ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් ක්ෂණිකව සිරුර පවා ලෙඩ කරන ආහාර 10 ක්

health tips

සෞඛ්‍යාරක්ෂිතයි කියා කීවත් ඇතැම් ආහාර පාන ඔබ නොසිතන ආකාර වලින් ඔබේ සෞඛ්‍යයට හානිකර වීමට ඉඩ තිබෙන බව ඔබ දන්නවා ද?.ඇතැම් අය ආහාර පාලනය කිරීමේදී තමන්ගේ සුපුරුදු ආහාර පාන රටාවෙන් බැහැර වී එක්තරා ආහාර පාන වර්ග කිහිපයකට පමණක් සීමාවෙන්නට පටන්ගන්නවා. නමුත් ඔබ ඒ විදියට ‍තෝරාගන්නේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන පමණක් බව ඔබට විශ්වාස ද?

නීරෝගි බවට ප්‍රචලිත වුණත් ඇතැම් ආහාර පාන ඔබේ නීරෝගි බව පිරිහීමට හේතුවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ප්‍රමාණය ඉක්මවා ආහාරයට එක්කරගැනීමෙන් ඕනෑම හිතකර ආහාරයක් වුවත් සිරුරට හානිකර විය හැකියි.එවැනි හානිකර ආහාර පාන කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම.

කුළුබඩු කුළුබඩු මධ්‍යස්ථ ප්‍රමාණ වලින් පරිභෝජනයට එක්කරගැනීම රුධිර පීඩනය අඩුකිරීම, පරිවෘත්තිය වේගවත් කිරීම, රුධිර සංසරණය වැඩිදියුණු කිරීම, හදවත නීරෝගි කිරීම වැනි ප්‍රතිලාභ සිරුරට ලබාදෙයි. අධික ලෙස කුළුබඩු ආහාරයට ගැනීමෙන් ඔබේ ජීර්ණ පද්ධතියට බලපෑම් ඇතිවිය හැකියි.විශේෂයෙන්ම බඩේ අපහසුතා වර්ධනය විය හැකියි. ආමාශයේ අම්ල ස්‍රාවය වැඩිවෙයි. බඩේ දැවිල්ල ඇතිවීම, බඩ එලියේ යාම වැනි අපහසුතා මතුවෙයි.

පලතුරු යුෂ පලතුරු යුෂ සිරුරට ඉතා ගුණදායි පානයක් ලෙස ප්‍රචලිතයි.එක් වීදුරුවක් පමණ දිනකට පානය කිරීම ගැටලුවක් නැහැ. නමුත් ඔබ ඊට ඇබ්බැහි වීම නම් එතරම් සුදුසු නැහැ.වීදුරු 4-5ක් පමණ දිනකදී පානය කිරීමට පුරුදු වීම පුද්ගලයාගේ මානසික අවපීඩන මට්ටම් ඉහළ යාමට බලපෑ හැකි බව ඇතැම් අධ්‍යයන වලදී අවධානයට ලක්වී තිබෙයි.සීනි එක්කර සකසන පලතුරු යුෂ වල කැලරි අගය වැඩියි. මින් ඔබේ සිරුර තරබාරු වීමේ ප්‍රවණතාවද තවත් වැඩිවෙයි. එමෙන්ම අධි රුධිර පීඩනය,දියවැඩියාව වැනි අවදානම් ද ඉහළ යයි.කෘතිම නිෂ්පාදන වලින් වැළකීම ද ඉතා වැදගත්. ඒවායේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය අධිකයි.සීනි අඩුවෙන් යොදා හෝ සීනි එක් නොකර සාදාගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේවි. දිනකට පලතුරු යුෂ එක් වීදුරුවක් පමණක් පානය කරන්න.

කුකිං ඔයිල් කුකිං ඔයිල් නිෂ්පාදන වල සිරුරට හිතකර මේද වර්ග අඩංගු වුවත් මේවා භාවිතයෙන් ආහාර පිසීම ගැන දෙවරක් සිතිය යුතු බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වන කරුණු අපට මතක් කරදෙයි.මෙම තෙල් වල තැලේට්ස් (phthalates) නම් පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු බව සඳහන් වෙයි.මේවා මේද වලට ආකර්ෂණය වෙයි.කුකිං ඔයිල්  අධිකව භාවිත කරන තරමට එම අවදානම ද ඉහළ යයි.පොල් තෙල් වඩාත් ගුණදායීය.කැනෝලා ,පාම් තෙල් හෝ ඔලිව් වැනි අඩු මේද තෙල් වර්ග ද උචිතයි.

කුකුළු මස් හොඳ තත්වයේ කුකුළු මස් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වැනි පෝෂක සිරුරට ලබාගත හැකියි.නමුත් මේවා අධිකව ආහාරයට ගැනීම සිරුර ලෙඩ කරවිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. මෙම පුරුද්ද නිසා සිරුර තුළ ප්‍රතිජීවක වලට යම් ප්‍රතිරෝධයක් වර්ධනය වීමට පටන්ගත හැකියි. එනම් ප්‍රතිජීවක නොඉවසීමයි.මහා පරිමාණ කුකුළු ගොවිපළ වල කුකුළන් බෝ කිරීමේදි ඔවුන්ට ප්‍රතිජීවක අධික වශයෙන් ලබාදෙයි.මෙසේ කරන්නේ ඔවුන් ලෙඩ රෝග වලට ගොදුරුවීම වැළැක්වීමටයි.එමෙන්ම ඒවා නිසා කුකුළන් ප්‍රමාණයෙන් විශාලව වැඩෙයි. මෙලෙස වක්‍රාකාරව ඒවා පුද්ගලයාට ශරීරගත වීමෙන් ප්‍රතිජීවක මඟින් ඇතිකළ හැකි බලපෑම අඩුවෙයි. මෙම නිසා ප්‍රතිශක්තිය ද දුර්වල වී ලෙඩ රෝග වලට ගොදුරුවීමට ඇති හැකියාව ද වැඩිවිය හැකියි.

තේ තේ මඟින් ඔබේ අස්ථි හා දත් වලට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව පෙන්වාදෙයි.හරිත තේ (ග්‍රීන් ටී) වැනි ගුණාත්මක බවින් වැඩි තේ වර්ග පිළිකා,හෘද රෝග,ස්ථූලතාව වැනි අවදානම් පරදමින් සිරුර නීරෝගී කරයි.මිලෙන් මෙන්ම ගුණාත්මක බවින් අඩු තේ නිෂ්පාදන සන්නාම ද වෙලඳපොලේ තිබෙයි. මිලෙන් අඩු තේ වර්ග වල තුන් ගුණයකටත් වඩා වැඩි ෆ්ලෝරයිඩ් අන්තර්ගතයක් ඇති බව සඳහන්.ෆ්ලෝරයිඩ් දත් හා අස්ථි වලට හානි ඇතිකළ හැකි ඛනිජ ලවණයකි.තත්වයෙන් උසස් තේ කොළ මිලදී ගැනීමට උනන්දු වන්න. තේ කොළ උණු වතුරේ තත්පර 30කට වඩා තැම්බෙන්නට නොදෙන්න.මෙමඟින් තේ කෝප්පයට මුසු වන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අඩුකරගත හැකියි.

මුහුදු ආහාර මුහුදු ආහාර (seafood) වල රසදිය නම් රසායනය බහුලව අඩංගු වෙයි.මුහුදු ආහාර වල ප්‍රෝටීන හා ඔමේගා-3 මේද අම්ල බහුලයි.කෙසේවෙතත් ඒවා අධික ලෙස ආහාරයට ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට හානිකර බලපෑම් ඇතිවිය හැකි බව ද පෙන්වාදෙයි.ඇස් පෙනීම, කන් ඇසීම සහ චලන හැකියාවන් දුර්වල වීම වැනි ගැටලු ඇතිවීමට ඉඩ තිබෙයි.ලොකු මාලු විශේෂ වල රසදිය අන්තර්ගතය ඉහළ බව පෙන්වාදෙයි. එම නිසා කුඩා මාලු වර්ග ‍තෝරාගැනීම වඩාත් සුදුසුය.සැමන්, තිලාපියා,ටූනා,කූනිස්සන් වැනි මාලු වල රසදිය මට්ටම් ඉතා අඩුය.

එළකිරි දවසකට කොපමණ ප්‍රමාණයක් ඔබ එළකිරි පානය කරනවාද? එළකිරි වල කැල්සියම්, ප්‍රෝටීන්, විටමින් D,B සහ පොටෑසියම් බහුලයි.අස්ථි ශක්තිමත් වීමට, නීරෝගි ශරීර බරක් පවත්වාගැනීමට ද එළකිරි ගුණදායීය.කෙසේවෙතත් ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ එක් කිරි වීදුරුවක් පානය කරන කාන්තාවන්ට සාපේක්ෂව දිනකට එළකිරි කෝප්ප 3කට වඩා පානය කරන කාන්තාවන් ඉදිරි වසර 20ක් ඇතුළත  මරණයට පත්වීමේ අවදානම 90%ක් පමණ අගයක් ගන්නා බවයි.අධික ලෙස කිරි පානය කිරීම අස්ථි වලට හානිකර විය හැකි බව ද පෙන්වාදෙයි.අස්ථි බිඳුම් වැනි ගැටලු පෙන්නුම් කරයි.කැල්සියම් අධික වීමෙන් සිරුරේ ඛනිජ ලවණ මට්ටම් අසමතුලිත වී සෘණාත්මක ප්‍රතිඵල ඇතිවිය හැකියි.

නාඩු සහල් වී හටගන්නා කාලයේදී ඒවාට පසේ ඇති ආසනික් නම් රසායනය උරාගැනෙයි.නාඩු සහල් වල පිට පොත්ත පමණක් ඉවත් වන නිසා මෙම බලපෑමට තදින්ම හසුවෙයි.අධික ලෙස ආසනික් ශරීරගත වීමෙන් සිරුරේ පිළිකාවක් වර්ධනය වීමේ අවදානම ඉහළ යයි.මෙම සහල් අධිකව ආහාරයට ගැනීම නුසුදුසු විය හැකියි.සතියකට වරක් හෝ ඉඳ හිට එම සහල් ආහාරයට ගැනීම වඩාත් හිතකරය.

මුහුදු පැළෑටි මුහුදු පැළෑටි තයිරොයිඩ් අවදානම් ඉහළ දමන ආහාරයක් විය හැකි බව ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.මේවායේ අයඩින් අඩංගුයි. තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය සඳහා අයඩින් ඉතා වැදගත්ය.කෙසේවෙතත් අයඩින් අධිකව ශරීරගත වීම තයිරොයිඩ් ග්‍රන්ථියට ඉතා හානිකරය.මුහුදු පැළෑටි වල මේවා බහුල නිසා අධික ප්‍රමාණයකින් ඒවා ආහාරයට ගැනීම තරමක් අවදානම්ය.ඉන් තයිරොයිඩ් රෝගාබාධ වර්ධනය වීමේ අවදානම ද ඉහළ යා හැකියි.දිනකට පරිභෝජනය කිරීමට සුදුසු ප්‍රමාණය දැක්වෙන්නේ මයික්‍රෝග්‍රෑම් 1100 ක් ලෙසයි.හිතකර ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගැනීමෙන් සිරුරට බොහෝ ඉහළ මට්ටමේ පෝෂණයක් ලබාගත හැකි ආහාරයක් ලෙස ද මේවා හඳුන්වන්නට හැකියි.දියවැඩියාව, හෘද රෝග අවදානම් අඩුකිරීම හා බර අඩුකරගැනීමට සහය වීම වැනි ප්‍රතිලාභ ද සිරුරට ලබාදෙයි.

 පාන් පිරිපහදු කළ පිටි වලින් සකසන තිරිඟු පාන් ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින බව පෙන්වාදෙයි.100% නියම තත්වයේ තිරිඟු පිටි වලින් නොව ප්‍රසාදිත ඒවායින් සකසන පාන් වල පෝෂණ ගුණ නොමැති තරම්ය. තන්තු,ඛනිජ ලවණ ,විටමින් වැනි පෝෂක ඉවත් වී යාමෙන් ඒවායේ අධිකව ඉතිරිව ඇත්තේ පිෂ්ටය පමණි.මෙම කාබෝහයිඩ්‍රේට ශරීරගත වීමෙන් රුධිරයේ සීනි මට්ටම් එක්වරම ඉහළ යාම සිදුවිය හැකියි.පූර්ණ තිරිඟු ධාන්‍ය පෝෂණය අඩංගු තන්තු බහුල පාන් වර්ග ගුණදායිය.පාන් සැන්ඩ්විච් කරන විට සලාද, පිපිඤ්ඤා,සැල්දිරි වැනි දේවල් එක්කරගැනීමෙන් ඒවායේ කැලරි මට්ටම් අඩුකරගත හැකියි. ගුණයද වැඩිවෙයි.