ඔබේ සිරුරේ තැන්පත්වී ඇති වස විස පැය 24 ඉවත් කරන ක්‍රම 14 ක්

health tips

සිරුරට ඇතුළුවන වස විස ද්‍රව්‍ය නිසි ලෙස සිරුරෙන් බැහැර නොවී එවා සිරුරේ තැන්පත් වීමෙන් නොයෙකුත් රෝගාබාධ අවදානම් සිරුරේ වර්ධනය විය හැකියි. දූෂිත ජලයෙන්, අපිරිසිදු වාතයෙන්,රසකාරක, වර්ණකාරක, කල්තබාගැනීමේදි ද්‍රව්‍ය බහුල ආහාර පාන වලින් (ක්ෂණික හා කෘතිම ආහාර පාන මෙහිදි විශේෂයි) ආතති හෝර්මෝන, රෝග කාරක විෂබීජ වැනි නොයෙකුත් ආකාර වලින් සිරුරට වස විස ද්‍රව්‍ය ඇතුළු විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ සිරුරට ඇතුළු වන විෂ අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ වකුගඩු,අක්මාව,සම ,මූත්‍රාශය සහ පිත්තාශය වැනි අවයව වලට අනන්‍ය වූ ක්‍රියාවලීන් මඟිනි.ඒවායේ ක්‍රියාකාරීත්වය වඩාත් පහසු වීමට හා වැඩිදියුණු වීමට උපකාරී වන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නට යන්නේ.සිරුරේ වස විස ඉවත්කර සිරුර පිරිසිදු කරවන ක්‍රියාවලිය හඳුන්වන්නේ විෂහරණය නැත්නම් detox ලෙසයි. ඔබේ සිරුර ස්වභාවිකව විෂහරණය කරගැනීමට උපකාරී වන සරල උපදෙස් කිහිපයක් පහත දැක්වෙයි.

පැය 8ක පමණ හොඳ නින්දක් ලබාගන්න නීරෝගිබව ‍රැකගැනීම සඳහා දිනපතාම හොඳ නින්දක් ලබාගත යුතු වෙනවා.නින්ද මඟින් ඔබේ ශරීර ක්‍රියාවලීන් වැඩිදියුණු වීමට සහය දෙයි.හොඳ නින්දක් නොමැතිකම මාංශ පේශි ශක්තිමත් බව අඩුවීමට,මනෝභාවය (mood) අයහපත් වීමට ,අප්‍රාණිකබව, තෙහෙට්‍ටුව හා හිසරදය වැනි අපහසුතා මතුකළ හැකියි.සිරුරේ බර අඩුවීමට ද බලපෑ හැකියි.පැය 7-8ක නින්දක් ලැබීම මොළයට හොඳ විරාමයක් ලබාදී එහි විෂ අපද්‍රව්‍ය බැහැර කර ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු වීමට ප්‍රතිලාභ දෙන බව අධ්‍යයන පෙන්වාදෙයි.

ප්‍රතිඔක්සිකාරක (antioxidants) බහුල ආහාර පාන ලබාගන්න කහ,රතු,කොළ ,තැඹිලි වැනි පැහැයන්ගේ පලතුරු සහ එළවළු වල මේවා බහුල බව සඳහන්. ඊට අමතරව බෙරි වර්ග,සෝයා බෝංචි හා සුදුලූනු සහ කහ වැනි කුළුබඩු වර්ග වල ද ප්‍රතිඔක්සිකාරක බහුලයි.දිනපතා මෙවැනි ආහාර පාන පරිභෝජනයට එක්කරගැනීම සිරුරේ වස විස ද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කරවන ක්‍රියාවලීන්ට සහය ලබාදේ.ප්‍රතිඔක්සිකාරක රෝග වලට මූලික විය හැකි හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් ඔබේ සිරුරේ සෛල වලට සිදුවිය හැකි හානිවීම් වළක්වයි. පලතුරු හා එළවළු සලාද වර්ග,ස්මූති වැනි යුෂ පාන වර්ග ලෙස සකසා පරිභෝජනය කිරීමෙන් වැඩි ගුණයක් ලබාගත හැකි වේවි.

ප්‍රතිප්‍රදාහක ගුණ බහුල ආහාර පරිභෝජනයට එක්කරගන්න සැකසුම් ක්‍රියාවලීන්ට ලක්කළ ආහාර පාන, කිරි නිෂ්පාදන,සීනි සහ රතු මස් වර්ග ඔබේ සිරුරේ ප්‍රදාහය ඇතිකළ හැකි ආහාර මූලාශ්‍රයි.ඉඟුරු,කහ,සැමන්,හුරුල්ලන් වැනි මේද මාලු,ඩාක් චොකලට්  වැනි ආහාර වල මෙම බලපෑම් යටපත් කළ හැකි ප්‍රතිප්‍රදාහක ගුණ අඩංගුයි.

හොඳින් වතුර බොන්න දිනකට වතුර ලීටර් 1.5-3 අතර ප්‍රමාණයක් වතුර පානය කිරීම ඔබේ පුරුද්දක් කරගන්න.වතුර පානය කිරීම මඟින් සිරුරේ වස විස ද්‍රව්‍ය මූත්‍රා සමඟ පෙරී සිරුරෙන් බැහැර වීම සිදුවෙයි. වතුර මඟින් වකුගඩු ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරයි. මූත්‍රා මාර්ගය සහ මූත්‍රාශය ආසාදන වලට ලක්වීමේ අවදානම අවම කරමින් ඒවා පවිත්‍ර කරවයි.රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, මලබද්ධය වැළැක්වීම,ආහාර ජීර්ණ ගැටලු වැළැක්වීම, ප්‍රතිශක්තිය ශක්තිමත් වීම වැනි තවත් බොහෝ ප්‍රතිලාභ මින් හිමිවේ. හොඳින් වතුර පානය නොකිරීමෙන් සිරුර විජලනය වීම,වකුගඩු වල ගල් හටගැනීම වැනි සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානම වැඩිය. උණුසුම් වතුර පානය කිරීම වඩාත් සුදුසුයි. රසය වැඩිකරගැනීමට ඊට ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කරගන්න.

තන්තු බහුල ආහාර පාන ලබාගන්න පලතුරු, එළවළු, ධාන්‍ය, නට් වර්ග, පරිප්පු,මිනේරි,ඕට්ස්, වගේ ආහාර වල තන්තු බහුලයි.බඩවැල් වල නීරෝගි ක්‍රියාකාරීත්වය සඳහා තන්තු පෝෂක ඉතා වැදගත්.වස විස ද්‍රව්‍ය ‍රැගත් මල අපද්‍රව්‍ය ක්‍රමවත්ව සිරුරෙන් බැහැර වීමට තන්තු උපකාරී වේ.

ප්‍රෝබයෝටික් ආහාර කෙරෙහි ද අවධානය ලබාදෙන්න ස්වභාවික හිතකට බැක්ටීරියා බහුල මුහුන් කළ ආහාර පාන බොහෝමයක් තිබේ.සවර්ක්‍රෝට් (ලුණු යොදා මුහුන් කළ ගෝවා),අච්චාරු වර්ග, කෙෆීර්,නාටෝ,යෝගට් වගේ ආහාර ඊට උදාහරණයි.ප්‍රෝබයෝටික් බේ බඩවැල් වල හිතකර බැක්ටීරියා ගහණයට අවශ්‍ය පෝෂණය සපයයි.ප්‍රෝබයෝටික් ආහාර වල ඇති සක්‍රීය බැක්ටීරියා සිරුරේ හානිකර රසායන හා බැර ලෝහ හා බන්ධනය වීම සිදුවන නිසා ඒවා සිරුරෙන් බැහැර වීම වඩාත් පහසු කෙරේ. ඇතැම් ප්‍රෝබයෝටික් වර්ග ඇලුමිනම්, කැඩ්මියම්,ඊයම් සහ ආර්සනික් වැනි රසායනයන් සිරුරෙන් බැහැර කරවීමට ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදෙයි.

ඩ්‍රයි බ්‍රෂ් ක්‍රමය මෙය පුරාණ ආයුර්වේද උපක්‍රමයකි. ස්වභාවික කෙඳි සහිත වියළි බුරුසුවකින් සම පිරිමැදීම මෙහිදි සිදුවේ.මෙමඟින් වසා ගැටිති වල තරල හා වස විස ද්‍රව්‍ය ඉවතට ඇදීම සිදුවෙයි.නිතිපතා මෙම ක්‍රමය අනුගමනය කිරීම වසා වාහිනි ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු වීමට ප්‍රතිලාභ දෙන බව පෙන්වාදේ.සියුම්ව රවුම් අතර සම පිරිමදින්න. ක්‍රම ක්‍රමයෙන් සම ඉහළ දෙසට මෙම සම්බාහනය ගෙන යාම වැදගත්.මෙහිදි සමේ සිදුරු විවර වී ඒවා තුළ සිර වී ඇති කුණු දුහුවිලි අපද්‍රව්‍ය දහඩියත් සමඟ පහසුවෙන් ඉවත්වීම සිදුවෙනු ඇත.

සිරුර ක්‍රියාශීලීව තබාගන්න දිනපතා මිනිත්තු 20ක් පමණ සියුම් ඒරෝබික් ව්‍යායාම වල යෙදීමෙන් ඔබේ ශ්වසනය වැඩිදියුණු වන බව පෙන්වාදෙනවා.මෙහිදී ශරීර සංසරණ ක්‍රියාවලි ක්‍රමවත් වී ඔබේ පෙනහළු වලින් වස විස ද්‍රව්‍ය ඉවතට මුදාහැරෙයි.සිරුරට දහඩිය දැමීමත් සමඟ සමේ අපද්‍රව්‍ය ද ඉවතට ඇදී එයි. දහඩිය පිටවීමට සැලැස්වීම සිරුරේ විෂ අපද්‍රව්‍ය ඉවත්කරවන හොඳ ක්‍රමයකි.ව්‍යායාම ඔබේ අක්මාවේ නීරෝගි බව වැඩිදියුණු වීමට සහය ලබාදෙන බව අධ්‍යයන පෙන්වාදේ.නම්‍යතා(ස්ට්‍රෙචිං) ව්‍යායාම, ඇවිදීම, මද වේගයෙන් දිවීම වැනි සරල ව්‍යායාම ක්‍රම ද වඩාත් යෝග්‍යයයි.

මත්පැන් පානයෙන් වළකින්න මත්පැන් පානය ඔබේ අක්මාවට, වකුගඩු වලට ඉතා හානිකරයි.අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අක්මා සෛල තුළ මේද තැන්පත්වීම වැඩි වී සිරෝසිස් තත්වය දක්වා එය උත්සන්න විය හැකියි.ඇතැම් විට එම අවයව පූර්ණ ලෙස අක්‍රීය වීමට පවා ඉඩ තිබෙයි.මෙය මාරාන්තික විය හැකියි.

දිව සූරා පිරිසිදු කරගන්න දිව යනු මුඛ බැක්ටීරියාවන් අධික ගහණයක් පවතින ස්ථානයක්.ඊට අමතරව දිවේ ඉඳුල් කොටස් ඉතිරි වී ඒවා ඒවායේ බැක්ටීරියා වර්ධනය තවත් වැඩිවිය හැකියි.ඒවා ශරීරගත වීමෙන් නොයෙකුත් සෞඛ්‍ය ගැටලු මතුවීමට ඉඩ තිබෙයි.දිනකට දෙවරක් (ආහාර ගැනීමෙන් පසු ) දිව සූරනයකින් (tongue scraper) දිව පිරිසිදු කරගන්න.

සිරුර සම්බාහනය කරන්න මින් සිරුර සමනය වී සුවපත් වීම වේගවත් වේ.සිරුරේ නිල ලක්ෂ්‍යයන් සම්බාහනය කිරීමෙන් ශරීරයේ ස්නායු ක්‍රියාවලින් උත්තේජනය වේ.ආතතිය වැඩිකරවන කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම් අඩුකරවයි.සම්බාහනය කිරීමේදි සිරුරේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීම ද සිදුවේ.ආතතිය හා පීඩනය දුරලයි.

ඇරෝමාතෙරපි සුවඳ තෙල් (essential oils) වලින් සිදුකරන සත්කාර වලින් සිරුරට වගේම මනසට හොඳ චිකිත්සක ගුණ ලැබේ.මේවායේ ප්‍රබල සුවඳ ඔබේ මනසට හිතකර ප්‍රතිලාභ ලබාදෙයි.මොළයට හා චිත්තාවේග පාලනයට ද මේවායින් යම් බලපෑම් ඇතිකෙරේ.ඔබේ මනස සන්සුන් කරගැනීමට, නිරවුල් කරගැනීමට මේවායේ සුවඳ ආග්‍රහණය කරන්න. මේ සඳහා ඇරෝමා ඩි‍ෆියුසර් හෝ හියුමිඩිෆයර් වැනි උපකරණයක් ඔබට භාවිත කළ හැකියි.

හයිඩ්‍රොතෙරපි උණුසුම් වතුරෙන්, සීතල වතුරෙන්, එප්සම් ලුණු වතුරෙන් ස්නානය කිරීම හෝ නාන තටාකයක බැසසිටීම, හුමාල ස්නානය (සෝනා) වැනි ක්‍රම ඔබේ සිරුරට වඩාත් හොඳ්හ ප්‍රතිඵල ලබාදෙයි. මේවා සිරුරේ වේදනා අපහසුතා සමනය කරමින් හොඳ සැහැල්ලුවක් සලසන ක්‍රම ලෙස හඳුන්වයි.මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි.

ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රමය (intermittent fasting) ආහාර පාන ගැනීමෙන් පසු පැය ගණනක් පුරා නිරාහාරව සිටිමින් සිදුකරන ආහාර පාලනයක් තමයි මේ.සිරුරේ පරිවෘත්තිය වේගය නියාමනයට වගේම දෙවන කාණ්ඩයේ දියවැඩියා,පිළිකා හා හෘද රෝග අවදානම් අවම වීමට ද මින් ප්‍රතිලාභ ලැබෙයි.සිතු සිතු ලෙස ආහාර පාන ගැනීමට නොහැකි නිසා ශරීරගත වන කැලරි ප්‍රමාණය වගේම සිරුරට අහිතකර වස විස ප්‍රමාණය ද මේ ක්‍රමයේදී ඉතා අවමයි.මෙහිදි වැඩි වශයෙන් ආහාරයට ගැනෙන්නේ පලතුරු, එළවළු, ධාන්‍ය, ඇට වර්ග වැනි දේවල්ය.