අද අපිට ආහාරයට ගන්නට සිදුවෙලා තියෙන එළවලු,පලතුරු, පලා වර්ග සහ ධාන්‍ය වර්ග සියල්ලක්ම පාහේ නොයෙකුත් රසායන ද්‍රව්‍ය එකතු කරන ලද ඒවා. කෘමි උවදුරුවලින් බෝග ආරක්ෂා කර ගන්නට කෘමිනාශක වගේම දිලීර නාශකත් වැඩිපුර භාවිතා කිරීම දකින්නට පුළුවන්. ඒ හැරුණාම කණගාටුදායකම කාරණය වෙන්නේ වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මේ එළවලු පලා වර්ග සඳහා කෘමිනාශක මාත්‍රාව ඉක්මවා යෙදීම. ඒ වගේම තමයි වෙළදපොළට යවන්නට නෙළා ගන්නට දින කිහිපයකට කලින් පවා විවිධ ආකාරයේ කෘමිනාශක ඉසීම. ඉතින් අද අපි ආහාරයට ගන්නා එළවලු පලතුරු පලා ආදී සෑම ආහාරයකටම අසීමිත ලෙස කෘමිනාශක යොදා තියෙනවා. ඒ නිසාම ඒවා ආහාරයට ගන්නා ජනතාව නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.
ඒ නිසා ආහාර වෙළදපොලෙන් මිලට ගන්නවාට වඩා තමන්ගේ නිවසේ වගාකර ගැනීම වඩාත් සුදුසුයි. නමුත් කාර්යබහුලත්වයත් සමඟ ඒ කාර්ය සඳහා ඉඩක් නොලැබීම නිසා කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා හැමෝම මේ වස විස සහිත ආහාර අනුභවයෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. නමුත් අප අවට පරිසරයෙන් වස විසෙන් තොරව ලබාගත හැකි ගුණයෙන් ඉහළ ආහාර වර්ග ඕනෑ තරම් තිබුණත් ඒ ගැන වැඩිදෙනෙක් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් අපි අද කියන්න සූදානම් වෙන්නේ බයක් නැතිව ආහාරයට ගන්නට හැකි වස විස නැති එවැනි එළවලු කිහිපයක් පිළිබඳවයි.

කොස් කොස් කියන්නේ බත් වෙනුවට කදිම ආදේශකයක්. අදටත් බයක් නැතිව ආහාරයට ගන්නට හැකි කොස් පොළොස් වශයෙන් වගේම ඉදුණු පසුව වැල වරකා වශයෙනුත් ආහාරයට ගන්නවා. කාබෝහයිඩ්රේට් බහුල විටමින් සහ ඛනිජ සපිරි ශක්තිජනක ආහාරයක් විදියට මේ කොස් අපේ ආහාරවේලට ඉතාම වැදගත් වෙනවා. අපේ පැරැන්නන් ලෙඩක් දුකක් නැතිව දීර්ඝ කාලයක් ජීවත් වුණේ මේ කොස් පොළොස් වගේ ස්වභාදහමෙන් අපිට දායාද කරදීපු ගුණයෙන් ඉහළ ආහාර අනුභව කිරීමෙන්. කොස් ගසට කුමන අවස්ථාවකදීවත් කෘෂි රසායන භාවිතා නොකරන නිසා බයක් නැතිව ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. නමුත් වෙළදපොලේ කපා සුද්ධ කරන ලද කොස් හාර්පික් මිශ්‍ර ජලයෙන් සෝදා අලෙවි කරන අවස්ථා නැතුවාම නොවෙයි.ඒ නිසා වෙළදපොලෙන් එවැනි කපන ලද කොස් මිලට ගැනීමේදී ඔබට තරමක් සැලකිලිමත් වන්නට සිදු වෙනවා.
මුරුංගා මුරුංගා ශාකය වියළි කලාපයේ බහුලව දකින්නට ලැබුණත් ඕනෑම ප්‍රදේශයක වැවෙන ගුණයෙන් ඉතාම ඉහළ ශාකයක්. මුරුංගා කරල් සහ පත්‍ර ආහාරය පිණිස අප භාවිතයට ගන්නවා. කැලරි අඩු තන්තු බහුල මුරුංගාවල විටමින් සහ ඛනිජ ලවණත් බොහොමයක්ම අඩංගු වෙනවා. රෝග 300 ට වඩා වැඩි ප්‍රමාණයකින් වැළකී සිටින්නට මුරුංගා හරිම වැදගත් වස විස නැති එළවලුවක්.
බිලිං ඉබේ හැදෙන බොහෝදෙනෙක්ට වටිනාකමක් නැති ආහාරයක් තමයි බිලිං කියන්නේ. විටමින් C බහුල බිලිං ගෙඩි කල්තබාගෙන අවාරයට ආහාරයට ගන්නටත් පුළුවන්.ලෙඩරෝගවලින් ආරක්ෂා වෙලා ජීවත් වෙන්නට මේ බිලිං අපේ ආහාරයට එකතු කරගන්නට හැකි වස විස නැති අපූරු ආහාරයක්. අච්චාරු ලෙසට වගේම හාල්මැස්සන් ආදිය එකතු කර බැදුමක් ලෙසටත් රසවත්ව ආහාරයට ගන්නට හැකි මේ බිලිං අව්වේ වියළා තබා ගන්නත් පුළුවන්.
මඤ්ඤොක්කා කෘෂි රසායන භාවිතයකින් තොරව වගා කරන්නට හැකියාව තියෙන මඤ්ඤෝක්කා ශාකයේ අල වගේම කොළත් ආහාරය පිණිස යොදා ගන්නවා. මඤ්ඤෝක්කාවල ඇති විෂ ඉවත් වෙන ආකාරයට ඒවා පිළියෙල කර ගන්නත් විශේෂ ක්‍රමවේද පවතිනවා. ඒ ක්‍රම අනුව ආහාරයට ගන්නට හැකි මේ මඤ්ඤොක්කා අපේ පැරැන්නන්ගේ නිවෙස්වල නිතරම වගේ ආහාරයට එකතු කරගත් දෙයක්. නමුත් අද වැඩි ඵලදාවක් උදෙසා ඒ සඳහා රසායනික පොහොර භාවිතා කරන නිසා වෙළදපොලෙන් මිලට ගන්නා මඤ්ඤෝක්කාවල යම් යම් වස විස අඩංගු වෙන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ ගෙවත්තේ මඤ්ඤොක්කා දඩු කිහිපයක් පහසුවෙන් වගා කරගෙන ආහාරයට ගන්නට පුළුවන්.
දෙල් කාබෝහයිඩ්රේට් බහුලව අන්තර්ගත වෙන ගුණයෙන් ඉහළ තරමක් උෂ්ණ ආහාරයක් ලෙසටයි මේ දෙල් සලකන්නේ. නමුත් ගමේ අය වගේම නගරයේ උදවියත් ඉතාම ආසාවෙන් ආහාරයට ගන්නා කෑමක්. ආකාර බොහොමයකට පිළියෙල කර රස බලන්නට හැකියාව තිබෙන දෙල් කෘෂි රසායනවලින් තොර ආහාරයක් නිසා අනුභව කරන්නට බිය විය යුතු නැහැ.

නෙළුම් අල හා ඕලු දඩු පෝෂණ ගුණයෙන් ඉහළ තන්තු බහුල නෙළුම් අල වැව් ආශ්‍රිතව හැදෙනවා. ලෙඩ රෝග බොහොමයකට ගුණදෙන නෙළුම් අල සහ ඕලු දඩුවලට කෘෂි රසායන එකතු නොකළත් ඒවා ලබා ගන්නා පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. කර්මාන්තශාලාවක් ආශ්‍රිත ජලාශයකින් එය ලබා ගන්නේ නම් බැර ලෝහ ඒවායේ අන්තර්ගත වීමේ අවදානමක් තිබෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
කෙසෙල් මුව වැඩි දෙනෙක් කන්නට අකමැති නමුත් ගුණයෙන් ඉතා ඉහළ සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් තමයි කෙසෙල් මුව. මේවා සඳහා කෘෂි රසායන භාවිතා නොකරන නිසා වස විස අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා වස විස රහිත ආහාරයක් ලෙසට කෙසෙල් මුව අපිට ආහාරයට ගන්නට පුළුවන්.
- කොහිල
- කිරි අල
- අමු ගස්ලබු
- කෙසෙල් බඩ
- කොස් දෙල්
- කිරි අල
- දංදීනල
- කෝවක්කා
- කිරි අල්
- හුලංකීරීය
- ගස් නිවිති
මේ සඳහන් කළ ආහාර වගේම මෙහි සඳහන් නොවන බොහොමයක් වස විස රහිත ආහාර අපේ පරිසරයේ පවතිනවා. නමුත් අපි බොහෝදෙනෙක් පහසුවෙන් එළවලු පලතුරු වෙළදපොලෙන් ලබා ගන්නටයි උත්සාහ කරන්නේ. නමුත් පහසුවට වඩා ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ නීරෝගි බව ගැන සිතුවොත් ඔබ අවට ඉබේ හැදෙන ගුණයෙන් ඉහළ ආහාර ලබා ගන්නට පෙළඹේවි. නමුත් බොහෝදෙනෙක් ගමේ ඉබේ හැදෙන වැඩෙන ආහාරවලටත් රසායන යොදන්නට පෙළඹෙන නිසා ඔබට අවශ්‍ය ආහාර විශ්වාසවන්තව ඔබම වගා කර ගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ.