ගෙල ප්‍රදේශයේ පිහිටා තිබෙන සමනල හැඩයක් ගන්නා තයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොක්සින් හෝර්මෝන නිපදවයි. මේවා මිනිස් ශරීරයේ ඉන්ද්‍රියන් ක්‍රමවත්ව ක්‍රියාකිරීමට අත්‍යවශ්‍ය හෝර්මෝන විශේෂයක්.තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිකව හෝ අඩුවෙන් එම හෝර්මෝන නිපදවෙන්නට පටන්ගැනීමෙන් අපේ ශරීර ලෙඩ වීමට පටන්ගත හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රමිකතා හටගෙන ඇත්නම් ඒවා විවිධ පූර්ව රෝග ලක්ෂණ හරහා පෙන්නුම් කරයි. ඔබත් කලක පටන් පහත සඳහන් රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු පෙන්නුම් කරන පූර්ව රෝග ලක්ෂණ

ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28ක් ලෙස සැලකෙයි.ඇතැම් විට එය දින 26-32 අතර කාලයක් වෙන්නට ද පුළුවන්.ආර්තවහරණය හා දරු උපත් වැනි හේතු නිසා ඔසප් චක්‍රයේ ගැටලු මතුවීම සාමාන්‍යයයි.ඩිම්බ කෝෂ මඟින් PCOS පුරුෂ හෝර්මෝන අසාමාන්‍ය ලෙස අධිකව නිපදවීමේ ගැටලු තත්වය කාන්තාවකගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන තවත් හේතුවකි.මීට අමතරව තයිරොයිඩ් ආශ්‍රිත ගැටලු ද මේ තත්වයට තුඬු දිය හැකියි.
තයිරොයිඩ් මඟින් ස්‍රාවය කෙරෙන T3,T4 හා කැල්සිටොනින් වැනි හෝර්මෝන ඩිම්බ කෝෂ වලට සෘජුවම බලපෑම් ඇතිකරන අතර ලිංගික හෝර්මෝන සමඟ අන්තර්ක්‍රියා කරයි. ප්‍රමාණවත් තරම් තයිරොයිඩ් හෝර්මෝන සිරුරේ නිපදනොවෙන විට, රුධිර ප්‍රවාහය නියාමනය කිරීමට,මාංශ පේශි පෙරළීම් නිසා ඇතිවන කැක්කුම් පාලනය කිරීමට සහ ඔසප් චක්‍රයේ කාලය ක්‍රමවත්ව පවත්වාගැනීමට සිරුරට නොහැකිවෙයි.
දවස පුරා දැනෙන අප්‍රාණිකබව අධික තෙහෙට්‍ටුව තයිරොයිඩ් ආශ්‍රිත ගැටලු තත්වයක රෝග ලක්ෂණයක් විය හැකියි.හොඳ නින්දකින් පසුවත් සිරුරට අධික තෙහෙට්‍ටුවක් මහන්සියක් දැනෙයි නම්, බොහෝ විට එය මන්දතයිරොයිඩතාව හා සම්බන්ධ ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි. එනම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් හටගන්නා රෝග තත්වයකි.සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලීන් වලදි තයිරොයිඩ් ග්‍රන්ථිය සෘජුව දායක වෙයි. මන්දතයිරොයිඩතා තත්වයේදි ප්‍රමාණවත් තරම් තයිරොයිඩ් හෝර්මෝන නොනිපදවෙන නිසා පරිවෘත්තිය මන්දගාමී වී සිරුර දුර්වල වෙයි. මහන්සිය ගතියක් මෙන්ම දැඩි අලසබවක් ඇතිවෙයි.
පැහැදිලි හේතුවක් නොමැතිව බර අඩු වැඩි වීම බර අඩු වීම හෝ වැඩි වීම සිදුවන්නේ ආහාර පාලනය හා ව්‍යායාම වැනි සාධක නිසාම නොවෙයි.තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් අඩුවීම සිරුරේ බර වැඩිවීමට හේතුවිය හැකියි.මින් පරිවෘත්තිය වේගය අඩුවෙයි (මෙය සැමවිටම මේද තැන්පත්වීම හා සම්බන්ධ නොවෙයි).තරල තැන්පත්වීම හා ලුණු නිසා ද ශරීර බර වැඩිවිය හැකියි.අධි තයිරොයිඩතාව හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරී බව වැඩි වීමෙන් ද ශරීර බරෙහි වෙනස්කම් ඇතිවිය හැකියි.පරිවෘත්තිය වේගය ඉහළ යාමත් සමඟ ශරීරය විසින් කැලරි භාවිතයට ගන්නා ප්‍රමාණය වැඩි වී වේගයෙන් ශරීර බර අඩුවී යාමට පටන්ගත හැකියි.
හිසකෙස් හැලීයාම පැහැදිලි හේතුවක් නොමැතිව හිසකෙස් හැලීයාම බොහෝ විට තයිරොයිඩ් ගැටළු සමඟ සම්බන්ධ වේ. අඩු තයිරොයිඩ් හෝමෝන මට්ටම ඔබේ හිසකෙස් වර්ධන චක්‍රයට බාධා කළ හැකි අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව හිසකෙස් හැලීයාමට හේතු වේ.
හිස් කබලෙන් මෙන්ම ඔබේ ඇහි බැම පිටතින් සහ අනෙකුත් ශරීර කොටස්වලින්ද හිසකෙස් / රෝම ගැලවී යාම දැකිය හැක. ඊට අමතරව, හිසකෙස් වියළි, බිඳෙනසුලු සහ රළු බවට පත්වේ. මේවා තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග ලක්ෂණ වේ.තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය ද හිසකෙස් ගැටළු ඇති කරයි. අධිතයිරොයිඩතාව නිසා හිසකෙස් තුනීවීයාම හා හිස්කබල අධිකව වියළී යාම සිදුවිය හැකියි.

ඇස් ඉලිප්පීම උදක්ෂිය (exophthalmos) හෙවත් ඇස් බෝලය අස්ථි ව්‍යුහයෙන් ඉහළට ඉලිප්පීම graves disease වැනි තයිරොයිඩ් ආශ්‍රිත රෝග තත්වයන් ඇසුරෙන් ඇතිවිය හැකි තත්වයකි.මෙම රෝග තත්වය ඇසක් හෝ ඇස් දෙකම ඉදිරිපසට හෝ පිටුපසට ඉලිප්පීම ඇතිකරවයි.මෙය එකවරම ඇතිවන්නේ නැහැ. මුළින්ම ඇස් පෙනීම දුර්වල වීම, ඇස් රතුවීම, ඇස් වල වියළිබව හා ඇස් වේදනාව වැනි ලක්ෂණ මතුකළ හැකියි. කල් යත්ම මේ ලක්ෂණ උග්‍ර වී මෙම තත්වය දක්වා වර්ධනය වෙයි.
කාන්තාවන්ගේ සරුබව ආශ්‍රිත ගැටලු තයිරොයිඩ් ග්‍රන්ථිය හා සරුබව යනු එකිනෙකට බොහෝ සම්බන්ධ බව වෛද්‍යවරු පෙන්වාදෙති.තයිරොයිඩ් දෝෂ වලින් පෙළෙන ගැබ්ගත හැකි වයසේ පසුවන කාන්තාවන් බොහෝදුරට නිසරුබව වැනි ගැටලු අත්දැකිය හැකි බව පෙන්වාදෙයි.මන්දතයිරොයිඩතා රෝගීන් සඳහා ගැබ්ගැනීම ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකියි.කොතරම් ප්‍රතිකාර කළත් දරුවෙකු ලැබීමට නොහැකිවී ඇත්තේ ඔබ යම් තයිරොයිඩ් ගැටලුවකින් පෙළෙන නිසා වන්නට ද ඉඩ ඇත.
මනෝභාවය වෙනස්වීම් මනෝභාවය, එහෙමත් නැතිනම් මූඩ් එක නිතර වෙනස්වීම සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි. නිතර දුක්ඛිතබවක්, කාංසා ස්වභාවයක්, නුරුස්නා ගතියක් ,තරහක්,නොසන්සුන්බවක් දැනෙයි නම් ඇතැම් විට ඊට හේතුව තයිරොයිඩ් ආශ්‍රිත ගැටලු තත්වයක් වීමට ද ඉඩ තිබෙයි.T4,T3 වැනි තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් අධික වීම විශාදයීය රෝග ලක්ෂණ වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතුසාධක විය හැකියි.තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් නිතර වෙනස්වීම ඔබේ චිත්තාවේග පාලනයෙන් තොරවීමට බලපෑ හැකියි.
අත් කකුල් සීතල වීම අවට සීතල නිසා හෝ ඇතැම් විට ආතතීය අවස්ථාවන් වල ඔබේ අත් කකුල් සීතල වීමට පටන්ගත හැකියි. මෙය සාමාන්‍ය වුවත් අවට උණුසුම්ව තිබියදීත් ඔබේ අත් කකුල් සීතල වි ඇති බවක් දැනීම තයිරොයිඩ් ග්‍රන්ථියේ යම් දෝෂ තත්වයක් නිසා වර්ධනය විය හැකි ලක්ෂණයකි.තයිරොක්සින් මට්ටම් අඩුවීම පරිවෘත්තිය මන්දගාමී කරවීම නිසා ශරීර උෂ්ණත්වය ද අඩු වීමට හේතුවෙයි.වෙවුලීම, උගුර ඉදීමීම වැනි ලක්ෂණ ද මතුකළ හැකියි. මන්දතයිරොයිඩතාව හා තයිරොයිඩ් ධූලකතාව (thyrotoxicosis) වැනි රෝග තත්වයන් වල පූර්ව රෝග සංඥාවක් ද වෙයි.
