අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ලෙඩ රෝගවලින් තොර නිරෝගි ජීවිතයක් වුණත් නොසිතූ වෙලාවක නොසිතූ ආකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට අපිට සිද්ධ වෙනවා. වර්තමානයේ දී විවිධාකාරයේ පිළිකා තත්වයන් ගැන කතා කරන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. මොකද බෝවන රෝගයක් නොවුණත් ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා යන මාරාන්තික රෝගයක් බවට පිළිකාව පත්ව තියෙන නිසා. ඒ අතරෙන් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ගලනාලය ආශ්‍රිත පිළිකාවක් ඇති වුණොත් එය හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳවයි.
සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෑදී ඇති සෛල ක්‍රමානුකූලව වර්ධනය හා බෙදීම පාලනයක් සිදු වෙන්නේ යම් සීමාවක් යටතේ. එනම් පාලනයකින් යුක්තව. නමුත් පිළිකා සෛල වර්ධනය හා බෙදීම සිදු වෙන්නේ පාලනයකින් තොරවයි. පිළිකාවක් මුලින්ම ඇති වෙන්නේ එක් සෛලයක. එක් සෛලයක ඇතිවන ජාන විකෘතිතාවක් තමයි අපි පිළිකාවක් විදිහට හඳුනාගන්නේ. ඉන්පසුව ඉතා වේගයෙන් මේ සෛලය බෙදෙන්නට පටන් ගන්නවා. එවිට සමීපයේ තියෙන අනිකුත් පටක ආදිය ආක්‍රමණය කරමින් රුධිරයටත් ඇතුළු වෙලා මුළු ශරීරය පුරාම මේ පිළිකා සෛල ගමන් කරනවා. ඒ නිසා පිළිකාවක් කල්තියා හඳුනා ගන්නා එක ජීවිතය ආරක්ෂා කර ගන්නට ඉතාම වැදගත්.

ඉතින් අපි අද කතා කරන්නේ ගලනාලය ආශ්‍රිත පිළිකා සම්බන්ධව.ගලනාලය කියලා කියන්නේ උගුර සහ ආමාශය සම්බන්ධ කරන නලයක්. මෙය පපුව මැද්දෙන් ගමන් කර ආමාශය හා සම්බන්ධ වෙන නලයක්. ගලනාලය ඉතා සියුම් බිත්තියක් සහිත දෙයක්. ගලනාල පිළිකාවක් ලෙස හඳුන්වන්නේ ගලනාලයේ ඇතිවන මාරක ගැටිත්තක්. ගලනාල පිළිකාව ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තයි.
1.ශල්කමය සෛල කාසිනෝමාව – මෙය ඇති වෙන්නේ ගලනාලයේ ඉහළ කොටසේ ඇති සෛලවල.
ගලනාලයේ අපිච්ඡද පටකයේ සෛලවල ඇතිවන පිළිකාව – මෙය බොහෝ විට ඇති වෙන්නේ ගලනාලය සහ ආමාශය එකිනෙක සම්බන්ධ වන සන්ධියේ පවතින සෛලවල.

ගලනාලය ආශ්‍රිත පිළිකාවක් ඇති වීමට විවිධ හේතු බලපානවා.
වයස අවුරුදු 55 ඉක්මවීම
පුරුෂයකු වීම
ආමාශය නිතරම ආම්ලික ස්වභාවයට ගොදුරුවීම
නිරන්තරයෙන් සකසන ලද ආහාර පරිභෝජනය
එළවළු සහ පලතුරු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම
අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය
දුම්පානය
දුම්කොළ භාවිතය
නිතර තේ කෝපි හෝ වෙනත් පාන වර්ග අධික උණුසුම් තත්වයෙන්ම පරිභෝජනය කිරීම
මෑතකදී අනාවරණය කරගත් මේ කාරණාව සම්බන්ධයෙන් පර්යේෂණ මෙහෙයවා ඇත්තේ ඇමරිකානු පිළිකා සංගමයේ ආවේක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්‍රමෝපාය අධ්‍යක්ෂක ෆර්හාඩ් ඉස්ලාම් විසින්. වයස අවුරුදු 40 -75 අතර පසුවන 50 000 කට අධික නියදියක් මේ සඳහා භාවිතා කර තියෙනවා. පර්යේෂකයන් විසින් පාන වර්ගවල උෂ්ණත්වය අනුව කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා.

සෙන්ටිග්‍රේඩ් අංශක 60 ට වඩා වැඩි උණුසුමින් යුක්ත ඒවා අධික උණුසුම් පානයක් ලෙසත් ඊට වඩා උෂ්ණත්වය අඩු පානයන් ඇල්මැරුණු ඒවා ලෙසත් වෙන් කෙරුණා. විශේෂයෙන්ම තේ කෝපි හෝ වෙනත් උණුසුම් පානයක් කෝප්පයකට වත්කර ගැනීමේ සිට පානය කිරීම දක්වා අතරතුර කාලය මිනිත්තු 2-6 අතර නම් එය අධික ලෙස උණුසුම් යන කාණ්ඩයටයි ඔවුන් ඇතුළත් කළේ. ඒ පර්යේෂණයෙන් අනාවරණය කරගෙන තිබුණේ දෛනිකව අධික ලෙස උණුසුම් තේ හෝ වෙනත් පානයන් 700 ml ක් පමණ පරිභෝජනය කරන අය එසේ නොකරන පුද්ගලයන්ට වඩා 90 % කින් ගලනාල පිළිකා රෝගයට ලක්වීමේ අවදානම ඇති බවයි.
ඉහත සඳහන් හේතූන් ගලනාලය ආශ්‍රිත පිළිකාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කරන සාධක ලෙසයි හඳුනා ගැනෙන්නේ.
පෙනහළු පිළිකාවක් හඳුනා ගැනීමේ ලක්ෂණ
දීර්ඝකාලීන පපුවේ දැවිල්ල
දිගුකල් පවතින ආහාර ගිලීමේ අපහසුතාවය
සතියකට වඩා පවතින ආහාර ගිලීමේ දී ඇතිවන වේදනාව
ආහාර අරුචිය
අනපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩුවීම
ඉහත සඳහන් ලක්ෂණ කිහිපයක් හෝ ඔබ අත්විදින්නේ නම් එය බොහෝවිට ගලනාලය ආශ්‍රිත පිලිකාවක් වර්ධනය වීමේ මූලික අවධිය වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරවාගෙන ඊට අදාළ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. එවිට මේ පිළිකාව හොඳින් පාලනය කරගන්නට සහ සුව කර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.