අද වෙද්දි ජංගම දුරකථනය, පරිඝණය, රූපවාහිනිය කියන්නේ අපේ ජීවිතය සමඟ ඉතා සමීපව බැඳිලා තියෙන උපාංග. මේ උපාංග සමඟ නිතර ගැටෙන බොහෝදෙනෙක්ට බෙල්ල ආශ්‍රිතව වේදනා කැක්කුම් හටගැනීම බහුල තත්ත්වයක්. ඒ හැරුණාම වෘත්තීමය වශයෙන් ලේඛකයෙකු ලෙස කටයුතු කරන හෝ බර උසුලන අයටත් බෙල්ල ආශ්‍රිතව වේදනාවන් ඇති වෙන්නට පුළුවන්. මේ හේතු මත ඇතිවන බෙල්ලේ වේදනාව වැරදි ඉරියව්වකින් වැඩි වේලාවක් ගත කිරීම නිසා ඇතිවන තත්ත්වයන් විදියට සඳහන් කරන්නට පුළුවන්. නමුත් මේ හේතුවලට අමතරව කශේරුකා එකිනෙක සම්බන්ධ වන අස්ථි අතර ඇතිවන ආතරයිටීස් රෝගය ,පිළිකා වර්ගයේ ගෙඩි, ක්ෂය රෝගය ,අනතුරක්, මොළේ උණ ,කශේරුකා මණ්ඩලය තුළට විෂබීජ ආසාදනය වීම ආදී හේතු ද බලපාන්නට පුළුවන්.
ඉතින් යම් අවස්ථාවක ඔබට බෙල්ලේ වේදනාවක් පවතිනවා නම් සහ බෙල්ලේ වේදනාව සමඟ අත් පා ඇඟිලි හිරි ටීම , ක්ලාන්තය, උණ, හිසරදය,බෙල්ලේ වේදනාව කොන්ද දක්වා පැතිරයාම ආදී තත්ත්වයන් නැත්නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී අදාල පරීක්ෂණවලට යොමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි. නමුත් එවැනි දරුණුම ඝනයේ වේදනාවක් හෝ ඉහත සඳහන් කළ ලක්ෂණ නොමැතිව ඇතිවන සාමාන්‍ය බෙල්ලේ වේදනාවක් සුවකර ගන්නට නිවසේදී කළ හැකි යම් යම් ප්‍රතිකර්ම පවතිනවා. ඉතින් අද බොහොදෙනෙක්ට බෙල්ලේ වේදනාවක් ඇති වෙන්නේ වැරදි ඉරියව් නිසාවෙන් නිසා ඒ වේදනාව සමනයට නිවසේදී ප්‍රතිකර්ම කරන්නට පුළුවන්. ඒ නිසාවෙන් අද අපි ඔබට කියන්නට යන්නේ බෙල්ලේ වේදනාවක් නිසා පීඩා විදින අයෙකුට නිවසේදී කළ හැකි පිළියම් මොනවාද කියන කාරණය පිළිබඳවයි.

- අයිස් කැටවලින් තවන්න.අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක ඔතා බෙල්ලේ වේදනා සහිත ප්‍රදේශය විනාඩි 20 ක් පමණ තවන්න. එමගින් වේදනාව ක්‍රමයෙන් අඩුවී යනවා.
- උණුසුම් ජලයෙන් වේදනාව සහිත ප්‍රදේශය තවන්න.මේ සඳහා උණු ජලයේ විනාඩි 20 ක් පමණ ගිලී සිටීමත්, උණු ජලයෙන් ස්නානය කිරීමත් හෝ උණු ජලය පිරවූ බෝතලයකින් තැවීමත් සිදුකළ හැකියි.එසේ නැත්නම් උණු ජලය පෙගවූ තුවායකින් බෙල්ල තවන්න.
- එප්සම් ලුණු ස්නානය කරන්න එප්සම් ලුණු ස්නානයෙන් මාංශපේශීවල ඇති ආතතිය අඩුකර මාංශපේශී ලිහිල් කිරීමට ක්‍රියා කරනවා. එමගින් බෙල්ල ආශ්‍රිත වේදනාවන් වගේම ප්‍රදාහයන් ද සුවපත් කර ගන්නට පුළුවන්.මේ සඳහා මද උණුසුම් ජලයට එප්සම් ලුණු කෝප්ප 2 ක් එකතු කර බෙල්ල ප්‍රදේශය විනාඩි 15-20 අතර කාලයක් ජලයේ පොගවා ගන්න. මෙය දිනපතා නැවත නැවත කිරීමෙන් වේදනාව සමනය කර ගන්නට පුළුවන්.