හෘද ස්පන්දන වේගය මන්දගාමී වීම තයිරොයිඩ් හෝර්මෝන අධිකකම හා අඩුකම හෘද සෞඛ්‍යයට සෘජුවම බලපෑ හැකියි.මිනිත්තුවකදි සාමාන්‍ය වැඩිහිටියෙකුගේ හෘද ස්පන්දනය වාර 60-100ත් අතර අගයක් ගනියි.මද හෘද ස්පන්දන වේගය හෘදයේ නීරෝගි බව පෙන්නුම් කරන ලක්ෂණයකි.ක්‍රීඩකයින් හෝ කායික ක්‍රියාශීලිබව වැඩිපුද්ගලයින්ගේ විවේකී හෘද ස්පන්දනය මිනිත්තුවකට වාර 40ක් පමණ වන අතර එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයකි.කෙසේවෙතත් කිසිඳු කායික ක්‍රියාකාරකමක නොයෙදුණත් හෘද ස්පන්දන වේගය ඉතා මන්දගාමී නම් , ඇතැම් විට ඊට හේතුව මන්දතයිරොයිඩතා තත්වය විය හැකියි.හෘද ස්පන්දන වේගය අධික වීම අධි තයිරොයිඩතාවේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.
බෙල්ලේ සම අඳුරුවීම තයිරොයිඩ් ග්‍රන්ථි අක්‍රමිකතා හේතුවෙන් සමේ හටගන්නා හයිපර්පිග්මන්ටේෂන් තත්වය හිරු එළියට සම පිළිස්සීමට වඩා වෙනස් තත්වයකි. මින් මුඛ කුහරයේ මෘදු සම,ඇස් අවට,බෙල්ල, ප්‍රජනන අවයව හා කිහිළි ආශ්‍රිත සම කලු වීමට පටන්ගනියි.අධි තයිරොයිඩතාව හේතුවෙන් සමේ කැසීමට හා ඉදිමීමට පටන්ගත හැකියි.සමේ වියළි පැල්ලම් හා ඇඟිලි තුඩු ඉදීමීමට පටන්ගත හැකියි.

නින්ද නොයාම දිනකට පැය 7-8ක් පමණ නිදාගැනීම සිරුරේ නීරෝගි පැවැත්මට ඉතා වැදගත් බව පෙන්වාදෙයි.කෙසේවෙතත් වර්තමානයේ බොහෝ දෙනා නින්ද ආශ්‍රිත රෝගාබාධ වලින් පෙළෙනවා.තයිරොයිඩ් ආශ්‍රිත ගැටලු ද මේ තත්වයට හේතුවිය හැකියි. තයිරොයිඩ් හෝර්මෝන ඉතා අඩුවීම හේතුවෙන් ඉක්මනින් නින්දට පත්වීම සිරුරට අසීරු වෙයි.මේ නිසා නින්ද නොයාම (ඉන්සොම්නියා) සහ රාත්‍රිය පුරා අඩ නින්දෙන් අවදිවීම වැනි ගැටලු මතුවිය හැකියි.මේ තත්වය දිගු කල් පැවතීමෙන් මතක ශක්තිය දුර්වල වීම, බර වැඩිවීම, පේශි කැක්කුම් වේදනා, අප්‍රාණිකබව වැනි අපහසුතා වර්ධනය වීමට ඉඩ ඇති බව පෙන්වාදෙයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම බෙල්ලේ ගැටිත්තක් හෝ මස් ගුලියක් වර්ධනය වීම තයිරොයිඩ් ග්‍රන්ථිය අවදානමේ හෙළන හේතුවක් වෙයි.බෙල්ල නෙරීම ගලගණ්ඩය හෙවත් අයඩින් ඌනතාව හේතුවෙන් හටගන්නා රෝගයකි.කලක සිට කටහඬ බැරැණ්ඩිවීමක් හෝ ඔබේ සුපුරුදු කටහඬේ යම් යම් වෙනස්කම් ඇතිවී ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.ඇතැම් විට එය පිළිකා අවදානමක් නම් කල් තියා හඳුනාගැනීම ප්‍රතිකාර වලට පහසු වෙයි.නමුත් බෙල්ල ඉදිමීම සැමවිටම පිළිකා තත්වයක් වන්නේ නැති බවත් මතක තබාගත යුතුයි. සැකසහිත රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය පරික්ෂා කරගැනීම නුවණට හුරුයි.