කාන්තාවන් කවදාවත් නොසළකා නොහැරිය යුතු සිරුරේ මතුවෙන ලක්ෂණ 14 ක්

health tips

සිරුර සාමාන්‍ය පරිදි ක්‍රියානොකරන විට විවිධ සංඥා හරහා සිරුර ඒ බව අපට පෙන්නුම් කරනවා.එවැනි සංඥා නොසළකා හැර සිටීමෙන් ඒවා බරපතල රෝග දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙයි. ශරීරය ගැන හොඳ අවධානයකින් පසුවීම ඔබේ නීරෝගී පැවැත්මට ඉතා වැදටත් වෙයි. අද අප කතා කරන්නට සූදානම් වන්නේ බොහෝ කාන්තාවන් නොසළකා හරින, නමුත් එසේ නොකළ යුතු රෝග ලක්ෂණ කිහිපයක් ගැනයි. කාලයක් තිස්සේ ඔබත් මෙවැනි රෝග ලක්ෂණ අත්දකිමින් සිටිනවා නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

පැහැදිලි හේතුවක් නැතිව බර අඩුවීම ආහාර පාලනය කිරීමෙන් හා ව්‍යායාම වලින් බර අඩුවීම සාමාන්‍යයයි.කෙසේවෙතත් කිසිඳු පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ බර එන්න එන්නම අඩුවීම ගැටලුකාරීය. බොහෝ විට මීට හේතුව ඔබේ සිරුරේ සැඟවී පවතින යම් රෝග තත්වයක් නිසා විය හැකියි.උදාහරණ ලෙස හෝර්මෝන අසමතුලිතතා,තයිරොයිඩ් ගැටලු,පරිවෘත්තිය සම්බන්ධ ගැටලු, දියවැඩියාව, ප්‍රදාහක බඩවැල් රෝග සහ ඇතැම් විට පිළිකා වැනි හේතු බලපෑ හැකියි.අධික්‍රියාකාරි තයිරොයිඩ් ග්‍රන්ථිය නිසා සිරුරේ පරිවෘත්තිය වේගවත් වෙයි.සිරුරේ බර ඉක්මනින්ම අඩුවීමට මෙය හේතුවෙයි.ආතරයිටිස් රෝගය නිසා ද ශරීර බර අඩුවීමට ඉඩ තිබෙයි.නිදන්ගත ප්‍රදාහය ශරීර පරිවෘත්තිය වේගවත් කරයි.මෙම නිසා බර රාත්තල් කිහිපයකින් වුව අඩුවිය හැකියි.

පියයුරු වල වෙනස්කම් ඇතිවීම ශරීර බර සමඟ පියයුරු වල විශාල බව ද වෙනස්වෙයි.හෝර්මෝන වෙනස්කම් ඊට බොහෝ විට හේතුවෙයි.ගර්භණී සමයේදී දරුවාට මවුකිරි දීම  වැනි අවශ්‍යතා මතුවන නිසා පියයුරු ප්‍රමාණයෙන් විශාල වෙයි.කෙසේවෙතත් පැහැදිලි හේතුවක් නොමැතිව පියයුරු වල වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි.නිතිපතා පියයුරු පරික්ෂා කර ගැටිති වැනි වෙනස්කම් මතුව තිබේදැයි විමසිලිමත්වන්න. සති දෙකකට වඩා කල් පියයුරු වල පලු හටගෙන තිබීම ඇතැම් විට  යම් පියයුරු පිළිකා තත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකියි.

බඩ පිපුම බඩ පිපුම ඇතිවන්නේ බඩේ වාතය පිරීම නිසයි.එමෙන්ම බඩවැල් වල හිතකර බැක්ටීරියාවන්ට සුදුසු ආහාර පාන පරිභෝජනය නොකිරීම ද මේ තත්වය උදාවීමට හේතුවෙයි.ඔසප් දිනවලදී කාන්තාවන් තුළ බඩ පිපුම වැනි ලක්ෂණ ඇතිවීම සාමාන්‍යයයි.කෙසේවෙතත් නිතරම වගේ අධික ලෙස බඩ පිපුම හටගැනීම බලා සිටීමට සුදුසු තත්වයක් නොවෙයි.දින කිහිපයකට වඩා කල් බඩ පිපුම තත්වය පවතියි නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. අධික ලෙස බඩ පිපුම ඩිම්බ පිළිකා අවදානම් හා සම්බන්ධ ලක්ෂණයක් වීමට ද ඉඩ තිබිය හැකියි. සුළු ප්‍රමාණයක් ආහාරයට ගත්තත් බඩ පිරෙයි නම් එය ගැටලුවකි.හදිසියේම මූත්‍රා පිටකිරීමට අවශ්‍යතාව ඇතිවීම මූත්‍රා ආසාදන තත්වයක  හෝ වකුගඩු ආශ්‍රිත ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැකියි.

සමේ ඇතිවන වෙනස්කම් මෑතකදී සිට අසාමාන්‍ය ලෙස සමේ ඉන්නන් (moles) වර්ධනය වෙමින් තිබේ නම් එය අවදානම් තත්වයකි. මෙය බොහෝ විට චර්ම පිළිකා තත්වයක පූර්ව ලක්ෂණයක් වීමට පුළුවන්.මේවා ප්‍රමාණයෙන් විශාල වෙමින් ඇත්දැයි පරික්ෂාකාරී වීම ඉතා වැදගත්ය.සමේ පිග්මන්ටේෂන් තත්වයන් මතුවෙමින් ඇත්දැයි අවධානයෙන් සිටින්න. චර්ම පිළිකා යනු සමේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ තත්වයකි.

අහිතකර හිරු කිරණට සම අධිකව නිරාවරණය වීම වැනි හේතු මීට තුඬු දෙයි.කල් තියා හඳුනාගැනීමෙන් මේ තත්වයට හොඳින් ප්‍රතිකාර කළ හැකි බව පෙන්වාදෙයි. හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වන මුහුණ, කන්, අත්  ආශ්‍රිත සමේ වෙනස්කම් මතුවෙයි.සුසුදු පමණක් නොව අඳුරු පැහැති සමක් ඇති අයට ද චර්ම පිළිකා අවදානම තිබෙයි.සමේ කුඩා රතු බිබිලි මතුවීම, පැතලි තුවාල පලු,සමෙන් රුධිරය ගැලීම හෝ සුව නොවන විවෘත වූ තුවාල මතුවීම ලක්ෂණ කිහිපයකි.

අසාමාන්‍ය රුධිර වහනය ඕනෑම අධික රුධිර වහනය තත්වයකදී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර කරා යාම වැදගත්.අධික ලෙස ඔසප් රුධිරය පිටවීම ඩිම්බ කෝෂ පිළිකා තත්වයේ පූර්ව ලක්ෂණයක් විය හැකියි.කෙළ සමඟ රුධිරය පිටවීම පෙනහළු පිළිකාවේ පූර්ව සංඥාවකි.මලපහ සමඟ රුධිරය පිටවීම ආමාශයේ වණ,ප්‍රදාහක බඩවැල් රෝග හා ඇතැම් විට බඩවැල් ආශ්‍රිත පිළිකා වැනි ගැටලු හේතු ගණනාවක බලපෑමින් හටගට හැකියි.මූත්‍රා රෝස පැහැයෙන් පිටවෙයි නම් මූත්‍රා පරික්ෂාවක් කරගන්න. රුධිරය සහිත මූත්‍රා පිටවීම මූත්‍රාශයේ පිළිකා තත්වයක සංඥා පෙන්නුම් කිරීමක් විය හැකියි.

හුස්ම හිරවීම-එතරම් මහන්සි නොවුණත් හුස්ම ගැනීමට අපහසු බවක් දැනෙනවාද? මෙය dyspnea හෙවත් දුහ්ශ්වසනය තත්වයේ සංඥාවක් විය හැකියි.ගැටිති වර්ධනය වීමක් හෝ පිළිකා ආශ්‍රිත රෝග ලක්ෂණ බලපෑමින් මතුවෙයි.ආතතිය,කාංසාව,රුධිර කැටිති ඇතිවීම වැනි හේතු නිසා ද හුස්ම හිරවීම වැනි ලක්ෂණ වර්ධනය විය හැකියි.

ගිලීම අපහසුවීම ආහාර පාන ගිලීමේදි අපහසුවක් දැනෙනවාද? පිළියමක් ලෙස අර්ධ ඝන හෝ දියාරු ආහාර පාන ගැනීමට උත්සහ කරන්න. දින කිහිපයක් එසේ කළත් ගුණයක් නොමැති නම් එය භයානකයි.ගිලීමේදි නිතරම අපහසුතා ඇතිවෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.සෙම්ප්‍රතිශ්‍යාව ,උණ වැනි වෛරස් ආසාදන වලදී උගුරේ අපහසුතා වර්ධනය වීම සිදුවිය හැකියි.

අජීර්ණයගැබිණි සමයේදි බර වැඩිවීම හා ඇතැම් දින වල අජීර්ණය ඇතිවීම සාමාන්‍යයි.කෙසේවෙතත් එවැනි තත්වයක නොමැති නම් අජීර්ණය යනු නොසළකා හැරීමට සුදුසු ලක්ෂණයක් නොවෙයි.නිතරම වගේ අජීර්ණය තත්වය ඇතිවීම අවදානම් සහගත ලක්ෂණයක් විය හැකියි.ආමාශයේ හෝ උගුරේ පිළිකා නිසා ද මෙවැනි රෝග ලක්ෂණ සිරුරේ වර්ධනය විය හැකියි. මීට අමතරව ජීර්ණ මාර්ගයේ ගැටලු හා රෝග ද අජීර්ණයට හේතුවිය හැකියි.

උදර වේදනාව ආහාර විෂවීම, බඩේ ගෑස් ගතිය වැඩිවීම හෝ වෛරස හෝ බැක්ටීරියා ඇතුළුවීම වැනි හේතු නිසා උදරය ආශ්‍රිත එවැනි පීඩාකාරි තත්වයක් ඇතිවිය හැකියි.උදරයේ යම් ස්ථානයක් ආශ්‍රිතව නිතර වේදනාව මතුවීම ඇතැම් විට පිත්ගල්, වකුගඩු ගල් හෝ ඇපෙන්ඩිසයිටිස් වැනි ගැටලු නිසා විය හැකියි.පාචනය සමඟ ඇතිවන උදර වේදනාවට බොහෝ විට හේතුවන්නේ ඇතැම් ආහාර ආමාශය විසින් නොඉවසීම හෝ IBS වැනි පීඩාකාරි බඩවැල් රෝග නිසයි.උදර වේදනාව අග්න්‍යාශ පිළිකාවේ ද රෝග ලක්ෂණයකි.උදරය ආශ්‍රිත පීඩාකාරි ලක්ෂණ දිගින් දිගටම අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

මුඛයේ ඇතිවන වෙනස්කම් දුම්බීමෙන් පෙනහළු පමණක් නොව ඔබේ මුඛ සෞඛ්‍ය ද පිරිහෙයි.විශේෂයෙන්ම මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානම වඩාත් වැඩියි.කටේ හෝ දිව මත සුදු පැල්ලම් හෝ තිත් ලෙස වර්ධනය වීම leukoplakia තත්වය නිසා විය හැකියි.මෙය මුඛ පිළිකා තත්වයර පෙර මතුවන තත්වයකි.

වසා ගැටිති ආශ්‍රිත වෙනස්කම් සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා උදවු කරන්නේ වසා ගැටිතිය.ආසාදන වලට එරෙහිව සටන් කිරීමට මෙන්ම විෂබීජ විනාශ කිරීමට ද සහය වෙයි.කිහිළි යට ගැටිත්තක් වර්ධනය වී ඇති බවක් හෝ බෙල්ලේ ඉදිමුමක් අත්දකින්නේ නම්, බොහෝ විට ඊට හේතුව ඒ වසා ගැටිති ආසාදනයට ලක්වී තිබීම විය හැකියි.මේවා මාසයකට වඩා කල් පවතියි නම් හෝ ප්‍රමාණයෙන් විශාල වෙයි නම්, වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.මේ සම්බන්ධ යම් පිළිකා අවදානමක් ද තිබිය හැකි නිසා සැළකිලිමත්වීම ඉතා වැදගත්ය.

ඇඟපත වේදනාව වයසගත විමේදි මේ තත්වය සාමාන්‍යයයි. මාංශ පේශී හා අස්ථි දිරායාම නිසා සිරුරේ වේදනාවන් හටගත හැකියි.කෙසේවෙතත් පැහැදිලි හේතුවක් නොමැතිව දිගු කාලයක පටන් සිරුරේ තදබල වේදනාවක් පවතියි නම්,ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

උණ ආසාදනයකට එරෙහිව සිරුර ප්‍රතික්‍රියා කරන විට පළමුවෙන්ම සිදුවන දේ වන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ යාමයි. ඉන් ආගන්තුක දේහ වලට තවදුරටත් ජීවත් වීම අපහසු කෙරෙයි.උණ ඇතිවන්නේ එසේයි.පැහැදිලි හේතුවක් නැතිව උණ ඇතිවීම යම් සෞඛ්‍ය ගැටලුවක් ගැන සංඥා කිරීමක් විය හැකියි.උණ සමඟ, මූත්‍රා සහ මලපහ වල වෙනස්කම් ඇතිවීම, සමේ වෙනස්කම් ඇතිවීම ගැන සැලකිලිමත්වන්න. උණ දිගු කලක් පවතියි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

නොනවතින කැස්ස ශ්වසන මාර්ගයට ඇතුළු වූ සිරුරට ආගන්තුක ද්‍රව්‍යක් බැහැර කිරීමට සිරුර ප්‍රතික්‍රියා කිරීමක් ලෙස කැස්ස ඇතිවෙයි.උගුරේ සෙම බැඳීම නිසා ද කැස්ස ඇතිවිය හැකියි.වසංගත උණ, වෛරස ආසාදන නිසා ද කැස්ස මතුවිය හැකියි.ඇතැම් ඖෂධ වර්ග නිසා ද කැස්ස තත්වයක් වර්ධනය වීමට ඉඩ පවතියි.කෙසේවෙතත් සති 4-5කට වඩා කල් පවතින කැස්ස තත්වය බරපතලය.බොහෝ විට ඔබේ පෙනහළු, උගුර ආශ්‍රිත යම් ගැටලු තත්වටක් නිසා මේ තත්වය පවතිනවා විය හැකියි.එවැනි තත්වයක් අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර ලබාගන්න.