බලයක් ද පවතින බවට වහසි බස් දෙඩීය.

මෙම සුරු – විරු කම් ජ්‍යාතන්තරයට යාමත් සමඟ, 1978 දී කොටි සංවිධානය තුන්වන ලොකයේ ගරිල්ලා සංවිධානයක් බවට ප‍්‍රසිද්ධ වෙමින් පැවතිණි. එම ස්ථාවරය මත, ප‍්‍රභාකරන්ගේ නොනිල අපාරදෘශ්‍ය මෙහෙයවීම යටතේ නමුත් උමා මහේෂ්වරන්ගේ නව දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවකින් සමන්විත සංවිධානයක් ලෙස කොටි සංවිධානය මතුව පෙනිණි.

නැකත මනරම් යැයි සිතුණු නිසාදෝ 1975 දී සිදු කළ නගරාධිපති දොරේ අප්පාගේ ඝාතනයේ පටන් එද‌ා වන තුරු සිදු වූ ඝාතන ගණනාවක් ගැන කොටි සංවිධානය ප‍්‍රසිද්ධියේ වගකීම භාරගත්තේ 1978 දී ය. ලාභ කඩද‌ාසියක ඉන්දියාවේදී මුද්‍රණය කළ ලිපි ශීර්ෂයක කොළඹදී යතුරු ලියනය කරන ලද මේ නිවේදනය මගින් කොටි සංවිධානය සිය අතිශය ස්ථාවර අභංගුර මංගල නිවේදනය මුළු රටටම ප‍්‍රකාශ කර තිබිණි. “සියලුදෙනාගේම දැනගැනීම පිණිසයි.” ලෙස පණිවිඩය ආරම්භ වූ අතර එය අවසන් වී තිබුණේ මෙලෙසය. “මෙම මරණ සම්බන්ධයෙන් කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙකු වගකීම භාර නොගත යුතුයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නන්ට එරෙහිව අතිශය බිහිසුණු පියවර ගැනීමට සිදු විය. පසු ගිය කාලයේ සිදු වූ හොරකම් ගැනද අපගේ සම්බන්ධයක් නැත.”

මෙම නිවේදනයේ පිටපත් පහක් දේශීය පුවත්පත් පහකට කොළඹ තැපැල්හලකින් යවා තිබිණි. එය පළකරන ලද්දේ ‘වීරකේසරී’ දෙමළ පුවත් පතේ පමණි.

එතෙක් කලක් කනින් කොණින් අසා කසු කුසුවක් ලෙසින් දැන සිටි දූෂමාන ආරංචිවලට නිල වශයෙන් වගකීමක් ලැබුණේ එද‌ායින් පසුවය. ඒ වනතුරු ‘කොටි’ පිළිබඳව මහජනතාව අදහාගෙන සිටියේ එය පවතින රජයේම අතේ රෝලක් ලෙස වුවත් මෙතැන් පටන් සිදුවන කටයුතු ගැන ජනතාව නිල වශයෙන් අයිතිකරුවකු ගැන දැන සිටියේය.

අමනාපයට පත් ආණ්ඩුව විශේෂ විධි විධාන භාවිතා කරමින් කොටි සංවිධානය තහනම් කළේය. තිස් අටදෙනෙකුගේ නම් රැගත් පෝස්ටරයක් මුද්‍රණය විය. යන්තම් වැඩුණු උඩු රැවුලක් සහිත ගැමි පෙනුමක් ඇති කොල්ලකුගේ රූපයක් යටින් මෙසේ සටහන්වී තිබිණි. වේලුපිල්ලේ ප‍්‍රභාකරන් නොහොත් තම්බි. 322 පේදුරුතුඩුව පාර, වැල්වැටිතුෙරෙයි.”

ඒ ආසන්නයේම දින දෙක තුනක් ඇතුළත අපරාධ රැල්ලක්ම සිදු විය. යාපනයේ සිට කොළඹට පැමිණි ගුවන් යානයක් කොළඹ දී පිපිරිණි. තවත් බැස්ටියන්පිල්ලේ කෙනෙකු වූ පොලිස් නිලධාරියෙකු ඔහුගේ බිරිඳ ඉදිරියේම වෙඩි කෑවේය. කොටි සංවිධානයට ආර්ථික ලාබයක් ලබාදෙමින් රුපියල් ලක්‍ෂ දොළහක මංකොල්ලයක් යාපනය රාජ්‍ය බැංකුවක සිදු විය. සියලු උත්සහයන් නිෂ්ඵල විණි. ‘ත‍්‍රස්තවාදීන් ගැන කිසිවෙකුගෙන් කිසිම තොරතුරක් නොලැබිණි.’

උසස් පොලිස් නිලධාරියෙකු වු ස්ටැන්ලි සේනානායක මෙසේ කියා තිබිණි: “මේ සාමාන්‍ය අපරාධකරුවන් නොවේ. ඔවුන් සාමාජ ජාලයන් සමඟ විධිමත් ක‍්‍රමවේදයන් හද‌ාගත් උගත්, කාර්යක්‍ෂම, නිදැල්ලේ සිටින අයයි. දැන් දැන් ඔවුන්ට මහජනතාවගේ බිය වැඩිවේ. ඒ නිසා තොරතුරු කොහෙත්ම ලැබෙන්නේ නැහැ.”

1979 වන තුරුත් සැනසිලිද‌ායක වාතාවරණයක් ආරක්‍ෂක හමුද‌ාවට නොලැබුණු නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුද‌ා කණ්ඩායම් යාපනයට යවා සැකකටයුතු තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පහර දී වධ හිංසාවලට පවා ලක් කෙරිණ. අවස්ථාවෙන් මග හැරීම සඳහා ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවට පලා ගියහ.

එළැඹෙන අදියරට නොබියව මුහුණදීමට කොටි සංවිධානයට ඊරොස් සංවිධානයෙන් කාලීන වරමක් ලැබිණි. සුදුසු සටන්කරුවන් සිවු දෙනෙකුට ලෙබනනයේ දී විස්තීර්ණ යුධ පුහුණුව ලබා දීමයි. එක් එක් සෙබළාට කොටි සංවිධානය මඟින් රුපියල් ලක්‍ෂයක් (ගුවන් ගමන් සඳහා) ගෙවන ලදී. ලන්ඩනයේ විසූ සිරියානු ජාතිකයන් විසින් වීසා පහසුකම් සලසන ලදී.

උමා මහේෂ්වරන් හැර අනෙකුත් තිදෙනා පුහුණුවට අඛණ්ඩව සහභාගී විය. උමා නොසතුටින් ආපසු පැමිණියේ ප‍්‍රශ්නයක්ද හද‌ාගෙනය. ප‍්‍රශ්නය නම් උමා, කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට නැගුණු පැමිණිල්ලයි. සංවිධානය තුළ එවැනි සම්බන්ධකම් තහනම් කර තිබිණි. උමාට සංවිධානයෙන් ඉවත් වන ලෙස දැන්වුවත් ඔහු ඉවත් වූයේවත්, චෝදනාව පිළිගත්තේවත් නැත.

ප‍්‍රභාකරන් ගන්නා තීරණයක් නැවත සංශෝධන නොවන්නා නිසා මේ තීරණය හා ඊට පසුව ආ මතභේද ක‍්‍රමයෙන් ගොඩගැසී උමා හා ප‍්‍රභාකරන් අතර හටගත් මේ සංවිධානයේ විනය පිළබඳ කොන්දේසිය පසුව පුද්ගලික නෝකඩුවක් වන තරමට වර්ධනය විය.

විශේෂයෙන් ලන්ඩන් ශාඛාවෙන් නියෝජනයක් යාපනයට පැමිණ උත්සහා කලද යහපත් ප‍්‍රතිඵල නොවීය. එබැවින් ලන්ඩනයේ පදිංචි පුරවැසියෙකු වූ ඇන්ටන් බාලසිංහම් ලංකාවට එවීමට යෝජනා විය.

නැගෙනහිර දර්ශනවාදයේ මාක්ස්වාදී මතවාදයේ හා පුවත්පත් කාලාවේදීයකුද වූ මේ ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම්, දෙවන කසාදය වශයෙන් ඔස්ට්‍රෙිලියානු කාන්තාවක් සමග දිවිගෙවූ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරියෙකි.

ඔහු ලියූ ‘සමාජවාදී ගමනක් වෙත’ නමැති දේශපාලන නිබන්ධනය ගැනද ප‍්‍රභාකරන් අසා තිබිණි. පසු කලෙක උමා මහේෂ්වරන් විසින් අනුමත කරන ලද මෙම නිබන්ධනයේ පිටපත්, යාපනය පුරා බෙද‌ාහැර තිබිණි. එපමණක් නොව තවත් භාෂා හයකට පරිවර්තනය කරන ලදුව කියුබාව ඇතුළු විවිධ රටවලද බෙද‌ාහැර තිබිණි.

බාලසිංහම් ලන්ඩනයේ සිට ඉන්දීයාවට පැමිණ සාමාන්‍ය හෝටලය නතර විය. ප‍්‍රභාකරන් ඔහු සමඟ කථා කළේ රාත්‍රී කාලයේදීය. ලංකාවට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ සගයින්ට මාක්ස්වාදයේ මූලික හරයන් ගැනත්, ඊළම් දේශය ගැනත් හා ප‍්‍රවේශම් විය යුතු ලිංගිකත්වය ගැනත් කරුණු කියා දුන්නේ ය. ඉන්දියාවේ සිටින කෙටි දින කිහිපය තුළ ප‍්‍රභාකරන් ඔහුට තම අතින්ම කෑම පිසූ අතර බටහිර හා දෙමළ චිත‍්‍රපටයක්ද නිවසේදීම නරඹන්නට සැලැස්වීය.

උතුරේ චණ්ඩි නායකයා වූ ප‍්‍රභාකරන් හඳුනා ගැනීමෙන් පසුව නැවතත් ඇන්ටන් බාලසිංහම් යුවල ලන්ඩනයට පිටත් වූ අතර යලිත් වරක් උමා – ප‍්‍රභා මත භේදය ඇවිලිණි. ප‍්‍රභාකරන් උමා මහේෂ්වරන්ට ඔහුගේ පෙම්වතිය වූ උර්මිලා කසාද බැඳීමට බල කලත් එයද ඉටු නොවිණි. උමාගේ මිතුරන් උර්මිලාටද, උමාටද සමාවන ලෙස ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටි විට ඔහු උර්මිලාගේ දෙපයට කෙල ගැසීය. ඔහුට පක්‍ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් පැවති ක්‍රෝධය එතරම් සැහැසි විය.

වෙලි වෙලී එන මතභේදයට නව දඟකැවීමක් කරමින් නවීනවන පක්‍ෂය ඉදිරියේ තමන්ට පසුබසින්ට සිදු වන බව ‘නිදහසට හේතුවක් පිණිස’ උමා ප‍්‍රකාශ කළේය. නමුත් ප‍්‍රභාකරන් එසේ නොවීය. (උමා වාර්තා කර ඇති ප‍්‍රකාශවල හැටියට ඔහු 1979 දී සංවිධානය අතහැර ගියේ ය) උමා එල්.ටී.ටී.ඊ පක්‍ෂය හැර ගියේ එල්.ටී.ටී.ඊ යේ අවි ආයුධද සමඟයැයි ඇතැම් මූලාශ‍්‍රවල සඳහන් වේ. එලෙස ගියා පමණක් නොව නියම සංවිධානයේ නායකයා තමන් බව ප‍්‍රකාශ කළ බවද සඳහන් වේ.

යළිත් වරක් කාසි ආනන්දන් වෙත ගිය ප‍්‍රභාකරන් – “මම දන්නේ නෑ, දැන් මොකක් වෙයිද කියලා. අපි අපි අතරම ගැටුම් ඇතිවෙයිද කියලත් හිතෙනවා.” – ඔහු තම වික්ෂිප්ත භාවය පළ කරමින් කීය.

“තමන් ගැන තියෙන විශ්වාසය විතරක් නැති කර ගන්න එපා.” කාසි ආනන්දන්ගේ සැනසිලිදායක අවවාදය එය විය.
තීරණ ආපසු හැරවීම දුෂ්කර වුවත්, මදුරාසියේදී උමා මහේෂ්වරන්ගේ ඇවතුම් පැවතුම් සෝදිසියෙන් සිට තමන්ට රහසින් වාර්තා කීරිමට ප‍්‍රභාකරන් තරුණ ඔත්තුකරුවකු යෙදෙව්වේ ය.

1980 දී ප‍්‍රභාකරන් යළිත් යාපනයට පැමිණියේය. පක්‍ෂය තුළ මතභේද තවමත් පැහෙමින් පැවතිණි. කවුරුත් ප‍්‍රභාකරන්ට මැසිවිලි හා කෙනෙහිලිකම්වලින් ඇනුම්පද හඟවන්නට පටන්ගත්හ. ඇතැමෙක් පක්‍ෂය විසුරවා හැර රහසිගත සංවිධානයක් ලෙස ගෙන යන්නටද යෝජනා කළහ.

සිටියා වූ ඇතැම් අය ‘ද්‍රෝහීන් ’ ලෙස නම් කළ ප‍්‍රභාකරන් වාමාංශික ව්‍යවස්ථාවක් සමඟ අලුත් මධ්‍යමකාරක සභාවක් පත් කළේය. නොසල්වී සිටි මිත‍්‍රයින් සිටියේ අතළොස්සකි. බොහෝ දෙ​ෙනක් පක්‍ෂපාත නොවූහ. ප‍්‍රභාකරන් පක්‍ෂය තුළ තීරණ අතික‍්‍රමණය කළ හැකි බලයක් තමන් වෙත දෙන ලෙස ඉල්ලුවත් එයද ප‍්‍රතික්ෂේප විය.

“මම පක්‍ෂය වෙනුවෙන් හූඟාක් දේ කළා. ඒත් කවුරුවත් ඒවා සලකන්නේ නැහැ.” ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධියේම විවේචනය කළේය. ඇතැම්හු ඔහුව කෙලින්ම විවේචනය කළ අතර, ප‍්‍රභාකරන් කදුළු පිරි දෑසින් සියල්ල ඉවසා ගත්තේය. ඉතා ඉක්මනින් තමන් කල්ලියෙන් ඉවත් වන බවද කීවේය. එම තීරණය කම්පනයෙන්ද, නිශ්බ්ධතාවයෙන්ද, පිරුණු ඝනාන්ධකාරයක් විය.

ඉතාම ලඟින්ම සිටි මිතුරන් පවා ඔහුගේ හැරයාම වලක්වන්නට උත්සාහා කළද ප‍්‍රභාකරන්ගේ තීරණ අයෝමය විය. තමන් බැරූරුම් ලෙස හෑල්ලූ වී නිග‍්‍රහයට පත්වී ඇතැයි ඔහුට සිතී තිබිණි.

එක් චණ්ඩියෙකු ඔහුගේ කම්පාව වෙනුවෙන් පිස්තෝලයක් තෑගී දෙන්නට ඉදිරිපත් වූ අතර ප‍්‍රභාකරන් එය ආඩම්බරයෙන් බාරගත්තේය. මෙසේ චිත්ත පීඩාවෙන්ද, කල කිරුණු සිතින්ද හා විඩාපත් හදවතින්ද යුතුව ආපසු හැරුණු ප‍්‍රභාකරන්, තම මාමාගේ ගෙදරට ඇවිද ගොස් නව ජීවිතයක් අලුතින්ම ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *