මොකද්ද මේ ගිනි පෑගිම කියන්නේ මෙන්න ගිනි පෑගීම පිළිබද ඔබ කිසිදා අසා නොමැති සත්‍ය කතාව 

මොකද්ද මේ ගිනි පෑගිම කියන්නේ මෙන්න ගිනි පෑගීම පිළිබද ඔබ කිසිදා අසා නොමැති සත්‍ය කතාව

කතරගම ඇසළ උත්සවයේ වඩාත්ම විචිත්‍රවත් අංගයක් ලෙස ගිනි පෑගීම නම් කළ හැක. ඇසළ උත්සවය සමයේ නියම කර ගන්නා එක් දිනයක මහා දේවාලය ඉදිරියේ දී මෙම කාර්යය සිදුකෙරේ. රාත්‍රී පෙරහැර නිමා වීමෙන් පසු දල්වන ගිණි මැලය අළුයම අඟුරු බවට පත් වීමත් සමඟම දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් දේවාලයෙන් ගෙනෙනු ලබන පැන් සහ විභූති ගිනි මැළයට ඉසිනු ලැබේ. ඉන්පසුව ඒ සඳහා පේවී සිටින බැතිමතුන් දෙව් බැතියෙන් හදවත් පුරවා ගෙන දැවෙන ගිනි අඟුරු සහිත මැළය තරණය කරති. මෙය විදෙස් සංචාරකයන් පවා විස්මයට පත් කරවන දසුනකි.Related image

කතරගම ඇසළ උත්සවයෙහි දී දැකිය හැකි වඩාත් ම සිත් ගන්නා අංගයක් වන මෙය දැක බලාගැනීමට අති විශාල පිරිසක් වාර්ෂිකව රැස්වෙති. කතරගම දෙවොලෙහි ගිනි පෑගීම හා සම්බන්ධ නිශ්චිත පුරාවෘත්තයක් නැත. එහෙයින් කඳ සුරිදුන්ගේ මහා තේ‍ජෝබලපරාක්‍රමය සපථ කරවනු වස් බැතිමතුන් විසින් පවත්වනු ලබන පූජෝපහාරයක් ලෙසින් මෙය හැඳින්වීම සාධාරණය.

චාරිත්‍රයක් වශයෙන් දෙවියන් පිළිබඳ උත්සව වලදී ගිනි පෑගීම ශ්‍රී ලංකාවට හුරුවන ලද්දේ ඉන්දියාවේ කේරළයෙනැයි විශ්වාස කෙරේ. නමුදු දේවමහිමය සපථ කරනු වස් ලොව ඇතැම් ගෝත්‍ර සමාජයන්හි ද ගිනි පෑගීම සිදු කෙරෙන බව පොත පතෙහි සඳහන්ය.Related image

ශ්‍රී ලාංකිකයන්ට දේවාලයන් හි ගිනි පෑගීම හුරු කරවන ලද්දේ යැයි කිව හැකි කදිම පුරාවෘත්තයක් තිබේ. රසවත් බවින් අනූන වූ එම පුරාවෘත්තය දෙවොල් දෙවියන් සහ පත්තිනි දේවිය අළලා ගොඩ නැගී ඇත.
ඒ මෙසේය;

දඹදිව කුදුප්පර නම් නුවර රාජසිංහ රජුට තෙදපති, ගුණපති, අමිතාපතී. සිරිපති, මිහිපති, යහපති සහ අග්නිපති නම් බිසෝවරු සත් දෙනෙක් වූහ. රජුට දාව එක් බිසවක් එක් පුතෙකු බැගින් ලද්දෙන් ඔවුහු දෙවොල්සාමි, හිරුරැස් සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි, අග්නිරැස් සාමි, මහරැස් සාමි සහ කුඩාරැස් සාමි නමින් ප්‍රසිද්ධ වූහ.

තරුණ වියේ දී මොවුන් වෙළදාම පිණිස මුහුදේ නැව් නැගී යන අතරේ චණ්ඩ කුණාටුවකට හසු වූ නැව් කැඩී බිඳී ගියේය. කෙසේ හෝ සිය ජීවිත ගළවාගත් මෙම ප්‍රතාපවත් දෙවොල් පිරිස හික්කඩුව ආසන්නයේ පිහිටි සීනිගම් වෙරළට සම්ප්‍රාප්ත වූහ. එහෙත් ඒ පැමිණීම පිළිබඳව පත්තිනි දේවිය නොසතුටු විය. එහෙත් අවසානයේ එතුමිය එම දෙවොල් පිරිසට එක් අභියෝගයක් කළාය.
“මම සීනිගම් වෙරළෙහි ගිනිමැළ සතක් දල්වමි. ඔබ සතු මහා දේව බලයෙන් ඒවා තරණය කර පැමිණියහොත් පමණක් ඔබට මෙහි වාසය කිරීමට අවසර තිබේ.”
එම අභියෝගය පිළිගත් එම බලසම්පන්න දෙවොල් සාමි ඇතුළු පිරිස පත්තිනි දේවිය මැවූ ගිනි මැළ හතම දෙබෑකොට දිවයිනට ආහ. ඔවුන් මෙම අභියෝගයට මුහුණ දෙන අයුරු දැකීමට හෙළයේ දොලොස් මහ දෙවිවරුන් ද පැමිණි බව ජන ප්‍රවාදයන් හි සඳහන් ය.

Related image
‘දොළහ දෙවියන්’ නමින් ද හැඳින්වෙන එම දෙවිවරු මෙසේ වෙති.
පල්ලෙබැද්දෙ දෙවියෝ, අළුත් නුවර දෙවියෝ, කළුකුමාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, කළු බණ්ඩාර දෙවියෝ, කොසඹා දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, ගගේ බණ්ඩාර දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, කඩවර දෙවියෝ, අභිමාන දෙවියෝ, බෝවෙල දෙවියෝ
මෙම දෙවිවරුන් සහ පත්තිනි දේවිය; දෙවොල් දෙවියන් ප්‍රමුඛ පිරිසගේ ගිනිමැළ තරණය දැක පැහැදී ඔවුන් දේව සභාවට භාරගන්නා ලදැයි කියැවේ. ඒ අනුව අද ද දිවයිනේ ප්‍රදේශ රැසකම දෙවොල් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ චිරප්‍රසිද්ධ දෙවොල් මඩු සංදර්ශන මෙම දෙවොල් දෙවියන් ගේ පැමිණීම සංකේතවත් කෙරෙන පූජා විදිහකි. එහි දී දෙවොල් දෙවියන් ගිනි මැළ හත තරණය කිරීම සිහිගන්වමින් බැතිමත්හු ගිනි පෑගීමේ යෙදෙති.

කඳ සුරිදුන් (කදිරවේල්) සහිත පහුර ද මුලින් ම සැපත් වූයේ ශ්‍රී ලංකාවේ සීනිගම වෙරළට බව ඇතැම් ප්‍රවාදයන් හි සඳහන් වේ. කඳ සුරිදුන් දෙවුන්දරත් සිය නිත්‍යවාසය ලෙස කතරගමත් තෝරා ගන්නා ලද‍්දේ ඉන් පසුවය. එසේ නම් මෙම ගිනි පෑගීම, දෙවොල් දෙවියන්, සීනිගම, කතරගම සහ කඳ සුරිදුන් අතරේ ද කුමක් හෝ සම්බන්ධයක් පවතින බව සිතිය හැක.

පුරාණ කාලයේ කතරගම ද දෙවොල් දෙවියන් සඳහා දේවාලයක් තිබූ බවට පහත දැක්වෙන පැරණි කවිය ද නිදසුනකි.

සීනිගමට, ගල්පහුරට, කතරගමට, විබූසනට
වේරගොඩට, දෙවුන්දරට, වීදගමට, තොටගමුවට
උණවටුනට, නවගමුවට, ලනුමෝදර වල්අස්නට
නාවින්නට, උග්ගල්බඩ, පානදුරා දේවාලෙට

මේ වාතාවරණය යටතේ වුව ගිනි පෑගීම වූ කලී කතරගමට ගැළපෙන්නක් වන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුව ඇත.

හින්දු ආගමෙහි යෝගී ක්‍රම අනුව ද අග්නිස්නාන නම් පිළිවෙත් ක්‍රමයක් තිබේ. දෙවියන් පිළිබඳව පවිත්‍ර භක්තියක් ඇත්තවුන් විසින් දක්වනු ලබන මෙම පූජා ක්‍රමය චිත්ත පාරිශුද්ධිය පිණිස යොදා ගැනේ. එමෙන්ම ඇතැම් රෝග සුවවීම සම්බන්ධ චිකිත්සක ක්‍රමයක් ලෙස සමහරු මෙය යොදා ගනිති.
හින්දු ආගමෙහි එන අග්නිස්නානය සහ ගිනි පෑගීම අතර බොහෝ වෙනස් කම් දැකිය හැකි වුවද ගිනි පෑගීම යනු අගනිස්නානය ආදර්ශ කොට ගත් පූජා ක්‍රමයක් ලෙස ද නම් කිරීමේ වරදක් නැත.
කෙසේ හෝ කතරගම සුරිඳුන්ගේ අනසක ගිනි පෑගීමේ මංගල්‍යය කෙරෙහි ද බලපැවැත්වෙන බව චිරාත් කාලයක් මුළුල්ලෙහි පිළිගෙන තිබේ. වර්තමාන අධ්‍යාත්මික පරිහානිය තුළින් එහි ප්‍රබල හාස්කම් දැක්වීම තරමක් අසීරු වුව ද මින් පරම්පරා කිහිපයකට ඉහත පැරැන්‍නෝ කතරගම පුදබිමෙහි ගිනි පෑගීම තුළින් ඉමහත් දේව කරුණාවක් ලබා ගත් බව අපි කොතෙකුත් අසා ඇත්තෙමු.Related image

‘තවද කනු කපන මංගල්ලෙට, ඇසළ පෙරහැර මංගල්ලෙට, නානුමුර මංගල්ලෙට, දිය කැපීමේ මංගල්ලෙට, ඉල්මහ මංගල්ලෙට, ගිනි පෑගීමේ මංගල්ලෙට යහතින් දිවැස් කරුණා හෙලා වදාරමින් මෙරට වාසීන්ට අභයදානය සළස්වා දෙන ඔබ වහන්සේට’ ආදී වශයෙන් වූ පුරාණ දේව කන්නලව්වෙන් ද ඒ බව පසක් වනු ඇත.

ඡයාරූප – අන්තර්ජාලය ඇසුරිනි
කලාභූෂන කතරගම සුමන සෝමපාල (ලක්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *