ලංකාවේ සිටි අංක එකේ සෙල්ලක්කාරයා ගැන ඔබ දැන සිටියාද ? මෙන්න ලෝකෙම හෙල්ලූ ලංකාවේ හිටපු සුපිරිම සෙල්ලක්කාරයා

ලංකාවේ සිටි අංක එකේ සෙල්ලක්කාරයා ගැන ඔබ දැන සිටියාද? මීට වසර 90 කට පමණ පෙර මෙරට සිටි විනෝද රජා ගැන තොරතුරු කාලයාගේ වැලි තලාවෙන් වැසී ගොස් ඇත. ඉරිදා ලංකාදීප පත්‍රයේ 1956 වසරේ ඔහු ගැන කර්තෘ මාණ්ඩලික ධර්ම ශ්‍රී කුරුප්පු විසින් ලියා ඇති ලිපියක මෙසේ සඳහන් වී ඇත.

‘කඳුළෙන් හා ඩාදියෙන් තෙත්වූ දුකී දිවිමගක් ඔස්සේ ලංකාවේ පමණක් නොව මුළු ආසියාවේම පළමුවන විනෝදකාමියා වීමේ භාග්‍යය ලාංකිකයකුට හිමි වී ඇත. මේ පුදුම ක්‍රීඩා රසිකයා කවුද? ඔහු ඩොනවන් ඇන්ඩ්රිය. (DONOVAN ANDREE) මේ පුදුම මිනිහාගේ ජීවන චරිතය දිහා බැලූ පමණින් සිහියට නැගෙන්නේ ඇලඩින් සහ පුදුම පහනය. ඇලඩින් ඔහු නම් පුදුම පහන ඒ ඔහුගේ වැඩය.

1902 අප්‍රේල් 29 වෙනිදා බර්ගර් ජාතික දෙමාපියන් දෙදෙනෙකු ගේ හයවන පුත්‍රයා ලෙස උපන් බෙන්ජමින් ඩොනවන් ඇන්ඩ්රිගේ කුඩා කාලය කටුකය. අමිහිරිය, දුක්බරය. කොටින්ම තමාට ළමා කාලයක් නොතිබුණේ යැයි ඔහු කියා ඇත. ලාබයට ගත් කුණු කෙසෙල් ගෙඩි වලින් කුසගින්න නිවාගත් ඔහු තුංමුල්ල හන්දියෙන් රීඩ් මාවතට හැරෙන තැන පිහිටි ඩච් බර්ගර් සොසයිටියෙන් (ලන්දේසි බර්ගර් සංගමය) මසකට ලැබුණ රුපියල් දෙක පිහිට වී ඇත. සෙසු කටයුතු සඳහා උපකාරී වී ඇත්තේ ෙම් අසරණ සරණ සමිතියෙන් ලැබුණ රුපියල් දෙකය.

ඩොනවන් ඉගෙනුම ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.

මට තිබුණේ එකම සපත්තු කුට්ටමයි. පොත් බෑග් එක තුරුලු කරගෙන සපත්තු කුට්ටම කලිසන් සාක්කුවේ රුවා ගෙන පයින්ම පාසල ළඟට යන මම යළිත් සපත්තු දාගෙනයි එයට ඇතුළුවන්නේ. මොකද? සපත්තු අඩිය ගෙවෙන නිසා. මගේ තාත්තා මියගිය අවස්ථාවේ අපි අසරණ වුණා. සහෝදර සහෝදරියන් එක්ක පාරක් පාරක් ගානේ හිඟමනේ ගියා. එසේ සොයා ගත් මුදලින් පූජකතුමෙකු ගෙනත් සුසාන භූමියේ අවසාන කටයුතු කළේ. අපේ පවුල රැකගන්න මම රැකියාවකට ගියා. ඩොනවන් තම අතීත කතාව විස්තර කර තිබුණි.

රාජකීය විද්‍යාලයේ 8 වැනි ප්‍රමාණය තෙක් ඉගෙන ගෙන තිබූ ඔහු කොළඹ නගර සභාවේ කසළ ශෝධක කණ්ඩායම් භාර ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳී ඇත. එදා ඔහුට පැයකට ලැබූ වැටුප ශත හතකි. එතැනින් පසු ඔහුට තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස පත්වීමක් ලැබිණ. ඔහු ලේඛන කලාවට එක්වන්නේ ඉන් පසුකාලේ ය.

නත්තල් වාර්ෂිකවලට කෙටිකතා, ලිපි ලියූ ඔහුට ත්‍යාග ද හිමිවී ඇත. ලේඛන දක්ෂතා නිසා පීපල්ස් ඩේලි පත්‍රයේ මසකට රු 7 ශත 50 ක වැටුපට බැඳීමට අවස්ථාව ලැබිණ. එවකට ලංකාවේ සිටි දක්ෂතම ඉංග්‍රීසි පත්‍ර කතුවරයකුව සිටි ආමන්ඩ් ද සූසාගේ මෝනිං ලීඩර් පත්‍රයේ වාර්තාකරුවකු ලෙසද සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයුතු කොට ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ ප්‍රධාන ක්‍රීඩා වාර්තාකරුද විය. පුවත්පත් කලාව ඔහුට සුබපල ගෙනාවේ නැත. වරෙක ඔහු පාලන අධිකාරිය හා ගැටුණේය. ඉන් ඉවත්වූ ඔහු ඉබාගාතේ ගියේය.

රේස් ඔට්ටු ගැනීමේ ව්‍යාපාරයකට එක්වූ ඩොනවන් දක්ෂ සංවිධායකු විය. පාසල් යන කාලේ ඔහු පාපන්දු ක්‍රීඩකයකු වූ නිසා කොල්ලුපිටියේ ශාන්ත මයිකල් ක්‍රීඩා සමාජය ආරම්භ කොට පාපන්දු ක්‍රීඩාවට දක්ෂ ලාංකික පාපන්දු කණ්ඩායමක් පුහුණු කොට ඔවුන් රැගෙන ඉන්දියාවට ගොස් එහි තිබූ දක්ෂතම පාපන්දු සමාජයක් වූ මෝහන්බර්ග් පාපන්දු කණ්ඩායම පරදවා ජය ලබා විජයග්‍රාහීව ලංකාවට පැමිණ ඇත.

ලාංකික ගායක ගායිකාවන් කණ්ඩායමක් සමග දෙවන ලෝක සංග්‍රාමය කාලයේ ඉන්දියාවට ගිය ඔහු එහි වනාන්තරවල ලැගුම් ගෙන සිටි සෙබළුන්ගේ විනෝදාත්මක ප්‍රසංග පවත්වා මවුන් බැට්න් සාමිගෙන් ප්‍රශංසා ලැබීය. මේ සියල්ලම ඔහු කළේ නොමිලයේය. අරුම පුදුම මිනිසා මේ කටයුතුවලින් පන්නරය ලැබීය. ආණ්ඩුකාරවරු ප්‍රභූන්ගේ හොඳ සිත දිනාගත් ඔහු ඉන්පසු මුළු රටම විනෝදයෙන් මත් කිරීමට සිතුවේය.

කොළඹ ප්‍රදර්ශනය සමයේ ඔහු පිටරටවලින් මෙහි ගෙන්වූ හෙලෙමි කළු කිරිල්ලයක් බුෂ් සර්කස්කාරයන්ද මල්ලව පොර ශූරයන්ද දැකීමට අතිමහත් ජනතාවක් එක් රොක්ව ඇත. ඔහුට අයිති බම්බලපිටියේ දුම්රියපොළ අසල තිබූ ඉඩමේ ඔහු හිම මත නැටුම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය අංගෝපාංග රැස් කළේය. පිටරටින් ඒ සඳහා අයිස් ද ගෙන්වූ බවද පැවසේ.

ඔහු අයිස් මත රඟන නාටිකාවන් මෙරටට ගෙන්වීය. Holiday on Ice නම් ප්‍රසංගය දැකීමට ජනතාව රැස් කෑවේය. එපමණක් නොව හුලා හුප් නැටුම්, ටෝම් බෝලා, ස්නෝ බෝල්, වැනි ක්‍රීඩා බැලීමට මෙරට ජනතාවට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් අතර කානිවල් රට පුරා ඇති කරමින් විනෝදාස්වාදය ජනතාවට දීමට ඔහු පුරෝගාමී විය.

ඔහුගේ එකම අභිප්‍රාය වී ඇත්තේ මුළු රටම ස්වර්ග රාජ්‍යයක් දිව්‍ය ලෝකයක් දිව්‍ය විමානයක් කිරීමටය. ඔහු ලංකාවේ සිටි නොම්මර එකේ සෙල්ලං කාරයා ලෙස ප්‍රකට විය. එක එක අමුතු දේවලින් රටම ඔහු කුල්මත් කළේය. කොටින්ම අවුරුද්දේ දින 365 ම ජනතාව ස්වර්ග ලෝකවල තැබීම තම සතුට බව ඔහු පවසා තිබුණි.

ඔහු නිරතුරුවම තමා ලත් මහා ධනයෙන් කොටසක් ක්‍රීඩා සමාජවලට ආධාර වශයෙන් දුන් අතර දුප්පත් අයටත්, ළමා නිවාසවලටත්, පුණ්‍යායතනවලටත් නොමසුරුව පරිත්‍යාග කර ඇත. කුඩා ළමුන්ගේ විනෝදය සඳහා ඩොනවන් ඇන්ඩ්රි පෞද්ගලික සත්තු වත්තක් බම්බලපිටියේ පවත්වාගෙන ගොස් ඇති අතර එය ආසියාවේ තිබූ ​ෙහාඳම පෞද්ගලික සත්තුවත්ත ලෙසද ප්‍රකටව තිබුණේ ලු.

ඔහු පිටරටකට ගිය හැම අවස්ථාවකම අලුත් විනෝදාංශ නැරඹූ අතර ඒවා මෙරටට ගෙන්වා තමා ලැබූ විනෝදය ලංකාවේ රසිකයන්ට දීමට උත්සාහ ගෙන ඇත. ඇමරිකාවේ නිව්​ෙ‌යා්ක් නගරයේද මිසරයේ කයිරෝවේද ප්‍රංශයේ පැරිසියේද විනෝද කණ්ඩායම් ලංකාවට ගෙන ආ ඔහු හම්බකරන්නා වගේම අත දිග හැර වියදම් කළ නිර්ලෝභී මිනිසෙකි. කුඩා කල අපමණ දුක් වින්ද මේ මිනිසා වාසනාවන්තයකු විය. ඔහු අත තැබූ සියල්ල ඵල දැරුවේය.

වරක් ඔහු එංගලන්තයට ගිය අවස්ථාවක නැරඹූ තුරඟ තරගයකදී බෙන්ජමින් නම් අශ්වයාට පවුම් පනහක ඔට්ටුවක් අල්ලා පවුම් 25,000 ක් දිනා හැම්ස්ටන් හි සුඛෝපභෝගී සුවිසල් මන්දිරයක් මිලයට ගත්තේය.

ඔහුට වරක් වස අැබැද්දියක් වූ බවද වාර්තා වේ. දිනක් ඔහු තුරඟ තරගයක් බැලීමට ගොස් ඇත්තේ සාක්කු දෙකේම පවුම් 365 පුරවාගෙනය. දක්ෂ හොරෙකු මේ මුදල් සූර ලෙස සොරා ගැනීමට සමත්ව ඇත. එහෙත් තව දිනක පවුම් දහස් ගණනක ස්වර්ණාභරණ පොදියක් හොරෙකුට අමතකවීමක් නිසා ඩොනවන් අතටම ලැබීම ද දෛවයේ සරදමක් වී ඇත.

දෙවරක්ම දික්කසාද වී සිටි ඩොනවන් හා ඔහුගේ දෙවන බිරිඳ වූ එරීන් ද සෙල්ෆා අතර පැවති දික්කසාද නඩුව මුළු ලෝකයේම පැතිර ගොස් ඇත. එය අතිශයින්ම හාස්‍යජනකවී ලු. මේ නඩුවේදී අනාචාර චෝදනාව මත තම භාර්යාව වූ එරින් සමග දික්කසාද වීමට ඉඩ ලැබී ඇත.

ඩොනවන් මෙන්ම එරීන් ද සෙල්ෆා (ERIN DE SELFA) ද ලංකාවේ සුප්‍රසිද්ධ ගායිකාවකි. 1926 මාර්තු 19 වැනිදා ලංකාවේ උපත ලැබූ සෙල්ෆා එංගලන්තයේ ඉමහත් කීර්තියට පත් දක්ෂ ගායිකාවක් ලෙස ප්‍රකටව සිටියාය. ලන්ඩනයේ ඇල්බට් ශාලාවේ ගී ගැයූ ප්‍රථම ලාංකික ගායිකාව වූ ඇය එහිදී දන්නෝ බුදුන්ගේ ගීතය ගයා ඇත. එංගලන්තයට පෙර ලංකාවේ රේඩියෝ සිලෝන් හි වසර හතරක් පමණ ගී ගැයූ ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ඇය ඉංග්‍රීසි ගීත කොපමණ හොඳින් ගයන්නීද යත් ඕ ලාංකීක කාන්තාවකැයි කටහඬින් හඳුනා ගැනීම එපමණ පහසු නොවන බව 1946 වසරේ පළවූ ආනන්ද තිස්ස ද අල්විස් සංස්කරණය කළ ලංකා සඟරාවට ඔහු විසින්ම ලියූ ලිපියක සඳහන් වෙයි.

1946 වසරේ සෙල්ෆා බ්‍රිතාන්‍යයේ චිත්‍රපට සමාගමක් නිෂ්පාදනය කළ කැරවන් චිත්‍රපටයේ ස්පාඤ්ඤ නාටිකාංගනාවියක ලෙස රඟපෑවාය. බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (BBC) ද ඇය සුමිහිරි ගී ගයමින් ජනප්‍රියත්වයට පත්ව සිටියාය. ඇය රෙඩ් ටේල් මින්ස්ට්‍රල් නමැති සංගීත සංධ්වනියේ ප්‍රධාන ගායිකාව වූ අතර ඇය එකල ඩයනා නමින් හඳුන්වා ඇත. මේ ප්‍රසංගය ලාංකීක රසිකයන් සඳහා එංගලන්තයෙන් ගෙන්වා ගෙන ඇත්තේ ඩොනවන් ඇන්ඩ්‍රි විසිනි. ඇය කොළඹ හා ත්‍රිකුණාමලයේ මහ නගරවල ප්‍රසංග පවත්වා ඇති අතර ලංකාවේ නොයෙක් තැන්වල පිහිටි වනබද ගුවන් කෙත් වල වාඩි ලූ දස දහස් ගණන් මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් උදෙසා පැවැත්වුණු ගීතෝස්වයන්හී පූර්වෝක්ත නළු මුළුව විසින් ගී ගයමින් රඟපා ඇති අතර ඩයනා (සෙල්ෆා) කොපමණ ජනප්‍රිය වූවාද යත් භට කෝටියේ ප්‍රියාව යන උප පදයෙන්ද අෑ ප්‍රකට වූ බව ලංකා සඟරාවේ සඳහන් වී ඇත. ඇන්ඩ්රි හා සෙල්ෆාගේ ආදරය ගොඩ නැගී ඇත්තේ මේ ලංකා ගමනේදීය. පළමු බිරිඳගෙන් වෙන් වී ඔහු ඇගේ අත ගත්තේය.

සියලු යස ඉසුරු වලින් උඩඟු නොවූ සෙල්ෆා තමාගේ ගීත රසවිඳීමට නොහැකිව රෝගාතුරව නේවාසිකව සිටි සොල්දාදුවන් බැලීමටද ගොස් ඔවුන්ගේ වේදනාවන් සමනය කිරීමට ගී ගැයීමට තරම් නිහතමානී වී ඇත. රෝගී භටයන්ට ඇගේ දර්ශනය ගාන්ධර්ව දිව්‍ය ලෝකයෙන් පැමිණෙන සුර දුවක් ලෙස පෙනී ඇති බවද ලංකා සඟරාවෙන් අනාවරණය වෙයි.

ලංකාවේ අංක එකේ විනෝදරජා වූ ඩොනවන් ඇන්ඩ්රි ගේ ජීවිත කාලය වයස අවුරුදු 57 කට සීමා විය.

ටික දිනක් අසනීපව සිටි ඔහු සැත්කමකින් පසු 1959 ජූලි 01 වෙනිදා කොළඹ මහ රෝහලේ දී මියගියේය. එරීන් ද සෙල්ෆා වසර 50 ක් ගතකොට අැත්තේ ලන්ඩනයේ ය. ඇය වයස අවුරුදු 92 ක් ආයු වළඳා 2013 සැප්තැම්බර් මාසයේ දිනක මියගියාය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *