අපි ක්‍රමයෙන් වයසට යාමත් එක්ක සෑම අවයවයකම වගේ යම් යම් දුර්වලතා ඇතිවී රෝගවලට ගොදුරු වෙන්නට පුළුවන්. ඉතින් බහුලවම අසන්නට දකින්නට ලැබෙන රෝග අතර සන්ධි ආශ්‍රිත රෝග තත්ත්වයන් ප්‍රධාන වෙනවා. ඉතින් සන්ධි ආශ්‍රිතව ඇතිවන මහත් වේදනාකාරී රෝගයක් තමයි ආතරයිටීස් කියන්නේ. ඇතැම්විට මේ වෙද්දි ඔබ ආතරයිටීස් රෝගියෙක් වන්නට පුළුවන් .එසේ නැත්නම් ඔබේ දෙමාපියන් මේ රෝගයට ගොදුරුවෙලා ඉන්නට පුළුවන්. නමුත් මේ ආතරයිටීස් රෝගය වැඩිහිටි පුද්ගලයන්ට පමණක් වැළදෙන රෝගයක් ලෙස සැලකිය නොහැකි තත්ත්වයට අද පත්වෙලා.මොකද සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 වැඩි වැඩිහිටියන් තුළ මේ රෝගය බහුල වුණත් දරුවන් තුළ, තරුණ තරුණියන් අතරේ වුණත් මේ රෝගය දකින්නට පුළුවන්.ඒ හැරුණාම මේ රෝගයට ලිංගභේදයක් බලපාන්නේ නැති වුණත් වැඩි අවදානමක් කාන්තා පාර්ශවයට තියෙනවා.ඉතින් ඉතා පීඩාකාරී මේ රෝගය ඇතිවෙන්නට බලපාන හේතු සහ එයින් වැළකී සිටින්නට අපි කළ යුත්තේ මොනවාද යන්න දැන සිටීම ඔබට බෙහෙවින් වැදගත් වේවි.
ආතරයිටීස් රෝගයේදී සන්ධියක් හෝ කිහිපයක් වේදනා ගෙනදෙනවා. ඇතැම්විට ඉදිමුම් තත්ත්වයන් ද ඇතිවෙනවා. මූලික වශයෙන් ආතරයිටීස් ඔස්ටියෝ ආතරයිටීස් (OA ) සහ රූමැටොයිඩ් ආතරයිටීස් (RA ) වශයෙන් වර්ගීකරණය කර තියෙනවා. මේ ඔස්ටියෝ ආතරයිටීස් රෝගී තත්ත්වය දණහිසේ, අත්වල, උකුලේ ෂුසුම්නාව ආදී ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති සන්ධියකට ඇති වෙන්නට පුළුවන්.මේ ආතරයිටීස් රෝගයේදී හෘදය, පෙනහලු හා වකුගඩු ආදී ප්‍රධාන අවයවයන්ට හානි සිදුවීම හා ස්නායු ආබාධ හා අක්ෂි ආබාධ පවා මතුවෙන්නට පුළුවන්.
ආතරයිටීස් රෝගය ඇතිවීමට බලපාන හේතු

- ජානමය සාධක
- සන්ධිවල ඇදීම ඉරීම වැඩි කරන තරබාරුව
- සන්ධියට සිදුවූ අනතුරු
- තුවාල
- වයස
- කරනු ලබන රැකියාව (ටයිප් රයිටරය එකදිගට ක්‍රියාකරවන අය, මාර්ග තැනීමේදී එකදිගට බර වාහනවල වැඩ කරන අය)
- ඇතැම් වෛරස් ආසාදනවල අතුරු ඵලයක් ලෙසත් මේ රෝගය ඇතිවෙන්නට පුළුවන්. (රුබෙල්ලා, හෙපටයිටීස් බී වෛරස් ආසාදන )
ආතරයිටීස් රෝග ලක්ෂණ
- සන්ධිවල වේදනාව
- සන්ධිවල තදගතිය
- සන්ධි ඉදිමීම
- ඇදෙන් නැගිටින විට හෝ දිගු වේලාවක් වාඩි වී සිට නැගිටින විට සන්ධියේ ඇතිවන තද ගතිය
- අස්ථි එකිනෙක ගැටෙන බව හා ඒ අවස්ථාවේදී අස්ථි ගැටෙන ශබ්දය
- චලනයේ පරාසය අවම වීම
- සන්ධිය වටා සමේ රතු පැහැය
- වෙහෙස
- ආහාර අරුචිය
- රතු සෛල අඩුවීම නිසා රක්තහීනතාවය ඇතිවීම

