දැන්ම නවතා දැමිය යුතු බොහෝ දෙනා සිදු කරන නරක පුරුදු 2 ක්

health tips

එදිනෙදා ජීවිතයේ දී අපි කරන සෑම දෙයක්ම අහිතකර ප්‍රතිඵල ඇති නොකළත් යම් වැරදි පුරුදු නිසා  අපි නොසිතනා ආකාරයේ  හානි ඇති වෙන්නට පුළුවන්. යම් කාර්යන් පුරුද්දක් විදියට කරද්දි ඒවායින් අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව දැන සිටියත් ඒ පුරුදු අත් හරින්නට නොහැකි පිරිසකුත් අප අතර ඉන්නවා. නමුත් අපි හැමෝම අපේ ජීවිතයට ආදරෙයි.ලෙඩ වෙන්නට කැමති නැහැ. ඒ නිසාම වැඩි දෙනෙක් තමන්ගේ වැරදි  පුරුදු දැනුවත්වීමෙන්  පසු හෝ එයින් මිදී ඉන්නට කටයුතු කරනවා. ඉතින් මේ  කියන්නට යන්නේ බහුතරයක් දෙනෙක් කරන වැරදි දේවල් කිහිපයක් ගැන. නමුත් මේවායේ අහිතකර ප්‍රතිඵල ගැන නම් බහුතරයක් දෙනා තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා ඔබේ දැනුවත්භාවය සඳහා තමයි අපි අද මේ පිළිබඳව කතා කරන්නේ.

කුරුලෑ කැඩීම 

ගොඩක් තරුණ තරුණියන්ට තියෙන ගැටළුවක් තමයි කුරුලෑ හට ගැනීම. ඒ විතරක් නෙවෙයි වැදගත්  අවස්ථාවක් සඳහා සහභාගී වෙන අවස්ථාවකදී මේ කුරුලෑ මුහුණේ තිබීම ලැජ්ජාවට කාරණයක් ලෙස සිතන නිසා බොහෝඅය කරන්නේ මේ කුරුලෑ කඩන එක. නමුත් එයින් ඇතිවන භයානක ප්‍රතිඵල ගැන දන්නවා නම් ඔබ මේ  වැරැද්ද නැවත  කරන එකක් නම් නැහැ. කාලයක් යද්දි මෙය පුරුද්දක් වුණාම කුරුලෑ හොය හොයා කඩන්නට පටන් ගන්නවා. නමුත්  අපේ මුහුණේ  විවිධ කුරුලෑ ඇතිවෙන නිසා ඒවායින් ඇතැම් කුරුලෑ නිසි ක්‍රමවේදයකට අනුව කඩා  ඉවත් කරන්නට පුළුවන්. නමුත් නියපොතු භාවිතයෙන් වැරදි  විදියට හැම කුරුලෑවක්ම කඩන්නට පටන් ගත්තොත් එයින් සිදු වෙන්නේ විශාල හානියක්.

කුරුලෑ කියන්නේ අපේ  සමේ බැක්ටීරියා වර්ග ශරීරය තුළට ඇතුල් වීම වළක්වන්නට ක්‍රියාත්මක වෙන ආරක්ෂක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය සිදු වෙද්දි කුරුලෑව ඇතුලේ දියරයක් පිරිලා මතුපිට සමේ එය දැක ගන්නට ලැබෙනවා. නියපොතු භාවිතයෙන් ඒ පිටතට නෙරා  ඇති කොටස මිරිකන විට ඒ තුළ ඇති දියරය සම ඉරාගෙන එළියට පැමිණීමෙන් සමේ තුවාලයක් ඇති වෙනවා. මේ තුවාලය සුව වෙන්නත් තරමක කාලයක් ගත වෙනවා. ඉන්පස්සේ සමේ වලවල් වගේම කැලැල් විදියට ඒවා දකින්නට ලැබෙනවා.

ඒ හැරුණාම කුරුලෑ මිරිකද්දි ඇතුලේ ඇති දියරය පිටතට එනවා වගේම  කුරුලෑවෙන් සම ඇතුළට  වුණත් එය ගමන් කරන්නට පුළුවන්. එවිට ආසාදනය තවත් වැඩිවීමෙන් එය ඉවත් කරන්නට සැත්කමක් පවා සිදු කරන්නට සිදු වෙනවා. ඒ වගේම කුරුලෑවල ඇති ශ්‍රාවයන් සමේ වෙනත් ස්ථානවල ගෑවුණොත් ඒ ස්ථානවලත් මේ විෂබීජ නිසා කුරුලෑ හට ගන්නට ඉඩකඩ පවතිනවා. ඒ නිසා කුරුලෑ කඩන එක එතරම් හොඳ පුරුද්දක් නම් නෙවෙයි.

දත් බෙහෙත් ආහාරයට ගැනීම 

දත් බෙහෙත් අපි අපේ මුඛ සෞඛ්‍ය පිරිසිදුව තබා ගන්නට දත් පිරිසිදු කර ගන්නට තමයි භාවිතා කරන්නේ. නමුත් ඒ හැරුණාම තවත් අයට දත් බෙහෙත් කන එක එයාලගේ පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා.  නමුත් අපි දත් මදිද්දි  හිතාමතා නැති වුණත් දත් බෙහෙත් පුන්චි ප්‍රමාණයක් හරි අපිට ගිලෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කුඩා  දරුවන්ට මේ දේ වැඩිපුරම සිදු වෙනවා.

මේ දත් බෙහෙත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප වගේම ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප වශයෙන් වර්ග කර තියෙනවා. ඇමරිකාවේ විද්‍යාඥයන් සඳහන් කරන විදියට මේ ෆ්ලෝරයිඩ් නැති දත් බෙහෙත් අපි ආහාරයට ගත්තොත් විශාල බලපෑමක් අපේ දේහයට ඇති වෙන්නේ නැහැ. නමුත් බඩේ  කැක්කුමක් නම් මේ නිසා  ඇති වෙන්නට පුළුවන්. ෆ්ලෝරයිඩ්  ඇති දත් බෙහෙත් අපි හිතාමතාම හෝ වැරදිලා හෝ  ආහාරයට ගත්තොත් එය අපේ ශරීරයට විශාල බලපෑමක් ඇති  කරනවා. ස්වභාවික ඛනිජ වර්ගයක් වන මේ ෆ්ලෝරයිඩ් ශරීරයට ඇතුල් වීම ගොඩක් විෂ සහිත වෙනවා. 

වමනය, හිසේ කැක්කුම,  කරකැවිල්ල, බඩේ කැක්කුම වගේම දරුණු අවස්ථාවලදී හුස්ම ගැනීමේ අපහසුතා  සහ හෘදයාබාධ වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ නරක පුරුදු අත් හැරිය යුතුමයි.

ඒ වගේම බොහෝදෙනෙක්  මුහුණේ ඇතිවන කුරුලෑ, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ආදිය ඉවත් කර ගන්නට ඉතා සාර්ථක සහ පහසු ක්‍රමයක් විදියට මේ දත් බෙහෙත් භාවිතා  කරනවා. මෙවැනි පිලියම් ගැන u tube හි පවා ඕනෑ තරම් වීඩියෝ දකින්නට ලැබෙනවා. නමුත් දත් බෙහෙත් ආහාරය සඳහා හෝ ආලේපය සඳහා කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි.මේ ටූත් පේස්ට්වල බහුලවම අඩංගු වෙන්නේ කැල්සියම් කාබනේට් කියන සංයෝගය. මේ කැල්සියම් කාබනේට් කියන්නේ  හුණු ගල්. මේ වගේ දෙයක් අපේ දත් පිරිසිදු කරන්නට සුදුසු වුණත්  මුහුණේ සම ආදී  ඉතාම සියුම් ස්ථානයක් පිරිසිදු කරගන්නට භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.

අපි එතරම් නොසිතනා මේ දේවල් පුරුදු වශයෙන් ඔබ සිදු කරනවා නම් එහි ආදීනව ඔබ දන්නා නිසා ඔබත් වැළකී අන් අයවත්  දැනුවත් කරන්නට උත්සාහ ගන්න.