නීරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපි හැමෝම කැමතියි. ඉතින් නීරෝගීව ජීවත් වෙන්නට අපි පුරුදු පුහුණු කළ යුතු ආහාර වගේම චර්යා රටාවන් බොහොමයකුත් තියෙනවා. ඉතින් ඒ කාරණා සියල්ල පිළිබඳව ඉතා හොඳ දැනුමක් පැවතීම අනිවාර්යෙන්ම අපේ සුව දිවියට යහපත් ආකාරයෙන් බලපානවා. ඉතින් ලෙඩ අඩු කරගන්නට ලෙඩ වළක්වා ගන්නට වගේම ලෙඩ වැඩි කරගන්නත් අපි ගන්නා ආහාර මූලික වන බව ඔබත් මමත් හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් ආහාර පිළියෙල කර ගන්නා විට අපි එහි රසයට සුවඳට පැහැයට වගේම විවිධත්වය කෙරෙහිත් උනන්දු වෙනවා. එකම එළවලුව වුණත් එකම ආහාරයට පිළියෙල කර ආහාරයට ගත්තොත් එය අපිට එපාවීමක් ඇති කරනවා. ඒ නිසාම අපි එකම එළවලුව පලා වර්ගයක් වුණත් කිරට, තෙලට, මිරිසට, මැල්ලුමට ආදී වශයෙන් විවිධ ආකාරවලින් පිළියෙල කර ගන්නවා.
ඉතින් ඒ අතරින් බොහෝදෙනා ආහාර තෙලට නැත්නම් තෙම්පරාදු කර එහෙමත් නැත්නම් ගැඹුරු තෙලේ බැදලා ආහාරයට ගන්නට කැමතියි නේ.ඉතින් මේ සඳහා ඔබ භාවිතා කරන තෙල් වර්ගය වගේම එහි සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ඔබ වැඩි උනන්දුවක් දක්වනවාද? . ඒ වගේම ආහාරවලට තෙල් එකතු කිරීමේදී ගෘහණියන් විදියට ඔබ අතින් සිදුවන සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කරන පුරුදු මොනවාද? ඉතින් මේ ලිපිය කියවීමෙන් ඔබ නොදැනුවත්වම ඔබේ නීරෝගීභාවයට හානි කර ගන්නා ඒ පුරුදු ගැන දැන ගන්නට හැකියාව ලැබේවි. ඉතින් අද අපේ මාතෘකාව කටට රසට කන්නට අපි භාවිතා කරන තෙල් වර්ග සහ තෙල් ආහාරවලට එකතු කළ යුතු නිවැරදි ක්‍රමවේද මොනවා ද යන්න පිළිබඳවයි.
ආහාර පිසීමට භාවිතා කරන විවිධ තෙල් වර්ග අපිට වෙළදපොළෙන් ලබා ගන්නට පුළුවන්. ඔලිව් තෙල්, එළවලු තෙල්, පොල්තෙල්, තල් තෙල්,මාගරින්, බටර් ආදිය අතරින් අපි බහුලවම භාවිතා කරන්නේ පොල්තෙල්. මේ තෙල්වල රසායනික සංයුතිය අනුව එය සංතෘප්ත මේද අම්ල සහ අසංතෘප්ත මේදය විදියටත් බෙදා වෙන් කරනවා.
දවසකට අවශ්‍ය කරන මේදයෙන් 1/3 ක් සංතෘප්ත මේදයෙන් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. නමුත් ඒ ප්‍රමාණය අභිභවා යම් අයෙක් සංතෘප්ත මේදය ශරීරයට ලබා ගන්නේ නම් එවැනි පුද්ගලයෙකුට ඇති වෙන්නට හැකි ආබාධ තත්ත්වයන් වැඩියි. දිනකට අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 2/3 ක්ම අපි ලබාගත යුතු වෙන්නේ අසංතෘප්ත මේද අම්ලයයි.
පොල් තෙල්

ඉතින් ලාංකීය අපි බහුල වශයෙන් ආහාර පිසීමේදී තෙල් ලෙස භාවිතා කරන්නේ පොල්තෙල්. නමුත් පොල්තෙල්වල වැඩි වශයෙන් අන්තර්ගතව තියෙන්නේ සංතෘප්ත මේදය. ඒ නිසා පොල් තෙල් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක්ම පවතිනවා.
සාමාන්‍යයෙන් අපි පොල් කිරි ලෙස, පොල් ලෙස වගේම තෙල් විදියටත් මේ පොල් භාවිතයට ගන්නවා. එහිදී ගැටළුව වෙන්නේ ඒ විධි 3 න් දිනකට අපි වැඩිපුර භාවිතා කරන්නේ මොනවා ද යන්නයි. පොල්තෙල්වල 90% ටත් වඩා තිබෙන්නේ සංතෘප්ත මේදය. ඒ නිසා දිනකට වැඩිපුරම පොල් තෙල් භාවිතා කිරීමෙන් වැඩි වශයෙන් ශරීරයට සංතෘප්ත මේදය ලැබෙනවා.
පොල් කිරිවල 35% ක් ප්‍රමාණයක් තමයි මේදය පවතින්නේ. නමුත් පොල්කිරි යොදා බොහෝ වේලාවක් පිසගැනීම තුළ අපේ ශරීරයට වැඩි වශයෙන් තෙල් එකතුවීමක් වෙනවා. ඒ නිසා පොල් තෙල් විදියට භාවිතයේදී වගේම කිරි විදියට භාවිතයේදීත් අපි සැලකිලිමත් විය යුතු වෙනවා.
ඒ හැරුණාම පොල් කිරි ලබා ගැනීමේදී පොල් ටික බ්ලෙන්ඩර් කිරීම බොහෝදෙනෙක් සිදුකරනවා. නමුත් එහි වාසිදායක තත්ත්වයන් වගේ අවාසිසහගත තත්ත්වයන් ද පවතිනවා.වාසිදායක තත්ත්වය තමයි පොල්වල් අඩංගු වෙන තන්තු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබා ගන්නට හැකියාව ලැබීම. අවාසිදායක තත්ත්වය වෙන්නේ අතින් මිරිකනවාට වඩා වැඩි මේද ප්‍රමාණයක් පොල් කිරිවලට එකතු වීම.කොහොමනමුත් පොල් කිරි භාවිතයේදී ශරීරයට ලැබෙන තෙල් ප්‍රමාණය අඩු කර ගන්නට එළවලු ජලයෙන් තම්බා ගෙන පොල් කිරි එකතු කරන්නට පුළුවන්.
ආහාර පිසින ආකාරය අනුව තෙල් භාවිතා කළ යුතු ආකාරය
ඉහතින් සඳහන් කළ ආකාරයට අපි විවිධ ආකාරයට තෙල් ආහාර පිසීමේදී භාවිතා කරනවා. ගැඹුරු තෙලේ බැදීම, නැත්නම් ආහාරයක් පිසගන්නට හෝ දවටනයක් ලෙස ආදී වශයෙන් තෙල් භාවිතා කරන වා.එහිදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක්ම පවතිනවා.
- ගැඹුරු තෙලේ ආහාරයක් බැදීමට ගත යුතු වෙන්නේ සංතෘප්ත මේදය බහුලව ඇති තෙල් වර්ගයක්. (පොල්තෙල් )
- තෙම්පරාදු කිරීමකදී පොල්තෙල් හැරුණාම වෙනත් තෙල් වර්ග භාවිතා කිරීම වඩා සුදුසුයි.
- එහිදී ඔලිව් තෙල් අනෙක් තෙල්වලට වඩා සුදුසු බව සඳහන් වෙනවා. ඒ වගේම සූරියකාන්ත තෙල් හෝ සෝයා තෙල් භාවිතයට ගන්නේ නම් ඉතා සුළු ප්‍රමාණයක් ගැනීමටත් මතක තබාගත යුතු වෙනවා. මොකද ඒවායේ ශරීරයේ පවතින ආසාදන තත්ත්වයන් වැඩි කිරීමේ හැකියාව පවතින නිසා.
- තෙල් භාවිතයේදී පොල් තෙල් පමණක් භාවිතයට වඩා වෙනත් තෙල් වර්ග තෙම්පරාදු කිරීමේදී භාවිතා කිරීමෙන් සමතුලිතභාවය තබා ගැනීමට වඩා වැදගත් වෙනවා. මොකද කිරි යොදා පිසින ආහාරවලින් වගේම පොල් තෙල්වලිනුත් සංතෘප්ත මේදය අධිකව ශරීරයට ලැබෙන නිසා. ඒ වගේම පොල් තෙල්වල අඅත්‍යවශ්‍ය මේද අම්ල අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මේද අම්ල ඔලිව් තෙල් ආදී වෙනත් තෙල් භාවිතයෙන් ලබා ගන්නට පුළුවන්.

- පොල්තෙල්වලින් ආහාරයක් බැදීමෙන් පසුව තුන් වතාවක් පමණ නැවත භාවිතා කිරීම එතරම් ගැටළුවක් නොවුණත් වෙනත් කිසිදු තෙල් වර්ගයක් නැවත නැවත භාවිතා කිරීම සුදුසු නොවෙයි. (නමුත් පොල්තෙල් වුනත් යමක් බැදීමෙන් පසුව කළු පැහැවීමෙන් පසුව නැවත භාවිතය කෙසේවත් සුදුසු නැහැ.)
- ඇතිලිය රත්කිරීමෙන් අනතුරුව තෙල් දමා නැවත දුම් දමන විට ආහාරය එකතු කිරීම ඉතාම නුසුදුසුයි.ඒ නිසා ඇතිලියට තෙල් දැමිය යුතු වෙන්නේ ජලය ස්වල්පයක් පවතින විටදී.
- තෙල් රත් කිරීමේදී අසංතෘප්ත මේදය අඩංගු සූරියකාන්ත, තෙල්,කැනෝලා තෙල් ආදිය දුම් දමන තත්ත්වයේදී ඒවායේ රසායනික සංයුතිය වෙනස්වීමකට ලක් වෙනවා.එවිට ට්රාන්ස්පැටි ඇසිඩ් කියන රසායනික පදාර්ථය ඇතිවෙනවා. මේ පදාර්ථය හෘද රෝග සහ පිළිකා ඇතිවීමේ හැකියාව වර්ධනය කරනවා. නමුත් ඒ ගැටළුව පොල්තෙල්වලට එතරම් බලපාන්නේ නැහැ.මොකද එහි සංතෘප්ත මේදය බහුල නිසා.
- නිවසේදී තෙල් සකස් කර ගැනීමේදී වඩාත් පුස් බැදුණු (ඇෆ්ලටොක්සීන් ) පොල් භාවිතයෙන් තෙල් ලබා ගැනීමෙන් වැළකීම සුදුසුයි.
- මේ තෙල්වල අඩංගු වෙන පුස් රත් කිරීමකදීවත් ඉවත් කරගන්නට බැහැ. ඒ නිසා ඒවා ආහාරයට ගැනීමෙන් අක්මාවේ තැන්පත් වීමෙන් පසුකාලීනව අක්මාව ආශ්‍රිතව පිළිකා හට ගන්නට පුළුවන්.
- ඉතින් වෙළදපොලෙන් පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් මිලට ගැනීමේදී එහි සෞඛ්‍යාරක්ෂිත බව, ඉහළ ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා වගේම තෙල් භාවිතයෙන් ආහාර පිළියෙල කිරීමේදීත් අපි අතින් සිදුවන පුංචි වැරදි මගහරවා ගන්නටත් අමතක කරන්නට එපා. එවිට ඔබටත් ඔබේ ආදරණීයන්ටත් නීරෝගී ජීවිතයකට අවැසි සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා දෙන්නට ඔබට හැකියාව ලැබේවි.