පෙනීම කියන්නේ කියන්නේ කොයිතරම් වටින දෙයක් ද කියලා කෙනෙක්ට තේරෙන්නේ පෙනීම අඩු වෙලා යන්න පටන්ගත්තට පස්සේ වෙන්න පුළුවන්.එතකොට ගොඩක් ප්‍රමාදයි.පෙනීම කියන්නේ පුද්ගලයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. ඉතින් ඔබ මුහුණේ සුන්දරත්වය පවත්වාගැනීම දක්වන තරම් සැලකිල්ලක් ඔබේ ඇස් වලටත් ලබාදීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඇස් වල සෞඛ්‍යමත් බව රැකගැනීම කෙරෙහි ඔබ වඩාත් සැලකිලිමත්ව කටයුතු කල යුතු වෙනවා.
වයසට යන විට අපේ ඇස් දුර්වල වීමට පටන්ගැනීමේ අවදානම වැඩි වෙනවා.ඇස් වල සෛල හා ස්නායු පිරිහීමෙන් ග්ලූකෝමා (ඇසේ පීඩනය වැඩිවීම), ඇසේ සුදමතුවීම (කැටරැක්ට්) සහ ඇසේ රෙටිනාව තුළ ඇති මැකියුලා කොටස හානිවීමෙන් ඇස් පෙනීම බොඳවීම (මැකියුල ඩිජෙනරේෂන්) , දියවැඩියාව උග්‍ර වීමෙන් ඇසේ රෙටිනාවට හානිවීම (රෙටිනෝපති) වැනි අක්ෂි පරිහාණි රෝග වර්ධනය වීමට ඉඩ තිබෙයි.කිසිවක් කියවීමට හෝ පැහැදිලිව දැකීමට නොහැකිව ඇස් නිතර බොඳවීමට පටන්ගත හැකියි. ඊට අමතරව ඇස් වළ අධික වියළි බව,කැසිල්ල හෝ වේදනාව මතුකළ හැකියි. ඇසේ රුධිර නාළ පිපිරීම හෝ හානිවීම, ස්නායු විනාශ වීම ඇස් පෙනීම දුර්වල වීමට හා නොයෙකුත් අක්ෂි රෝග මතුවීමට හේතුසාධක වෙයි.
මෙවැනි අක්ෂි රෝග අවදානම් ඇතිවීම වළක්වාගැනීමට සිරුරට හොඳ සමබල පෝෂණයක් ලබාගැනීම උපකාරී වන බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වාදී තිබෙනවා.විටමින්, ඛනිජ ලවණ හා වෙනත් ක්ෂුද්‍ර පෝෂක බහුල ඇතැම් ආහාර පාන පරිභෝජනය කිරීම ඇස් පෙනීම වර්ධනය වීමට බොහෝ සෙයින් උපකාරී වෙයි.
ඇසේ සෛල අළුත්වැඩියා කිරීම සහ ආරක්ෂා කිරීම සිදුකරමින් ඇස් වල නීරෝගී බව වඩවන හොඳම ආහාර පාන වලට උදාහරණ කිහිපයක් ගැනයි මේ.

සැමන් ඇතුළු මේද මාලු ඇස් පෙනීම වඩවන DHA නම් ඔමේගා-3 මේද අම්ල බහුල මාලු වර්ගයක් ලෙස සැමන් හඳුන්වයි.ඇස් වට ස්නායු හා පටක වර්ධනය වීමට මූලික වන තැනුම් ඒකක අමුද්‍රව්‍යක් ලෙස DHA හඳුන්වයි.පැහැදිලි පෙනීමක් ඇතිවීම සඳහා මොළයට සංඥා ලබාදීමට දායක වෙයි.සතියට තෙවරක් පමණ මේද මාලු වර්ගයක් ආහාර වේලට එක්කරගැනීම වඩාත් සෞඛ්‍යයට හිතකර පුරුද්දක් බව පෙන්වාදෙයි. සාඩින්, හුරුල්ලෝ වැනි මාලු වල ද මෙම පෝෂක බහුලයි.ඔමේගා-3 මේද අම්ල ඇස් වල ප්‍රදාහය (වේදනාකාරි ඉදිමුම් වැනි තත්වයන්) හටගැනීම අවම කරයි.ඇස් ආරක්ෂා කරමින් ඇස් වල ලිහිසි බව ඇතිකරයි.
කොළ එළවළු වර්ග නිවිති,කොළ ගෝවා,බීට් කොළ,රාබු කොළ,පාස්ලි,කංකුං ඇතුළු පත්‍ර එළවළු වල සිරුරට හිතකර පෝෂක බහුලයි.විශේෂයෙන්ම ලුටෙයින් හා සියැක්සැන්තින් වැනි ඇස් පෙනීම වඩවන සංඝටක ද අඩංගුයි. මෙම සංඝටක මඟින් හානිකර හිරු කිරණින් ඇස් වලට ඇතිවන බලපෑම් බොහෝ දුරට අවම කිරීමට සහය වෙයි.මීට අමතරව මුගුණුවැන්න,ගොටුකොළ,තම්පලා,කතුරුමුරුංගා.,තෙබු,රතු සාරණ, අගුණ කොළ වැනි වර්ග ද ඇස් පෙනීම වඩවයි.
බෙල්පෙපර්-මෙම එළවළු වර්ගයේ විටමින් C ඉතා බහුලයි. එම පෝෂක ඇසේ කේෂ නාළිකා හොඳින් ආරක්ෂා කරයි.බිටා කැරොටින්, ලුටෙයින් මෙන්ම සියැක්සැන්තින් පෝෂක ද අඩංගුයි.ස්වභාවික විටමින් C මඟින් ඇසේ කොලැජන් ස්තර සවිමත් වීමට සලස්වයි.ඇසේ රුධිර ගමනාගමනය වැඩිකර ඇසට අවශ්‍ය පෝෂක සහ ඔක්සිජන් සැපයීම වැඩිකරයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා ඇස් හානිකාර මුක්තකණ්ඩ වල බලපෑමට ලක්වීම වළකයි. ඇසේ සෛල හා ස්නායු ආරක්ෂා කිරීමට ගුණදෙයි.මේවා එළවළු සලාද සමඟ මුසු කොට ආහාරයට එක්කරගන්න.
ගම් බිත්තර-මේවායේ විටමින්, ඛනිජ ලවණ හා ප්‍රෝටීන් බහුලයි.විශේෂයෙන්ම කහ මද වල ඇති කැරටෙනොයිඩ වැනි ජෛව ක්‍රියාකාරී සංඝටක ඇස් පෙනීම නීරෝගි කරයි.ඇසේ දෘෂ්ටි වර්ණක වඩවයි.දිනකට ගම් බිත්තර 2ක් බැගින් ආහාරයට ගැනීම ඇස් පෙනීම වැඩිදියුණු වීමට පමණක් නොව, රුධිර සීනි මට්ටම් නීරෝගී වීමට, මොළය හා බුද්ධිය වර්ධනය වීමට, සිරුරේ ශක්තිය ස්ථායිව පවත්වාගැනීමට මෙන්ම හෘද සෞඛ්‍යය ආරක්ෂා වීමට ගුණදායි බව පෙන්වාදෙනවා.

සූර්යකාන්ත ඇට-සීනි, ප්‍රසාදිත (පිරිපහදු කළ) ධාන්‍ය හා අධික කාබෝහයිඩ්රේට හා මේද ආහාරයට ගන්නා පුද්ගලයින්ගේ ඇස් පෙනීම දුර්වල වීමේ හා නොයෙකුත් අක්ෂි ආබාධ වර්ධනය වීමේ ඉහළ අවදානමක් ඇති බව සොයාගෙන තිබෙයි.මේවා ශරීරය තුඅළ හානිකර මුක්තකණ්ඩ ලෙස ක්‍රියාකරමි ඇස් වල සෛල හා පටක විනාශ කරයි.ක්ෂණික ආහාර වල මේවා බහුලයි. ඒවා වෙනුවට තෝරාගත හැකි සෞඛ්යාරක්ෂිත අතුරුආහාරයක් ලෙස සූර්යකාන්ත ඇට හඳුන්වන්නට හැකියි. මේවායේ විටමින් B1 හෙවත් තයමින් බහුලයි.මේවා මඟින් රෙටිනෝපති ඇතුළු ස්නායු හානිවීම් තත්වයන් ඇතිවීම වැළැක්වීමට සහය දෙයි.
අලිගැට පේර-මේවායේ ඇස් වලට හිතකර පෝෂක වන ඒක අසංතෘප්ත මේද,විටමින් B6,E බහුලයි.මෙම පෝෂක මඟින් ඇස් වල ඔක්සිකාරක හානිවීම් ඇතිවීම බොහෝදුරට පාලනය කරයි. ඇස් වල ස්නායු හා පටක විනාශ වීම වළකයි.ඇසේ සුදමතුවීම වැනි අවදානම් පාලනය කරයි. ඇස් විඩාවට ලක්වීම ද අවම කරයි.
කැරට්-ඇස් වල නීරෝගීකම රැකගැනීම සඳහා කැරට් වල අඩංගු විටමින් A පදාර්ථ ඉතා ප්‍රයෝජනවත් වේ. වර්ණ දැකීමට සහා අඩු ආලෝකයේදී පවා පෙනීම හොඳින් තිබීමට ඒවා ඉතා වැදගත් පෝෂණයක් ලබාදේ. ඒවා මඟි ඇසේ මතුපිට ආරක්ෂා කිරීම ද සිදුකරයි. කැරට් වල ගුණ මඟින් වයස්ගත වීමේදි ඇතිවන අක්ෂි රෝස රැසක් වැලඳීමේ අවදානම අවම කරනු ලබයි.