කුඩා දරුවන්ට වැළදෙන ආතරයිටීස් තත්ත්වයේදී සන්ධි ඉදිමීම, උණ, පලු දැමීම, ඇස් රතුවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ හැරුණාම දරුවා කොර ගසමින් ඇවිදීම, ඇවිදින විට සන්ධිවල තද ගතිය, දරුවාගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, අත් පා සෙලවීමට අපහසුවීම ආදිය ඇත්නම් එයත් ආතරයිටීස් රෝගයේ ලක්ෂණ වෙන්නට පුළුවන්.
සන්ධිවලින් තරල ඉවත් කිරීම ආතරයිටීස් රෝගීන්ගේ සන්ධිවල ඇති තරලවල සුදු රුධිරාණු සෛල අධික වශයෙන් අඩංගු වෙනවා. මේවා කාටිලේජ හා සන්ධිවලට හානි ඇති කරන අතර මේ සන්ධි තරල ඉවත් කරන්නේ ස්ටීරොයිඩ් නම් ඖෂධය සන්ධියට එන්නත් කිරීම මගින්.එයින් සන්ධියට ඒ කාටිලේජයට වන හානිය වැළැක්වෙන අතර රෝගීයාට එය සහනයක් ගෙන දෙයි. මේ එන්නත් කිරීම වේදනාකාරී අත්දැකීමක් නොවන අතර ඒ එන්නත් ලබා දෙන්නේ කාටිලේජ හා අස්ථිය අතර ඇති අවකාශයටයි.
ආතරයිටීස් රෝගයේ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට කළ හැකි දේ
- සිරුරේ ස්ථුලතාවය අඩුකර ගැනීම
- බදින ලද හෝ සකසන ලද ආහාර, අධික සීනි, අධික තෙල් සහිත ආහාර ගැනීම අවම කිරීම
- සම්පූර්ණ පොත්ත සහිත ධාන්‍ය වැඩි වශයෙන් ආහාරයට ගැනීම
- මුහුදු මත්ස්‍යයින් වැඩි වශයෙන් ආහාරයට ගැනීම (ආතරයිටීස් රෝගය නිසා ඇතිවන අපහසුතාවලින් සහනයක් ලබා ගැනීමට උපකාරී වන ඔමේගා 3 හුරුල්ලන්, සැමන් අදී මුහුදු මසුන් තුළ බහුලව අඩංගු වෙනවා.)
- මස් අධික ලෙස ආහාරයට නොගැනීම
- මෑ කරල්, වම්බටු ආදී වාතය අධික ආහාර වගේම ශීත ආහාරවලින් වැළකීම
- උණු වතුර ස්නානය හා රාත්‍රියේදී ස්නානයෙන් වැළකීම
- නිදිවැරීම හා නිරාහාරව සිටීමෙන් වැළකීම
- ඇවිදීමේදී සැරයටියක් වැනි යමක් භාවිතා කිරීම
- දිනපතා ව්‍යායාම්වල නිරත වීම
වේදනාව සහ රෝගය වැඩිවේ යැයි බියෙන් ඇතැම් අය ව්‍යායාමවල නිරතවීමට බියක් දක්වනවා. නමුත් ක්‍රියාකාරී නොවීම නිසා මාංශපේශී අවට ඇති පටක වඩාත් දුර්වල වීමෙන් සන්ධි වඩාත් දැඩිවීම හා වේදනාව මගහැර ගැනීමේ ශක්තිය අඩුවී යා හැකියි. නමුත් මෙහිදී වඩාත් සුදුසු වන්නේ දිවීම ඇවිදීම ආදී සන්ධිවල පීඩනයක් ගෙන දෙන ව්‍යායාම නොව පිහිනීම ආදී ක්‍රියාකාරකම් බව සිහියේ තබා ගැනීම වැදගත්.
- ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම
- වායු සමනය කළ පරිසරයක වැඩ කරන විට වායු සමීකරණ යන්ත්‍රයෙන් ලැබෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 වැනි අගයක පවත්වාගෙන යාම
විශේෂයෙන්ම ඇතැම් ආතරයිටීස් රෝගීන්ට පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම ඉතා දැඩි අපහසුවක් ගෙන දෙනවා. ඒ නිසා සීත කාලයේදී ආතරයිටීස් රෝගය උත්සන්න වීමේ හැකියාව පවතිනවා.
- නිවැරදි ඉරියව් පවත්වාගැනීම
- ක්‍රීඩා කිරීමේදී සන්ධිවලට සිදුවිය හැකි අනතුරු වැළක්වීමට ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම
ආතරයිටීස් රෝගය හා ගර්භනීභාවය

එකල ආතරයිටීස් රෝගීන්ට මවක් වීමේ වාසනාව අහිමි වුණත් අද වෙද්දි ආතරයිටීස් රෝගීන් සාර්ථකව දරුවන් බිහි කරනු ලබනවා. නමුත් මේ ආතරයිටීස් රෝගය නිසා ගර්භනී කාන්තාවකට සහ කුස තුළ සිටින දරුවාට යම් යම් සංකූලතා ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා ආතරයිටීස් රෝගය නිසි ලෙස පාලනය කිරීමකින් තොරව මවක් වීමට සූදානම් වීම සුදුසු නැහැ. රෝගය හොඳින් පාලනය වූ පසුව සන්ධි රෝග පිළිබඳව වෛද්‍යවරයා සමඟ වගේම නාරි සහ ප්‍රසව වේදය පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ගැබිනියක් වීමට සූදනම්වීමයි වැදගත් වන්නේ.
ආතරයිටීස් කියන්නේ වයසට සමඟ ඇතිවන රෝගයක් නොවෙයි. එය වයස අවුරුදු 20 30 අයටත් 20 ට අඩු අයටත් වැළදිය හැකි රෝගී තත්ත්වයක්. ඒ නිසා මේ රෝගය කලින් හඳුනා ගැනීමත් වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමත් තුළින් සාර්ථකව පාලනය කළහැකි රෝගයක්.