‍පොඩි සුදු වෙඩිතබා ඝාතනයට සම්බන්ධ අතුරුගිරිය පාතාලේ කිං ලඩියාගේ ගෝලයෝ පොලිස් දැලේ දැ‍ලේ

‍පොඩි සුදු වෙඩිතබා ඝාතනයට සම්බන්ධ අතුරුගිරිය පාතාලේ කිං ලඩියාගේ ගෝලයෝ පොලිස් දැලේ දැ‍ලේ

අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේදී ‍පොඩි සුදු නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අතුරුගිරිය ලඩියාගේ ගෝලයන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලඩියාගේ ගෝලයන් වූ පුබා හෙවත් පුබුදු හා අජියා හෙවත් අජිත් යන පුද්ගලයන් දෙදෙනාය. අජිත් නමැත්තා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළෙකි.
ඉන්දියාවේ සිටින ලැඩියාගේ හා මධුරංගගේ උපදෙස් මත ඉකුත් මාර්තු මස 19 වෙනි දින ගල්වරුසාව පාරේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තලගලගේ නිමල්සිරි පෙරේරා හෙවත් ‍පොඩි සුදු යන අයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති එස්. ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප ‍පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ‍පොලිස් සැරයන් (20553) ඉන්දික, ‍පොලිස් කොස්තාපල්වරු වන (21284) බණ්ඩාර, (40248) ප්‍රසන්න, (84762) කුමාර, (72338) ලලන්ත, (77688) අමිල, (81600) සමීර යන නිලධාරීහු විමර්ශනය කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ දින උදෑසන ලැඩියා අජිත්ට දුරකථන ඇමතුමක් දී ‍පොඩි සුදු ඝාතනය කරන ලෙස දන්වා තිබේ. ඒ අනුව අජිත් පුබුදු සමග යතුරුපැදියෙන් ගල්වරුසාව ප්‍රදේශයට ගියද එහිදී ‍පොඩි සුදු සොයා ගැනීමට නොහැකි වූ නිසා නැවත ආපසු ගොස් ඇති බවද ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුව එදින සවස නැවත ලැඩියා අජිත්ට දුරකථන ඇමතුමක් ලබාදී කියා ඇත්තේ ‍පොඩි සුදු ඉඩමක ඔප්පු ලිවීම සඳහා නීතිඥවරයකුගේ නිවසේ සිටින බවය. ඒ අනුව අජිත් ඔහුගේ මිතුරෙකුව පුබුදු සමග එම ස්ථානයට යවා තිබේ. එම නිවසින් පිටවී ‍පොඩි සුදු යන විට වෙඩි තබා මොවුන් ගිනි අවිය ජෙරම් නමැත්තාට ලබාදී යතුරුපැදිය ‍පෝරේ ප්‍රදේශයේ රබර් වත්තක දමා ගොඩගමට ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවද ‍පොලීසිය පවසයි.

එහිදී අජිත් හා ලහිරු (පූට්ටුවා) හමුවී ඔවුන් සමග හෝමාගම හෝටලයක් වෙත ගොස් විනෝද වී තිබේ.
එහිදී මෙම ඝාතනයට අදාළ මුදල් අජිත්ගේ මිතුරා වෙත ලබාදීමට මෝටර් රථයකින් කිසියම් පුද්ගලයකු පැමිණ ඇති බවද ‍පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
එම හෝටලයේ රැය පහන් කර ඔවුන් පසුදා නිවෙස් කරා ගොස් සිටියදී ‍පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

ශානිකා මාධවී පීරිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *