අද බෝ වන රෝග වගේම බෝ නොවන රෝගවලට දිනෙන් දින ගොදුරු වන පිරිස වැඩිවෙමින් යනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආසාදනය නොවුණත් ජානමය හේතු සාධක මත වගේම වැරදි ආහාර පුරුදු සහ චර්යා රටාවන් නිසා ඇතිවන රෝග බෝ නොවන රෝග ලෙස සලකනු ලබනවා.බහුලව වැළදෙන බෝ නොවන රෝග අතුරින් දියවැඩියාව මූලික වෙනවා. එය අපේ රටේ පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම ජනතාවට තර්ජනයක්ව ඇති රෝගයක්. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඕනෑම වයසක පසුවන අයෙක් ගොදුරු කර ගන්නා මේ රෝගය පිළිබඳව අද අපිට වැඩි වශයෙන් කතා කරන්නට සිදුව ඇත්තේ ඒ රෝගය සතු භයානකකම නිසාවෙන්මයි. ඒ නිසාම දියවැඩියා රෝගය වැළදීමෙන් පසුව කෙතරම් ප්‍රතිකාර කළත් සම්පූර්ණයෙන්ම සුවයක් ලබා ගන්නට ඉතා අපහසුයි. ඒ වගේම මේ රෝග තත්ත්වයේදීත් නිසි ප්‍රතිකාර ලබා නොගෙන ඒ තත්ත්වය පාලනය නොකළහොත් ඇතිව සංකූලතා බොහොමයි. ඒ අතුරින් ස්නායු රෝග ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ නිසාවෙන් දියවැඩියා රෝගය ඇති ඔබ වගේම දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානමක් ඇති නැති හැමෝටම මේ පිළිබඳව දැනුවත්ම සිටීම ඉතා වැදගත්.

රුධිරයේ සීනි ප්‍රමාණය අධික වීමෙන් හටගනු ලබන දියවැඩියා රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වයස් භේදයකින් තොරව සියලුදෙනාම ගොදුරු කරගන්නා රෝගයක්.මේ රෝගය නිසා අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් නම් හෝර්මෝනය අඩුවීම සිදුවෙනවා. මේ රෝගය ඇතිවීම සඳහා වැඩි වශයෙන් පුද්ගලයාගේ වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාවත් හේතුවෙනවා. විශේෂයෙන්ම මෙවැනි බෝ නොවන රෝග පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කරන බොහෝදෙනාට මේ රෝගය වැළදීමේ හැකියාව පවතිනවා.මේ රෝගය ඇතිවූ වහාම නිසි ප්‍රතිකාර ලබාගැනීමත් වැරදි ආහාර පුරුදුවලින් හා චර්යා රටාවෙන් මිදීමත් අත්‍යවශ්‍යයි. නමුත් බොහෝදෙනා මේ පිළිබඳව සුළුවට තැකීම නිසා වඩාත් දරුණු අතුරු ආබාධවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම මේ රෝගය මුල් කාලීනව පාලනය කර නොගතහොත් එය ඖෂධ මගින් පාලනය කළ නොහැකියි. ඒ සඳහා පුද්ගලයාගේ කැපවීම ඉතාම වැදගත්.
කොහොමනමුත් මේ දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම ඉතා අධිකයි. රුධිරයේ සීනි නිසි පරිදි පාලනය නොවීමෙන් සිරුරේ ස්නායු පෝෂණය කරනු ලබන සිහින් රුධිර වාහිනී එනම්, කේශනාලිකාවල බිත්තිවලට හානි සිදු වෙන්නට පුළුවන්. ස්නායු තන්තු දිරායාම හෝ ස්නායු සෛල ඝනවීම ආදිය ඇති වෙන්නට පුළුවන්.දියවැඩියාව නිසා කාලයක් ගතවන විට මධ්‍ය ස්නායු පද්ධතියට පීඩාගෙන දෙන අතර එහි ප්‍රධාන ලක්ෂණ පෙන්නුම් කරන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය ආශ්‍රිතවයි.
දියවැඩියාව හේතුවෙන් ඇතිවන ස්නායු ආබාධයක් හඳුනා ගත හැකි ලක්ෂණ

දියවැඩියා රෝගය හේතුවෙන් ඇතිවිය හැකි ස්නායු ආබාධ ආශ්‍රිත රෝග ලක්ෂණ කෙනෙකුගෙන් කෙනෙක්ට වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අයට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අවස්ථා ද පවතිනවා. ඇතැම් අයට මේ වේදනාවන් වැඩි වශයෙන්ම දැනීමක් සිදුවුණත් ඇතැම් අයට මේ වේදනාවන් නොදැනී යන්නට පුළුවන්.
- අත් පාවල ඇඟිලි හිරිවැටීම මෙසේ ඇතිවන හිරිවැටීම ක්‍රමයෙන් අත් පාවල ඉහළට ගමන් කරනු ලබනවා.
- අත් පා වල ඇතිවන දැවිල්ල හෝ කිති කැවෙන ස්වභාවය
- අත් හා පාදවල වේදනාව
- දෙපාවල වේදනාව රාත්‍රී කාලයේදී වැඩිවීම
- වැරදි ඉරියව්වකින් ඇවිදීම
- කල්ගතවෙත්ම අතක් හෝ පාදයක් පණ නැතිවී යාම
- මාංශපේශීවල ඇතිවන දුබලතාවයමේ රෝගය දරුණු වීමෙන් මේ මාංශපේශී දුර්වල වීම සිදුවෙන අතර පතුල්වල පේශී අඩුවීම සිදුවෙනවා.
- පාදයේ ඇඟිලි වකුටුවීම
- යටි පතුල්වල ගල් තැලුම් හට ගැනීම
- කලක් ගතවෙත්ම කලවාවල ඉදිරි කොටසේ වේදනාව හා හිරිය ඇතිවීම, රෝගියාගේ බර අඩුවීම,ශරීරය දුර්වල වී ඇදෙන් බැසීමට පවා පහසු වීම.
ස්නායුවලට හානි වීම නිසා ඇතිවිය හැකි බරපතල තත්ත්වයන්

- මොළයේ කපාල ස්නායුවල දුබලතා නිසා පෙනීම අඩුවී එක දෙක වී පෙනීම හා ඇසේ සුද හට ගැනීම
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ස්නායුවලට හානි සිදුවීමෙන් අජීර්ණය පාචනය, ඔක්කාරය වමනය ආදිය ඇතිවීම. දියර ලෙස මලපහ පිටවීම හෝ මල බද්ධය ඇතිවීම
- පුරුෂයන්ගේ ස්නායු හානි සිදුවීමෙන් පුරුෂලිංගය අප්‍රාණිකවීම හා ලිංගික බෙලහීනතාවය ඇතිවීම
- කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ වියළි බව ඇතිවීම
- සිරුරේ අනෙක් ස්නායු පීඩාවට පත්වීමෙන් පපුවේ සහ කඳේ හිරිය ඇතිවීම
- ඒ හැරුණාම දියවැඩියාව නිසාවෙන් ඇතිවන ස්නායු ආබාධ නිසා මුත්‍රාශය සහ මුත්‍රා ආසාදන, මුත්‍රාශය හිස්වන තුරු මුත්‍රා පිට කර නොහැකි වීම, මුත්‍ර පිටවීම පාලනය කරගත නොහැකි වීම, ක්ලාන්තය ආදී තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නට පුළුවන්.
දියවැඩියාව අති ඕනෑම රෝගියෙකුට මේ ස්නායු ආබාධ බොහෝවිට ඇති වන්නේ වසර 10 ක් පමණ ගතවීමෙන් පසුවයි. වැඩි වශයෙන් මේ ආබාධයන් අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් සහ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පාලනය කළ නොගත් පුද්ගලයන් අතර සුලභව දකින්නට පුළුවන්. ඒ හැරුණාම නිතර දුම්පානය කරන දියවැඩියා රෝගීන්ටත් මේ ස්නායු ආබාධ ඇතිවීමේ හැකියාව පවතිනවා.
දියවැඩියා රෝගය නිසා ඇතිවිය හැකි දරුණු ආබාධයන් විදියට ස්නායු ආබාධ දක්වන්නට හැකියි. එබැවින් දියවැඩියා රෝගය නිසි පරිදි පාලනය කිරීම ඉතා වැදගත්. ඇතැම් විටෙක ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයකින් ඔබ පීඩා විදින්නේ නම් පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.