නීරෝගී ජීවිතයකට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අපි ලබා ගන්නා ආහාරවල අඩංගු වෙන පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත්වීම සුවැති දිවියකට බෙහෙවින් වැදගත්. අපේ සිරුර ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නට වගේම ශරීරයේ පැවැත්මට ආහාරවලින් ලැබෙන පෝෂකයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අතුරින් ප්‍රෝටීන් කියන්නේ ශරීරයට නැතිවම බැරි පෝෂකයක්. විශේෂයෙන්ම ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට් සහ මේදය මෙන් අවශ්‍යතාවයකදී ශරීරය තුළින්ම ලබාගත හැකි පරිදි ශරීරයේ ගබඩා වෙන්නේ නැහැ. අපේ ශරීරයේ වර්ධනයට, ගෙවී යන පටක අලුත්වැඩියා කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට, බැක්ටීරියා,වෛරස ආදී රෝගකාරක විනාශ කිරීමට,බඩගින්න පාලනය කර ගැනීමට, ආහාර ජීර්ණය සඳහා වැදගත් එන්සයිම සහ හෝර්මෝන නිෂ්පාදනයට, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදීම ආදී කාර්යයන් රාශියකට ප්‍රෝටීන් අපේ ශරීරට අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රෝටීන් ශරීරයට ඌණ වූ විට නිතර අසනීප වීම, හිසකෙස් තුනීවීම, බර අඩුවුණත් ශරීරයේ ප්‍රමාණය වෙනස් නොවීම, සම ආශ්‍රිත ගැටළු ඇතිවීම ආදී ගැටළු බොහොමයක් ඇති වෙන්නට පුළුවන්. ප්‍රෝටීන් ඌණතාවයන් වැළකී සිටින්නට කළ හැකි හොඳම දේ වෙන්නේ ප්‍රෝටීන් බහුලව අඩංගු වෙන ආහාර වර්ග අපේ ආහාරවේලට නිරන්තරයෙන් එකතු කර ගැනීම.අද අපි ඔබට කියන්නේ ශරීරයට අනිවාර්යෙන්ම එකතු කරගත යුතු ප්‍රෝටීන් බහුල ආහාර වර්ග කිහිපයක් පිළිබඳවයි.

- බිත්තර අපි හැමෝම කෑමට කැමති බිත්තර ප්‍රෝටීන් බහුල ආහාර අතුරින් ප්‍රධානම ආහාරයක්. ප්‍රෝටීන්වලට අමතරව අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටකයන් සියල්ලක්ම වාගේ මේ බිත්තරවල අන්තර්ගත වෙනවා.පිළියෙළ කිරීමේ පහසුව ප්‍රණීත රසය වගේම ආකාර කිහිපයකට පිළියෙල කර ගැනීමේ හැකියාව නිසා බිත්තර තවත් සුවිශේෂී වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6 ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.
- කඩල රනිල කුලයට අයත් ප්‍රෝටීන් ඉතා පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි කඩල.උදෑසන ආහාරයට ගන්නට බොහෝදෙනා කැමති කඩල දිනපතා ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර අඩුවීම, දියවැඩියාව පාලනය,මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම ආදී සෞඛ්‍යමය වාසි ලබා ගන්නට පුළුවන්. මාංශ අනුභව නොකරන අයට අවශ්‍ය ශාක ප්‍රෝටීන් ලබාගත හැකි හොඳම ප්‍රභවයක් ලෙස කඩල පෙන්වා දිය හැකියි. අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත කඩලවල ඛනිජ වගේම තන්තු ද බහුලව අඩංගු වෙනවා. කඩල ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 11 ක් පමණ අන්තර්ගත වෙනවා.
- ඕට්ස් ධාන්‍ය වර්ග අතුරින් වැඩිපුරම ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ඕට්ස්වල. ප්‍රෝටීන්වලට අමතරව තන්තු සහ ඛනිජ ලවණ බහුලව අන්තර්ගත වන නිසා ඕට්ස් උදෑසන ආහාරය සඳහා කදිමයි. ඕට්ස්වල රසයට වැඩිදෙනා අකමැති වුණත් කිරි, කෙසෙල්, කජු වර්ග සහ නැවුම් පලතුරු වර්ග සමඟ මිශ්ර කර පිළියෙල කරගත් විට එය ඉතා රසවත් ආහාරයක්. ඕට්ස් කෝප්පයක ප්‍රෝටීන් ග්‍රෑම් 11 ක් පමණ අන්තර්ගත වෙනවා.

- ආමන්ඩ් ඇට වර්ග අතුරින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආමන්ඩ් ප්‍රෝටීන් බහුල ආහාරයක්. ආමන්ඩ් ඇට 10 ක ප්‍රෝටීන් ග්‍රෑම් 2.5 ක් පමණ අඩංගු වෙනවා. තන්තු වගේම හිතකර මේදයත් අඩංගු ආමන්ඩ් ඇට කිහිපයක් දිනපතා ආහාරයට ගැනීම මගින් බඩගින්න පාලනය කර ගැනීමටත්, සීනි මට්ටම පාලනයටත්, සිරුරේ විෂ ඉවත් කර ගැනීමත් ඇතුළු වාසි බොහොමයක් ලබා ගන්නට පුළුවන්.
- මල්ගෝවා නිතර ආහාරයට නොගන්නා නමුත් මල් ගෝවාවලත් සැලකිය යුතු මට්ටමෙන් ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන්වලට අමතරව ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද අනූන මේවායේ ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ විටමින් වර්ග වගේම තන්තු ද බහුලව අඩංගු වෙනවා. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ශරීරයේ බර අඩුකර ගැනීමට වුණත් මේ ආහාරය ඉතා සුදුසුයි. මල්ගෝවා ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 1.9 ක් පමණ අඩංගු වෙනවා.
- පරිප්පු නිතරම බොහෝදෙනා ආහාරයට ගන්නා පරිප්පුවල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. ප්‍රෝටීන් හැරුණාම අත්‍යවශ්‍ය ඛනිජ වර්ගත් මේවායේ අන්තර්ගත වෙනවා. මාංශ ආහාර නොගන්නා අයට ශාක ප්‍රෝටීන් මේ පරිප්පු අනුභවයෙන් ලබාගන්නට පුළුවන්. පරිප්පු ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 9 ක් පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.
- චියා ඇට ප්‍රෝටීන් ලබාගත හැකි කදිම ආහාරයක් වන චියා බීජ ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 17 ක් පමණ ප්‍රමාණයක් අඩංගු වෙනවා. දිනපතාම චියා බීජ ආහාරයට එකතු කර ගැනීම මගින් දියවැඩියාව පාලනය, බර අඩු කිරීම, මොළයේ සහ ඇස්වල සෞඛ්‍ය වර්ධනය කිරීම ආදී බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලඟා කර ගන්නට පුළුවන්.
- අලිගැට පේර වටින පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර අතුරින් එකක් ලෙස සැලකෙන අලිගැට පේර ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වෙනවා. ප්‍රෝටීන් හැරුණම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන අලිගැට පේරවල සිරුරට හිතකර මේදය තන්තු ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයන් බහුලව අන්තර්ගත වෙනවා. ඒ නිසා දින 2 ට වරක්වත් අලිගැට පේර ආහාරයට ගන්නට හැකි නම් එය ඔබේ සෞඛ්‍යට බෙහෙවින් වාසිදායක ප්‍රතිලාභ ලබාදේවි.
- බ්‍රොකෝලි ලෙඩරෝග බොහොමයකට ගුණදෙන තද කොළ පැහැති එළවලුවක් වන බ්‍රොකොලිවල ප්‍රෝටීන් බහුලවම අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන්වලට අමතරව යකඩ පොටෑසියම්, ෆෝලික් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඛනිජ ලවණ වර්ග බොහොමයක් බ්‍රොකොලිවල අන්තර්ගත වෙනවා. බ්‍රොකෝලි ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 3 ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.
- වට්ටක්කා ඇට වට්ටක්කා ඇට ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 19 ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ප්‍රෝටීන්වලට අමතරව යකඩ, සින්ක්, මැග්නීසියම් වැනි අත්‍යවශ්‍ය පෝෂක සංඝටක බොහොමයක් මේ වට්ටක්කා ඇට සතු වෙනවා.
- රටකජු,ටෝෆු මේ ආහාර ඔබට ප්‍රෝටීන් ඌණතාවයකින් වැළකී සිටින්නට උපකාරී වන ප්‍රෝටීන් බහුලම ආහාර වර්ග වෙනවා. දිනපතාම හෝ දින 2 ට වරක්වත් මේ ආහාර ඔබේ ආහාරවේලට එකතු කර ගැනීම මගින් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ඔබට අවස්ථාව ලැබේවි.