- ඇපල් සයිඩර් විනාකිරිවලින් තවන්න ඇපල් සයිඩර් විනාකිරිවල පෙගවූ තුවායක් බෙල්ලේ වේදනා සහිත ප්‍රදේශයේ පැයක පමණ කාලයක් තබන්න. එය දිනකට දෙවරක් දිනපතා දින කිහිපයක් කළ යුතුයි.
- පෙපර්මින්ට්,තෙල්, රෝස්මරී තෙල්, සුදු හදුන් තෙල් ආදී තෙල් වර්ගවලින් එක් තෙල් වර්ගයක් ගෙන ආලේප කර බෙල්ල හොඳින් සම්බාහනය කරන්න.
- සර්වයිකල් කොලරයක් පළදින්න.මෙවැනි කොළරයක් පැළදීමෙන් හිසේ බර කොඳු ඇට පෙළ දිගේ පරිවහනය අඩුකර නිකට හරහා පර්ශු කූඩුව තුළට ගමන් කරවිය හැකියි. ඒ නිසා අන්තර් කශේරුක මඩලවලට යෙදෙන පීඩනය අඩුවී ඒවාට අපහසුවක් දැනෙන අතර තෙරපීමත් අඩුවෙනවා.නමුත් මෙවැනි කොලරයක් දිර්ඝකාලයක් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. කොලරයක් දීඝකාලීනව දැමීමන් සහ මාංශපේශී දුර්වලවීමක් සිදු වෙන්නට පුළුවන්. යම්විටෙක මේ කොලරයක් දීර්ඝකාලීනව පළදින්නේ නම් අනිවාර්යයෙන් බෙල්ල අවට මාංශපේශීන් ශක්තිමත් කරන ස්ථිති ව්‍යායාම සිදුකළ යුතු වෙනවා.

බෙල්ලේ වේදනාව අඩුකර ගන්නට පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ඉරියව් පවත්වා ගන්න.
- පුටුවක වාඩිවී සිටින විට සෑම විනාඩි 15 ට විනාඩියක් නැගිටින්න.
- දිගුවේලාවක් බෙල්ල පහළට නවාගෙන සිටින කටයුතුවලින් ඉවත් වෙන්න.එකම ඉරියව්වෙන් බෙල්ල එකදිගට නවාගෙන හෝ ඉහළට ඔසවා තබා ගැනීම හෝ නොකර සිට වරින් වර බෙල්ලේ ඉරියව් වෙනස් කරන්න.
- නිතර පොත් කියවන්නෙකු නම් පොත තම ඇස් මට්ටමට ගෙන කියවන්න.
- බර බෑග් පිටේ දමාගෙන යාම අඩු කරන්න
- කොට්ටයක් නොමැතිව නිදා ගන්න. අවශ්‍ය නම් පමණක් පිටත සැහැල්ලු කොට්ටයක් භාවිතා කරන්න.
- පැත්තකට හැරී නිදා ගන්නා විට උරහිස හා හිස අතර පරතරයට කොට්ටයක් තබා ගන්න
- ව්‍යායාම්වල නිරත වන්න.
මේ සඳහා හිතුමනාපෙට යම් තෝරා ගැනීම හෝ සිදුකිරීම සුදුසු නැහැ.එබැවින් ඒ සඳහා වෛද්‍යවරයෙක් හමුවී අදාල ව්‍යායාම්වල නිරත විය යුතුයි. බෙල්ලේ වේදනාව පවතින විට වේදනාව සමනය සඳහා ව්‍යායාම් කිහිපයක්ම ඔබට සිදුකරන්න පුළුවන්. නමුත් ව්‍යායාම් කිරීමේදී බෙල්ලේ වේදනාව වැඩි වන්නේ නම් ව්‍යායාම් නතර කළ යුතු වෙනවා.
මුලින්ම බෙල්ලේ මාංශපේශී ඇදීමේ ව්‍යායාම්වල නිරත විය යුතුයි. මෙහිදී උරහිස් කරකැවීම උරහිස් තද කිරීම ආදී ව්‍යායාම් ද සිදුකළ හැකියි.
පසුව නැවත බෙල්ලේ වේදනාවක් ඇති නොවන්නට මාංශපේශී ශක්තිමත් කෙරෙන ව්‍යායාම්වල නිරත විය යුතුයි. උඩ පනින හෝ බර උසුලන ව්‍යායාම්වලින් ඉවත්වීමත් ඔලුවෙන් සිට ගැනීම ආදී කටයුතුවලින් බෙල්ලේ වේදනාව අඩුකරන්නට හේතුවක් බවත් මතකයේ තබා ගන්න.
නිවසේදී මේ ක්‍රමවේද අනුගමනය කළත් එයින් සහනයක් නොලැබී ක්‍රමයෙන් බෙල්ලේ වේදනාව වැඩි වන්නේ පමා නොවී වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.