පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය කරන සාධකයක් විදියට පුද්ගලයෙකුගේ රූපයට වැඩි ඉඩකඩක් හිමිවෙනවා. ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා කෙනෙකු සතු ආකර්ශණීය පෙනුම සමාජය තුළ වැඩි පිළිගැනීමක් ලැබීමටත් හේතුවන කාරණයක්. ඒ නිසාම අපි හැමෝම රූප ස්වාභාවය වැඩිකරන්නට නිතරම උනන්දු වෙනවා. රූපය පිළිබඳව කතා කරද්දි කේශ කල්‍යාණිය කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනාගේම රූප සම්පත්තිය කෙරෙහි බලපාන සාධකයක්. හිසකෙස් අකලට පැසීම, ගැලවී යාම, කෙස් රළු වීම, කෙස් අග පැලීම ආදී ගැටළු රාශියකින් අද බොහෝදෙනා පීඩා විදිනවා. ඒ නිසාම විවිධ ඖෂධ ආලේපන වර්ග ආදිය භාවිතා කරමින් ඒ ගැටළුවලට පිළියම් සොයනවා. නමුත් හිසකෙස් ගැටළු ඇති වෙන්නට බලපාන හේතු පිළිබඳව බොහොදෙනා අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් යම් රෝග තත්ත්වයකට පිළියම් යොදන්නට පෙර ඒ සඳහා බලපෑ හේතු පිළිබඳව දැන සිටීම ඒ සඳහා සාර්ථක ප්‍රතිකර්ම සඳහා මනා පිටිවහලක් සපයනු ලබනවා. ඉතින් ඒ නිසාම ඔබගේ හිසකෙස් ගැලවීයාම, තට්ටය පෑදීම ආදී ගැටළුවලට බලපාන ලද හේතු මොනවාද යන්න සොයා බලමු.
සාමාන්‍යයෙන් නීරෝගි පුද්ගලයෙකුගේ හිසේ කෙස් ගස් ලක්ෂයක් පමණ පවතින අතර එයින් දිනකට කෙස් ගස් 80-100 අතර ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්.සාමාන්‍යයෙන් කෙස් ගසක් මසකට සෙන්ටිමීටර 1ක් හෝ 2 ක් පමණ ප්‍රමාණයකින් වර්ධනය වන අතර කොණ්ඩය පීරන විට පනාවට අධික ලෙස හිසකෙස් ගැලවී ඒම, ස්නානයෙන් පසුව හා නිදා ගැනීමෙන් පසුව කොට්ටය මත අධික ලෙස ගැලවී ගිය හිසකෙස් දක්නට ලැබීම, තැනින් තැන හිස් කබල පෙනෙන තත්ත්වයක් ඇතිවීම අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාමක්. විශේෂයෙන්ම දිනකට කෙස් ගස් 150 ඉක්මවා ගැලවී යාම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැමෝම වගේ පීඩා විදින කාරණයක්. ඒ සඳහා අපේ වැරදි චර්යා හා පුරුදු බොහෝසෙයින් බලපානු ලබනවා. හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු දැන සිටීම මගින් ඒවායින් වැළකීමට ඔබට හැකියාව ලැබෙන නිසා එය ඔබේ කේශ කලාපය රැක ගැනීමට විශාල උපකාරයක් වේවි.

හෝර්මෝන අසමතුලිතතාවය සාමාන්‍යයෙන් දිනකට යම් හිසකෙස් ප්‍රමාණයක් ගැලවී ගියත් එය අධික ලෙස සිදුවීමත් නැවත ඒ කෙස් වර්ධනය නොවීමත් ක්‍රමයෙන් හිසකෙස්වල ඝනත්වය අඩු වෙන්නටත් තට්ටය පෑදෙන්නටත් හේතු වෙනවා. ඒ සඳහා මූලිකව අපේ ශරීරයේ හෝර්මෝනවල අසමතුලිතතාවය බලපානු ලබනවා.
මානසික ආතතිය මානසික ආතතිය සමස්ත ශරීරයේ නිසි පැවැත්මට දැඩි ලෙස බාධා පමුණුවනු ලබනවා. ඒ වගේම එය හිසකෙස් හා ඍජුව සම්බන්ධ වීම නිසා මානසික ආතතියෙන් හේතුවෙන් ඇතිවන හිසරදය,ආහාර අරුචිය ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු හිසකෙස් ගැලවී යාමට බලපෑම් ඇති කරනු ලබනවා.
රක්තහීනතාවය හිසකෙස්වල වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමට යකඩ අත්‍යවශ්‍ය වෙනවා.යම් විටෙක ශරීරයේ යකඩ ඌණතාවයක් ඇත්නම් එය හිසකෙස් ගැලවී යාමට වගේම වර්ධනය හීනවීම කෙරෙහිත් බලපානු ලබනවා.
ත්‍රයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටළු ත්‍රයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන ත්‍රයිරොක්සීන් හෝර්මෝනය ප්‍රෝටීන් නිෂ්පාදනයට හා පටක භාවිතය පාලනය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් නියාමනය කරනු ලබනවා.ඒ අනුව ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන යම් යම් දෝෂ හිසකෙස් ගැලවී යාම කෙරෙහි දැඩිව බලපානු ලබනවා.
විටමින් B 12 ඌණතාවය මූලික වශයෙන් විටමින් B සත්ත්ව ප්‍රෝටීන හරහා පමණක් ලබාගත හැකි නිසා මේ ඌණතාවය වැඩි වශයෙන් සත්ත්ව ආහාරවලින් තොර නිර්මාංශ අයට ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. එය හිසකෙස් ගැලවීයාමට ප්‍රධාන වශයෙන් බලපාන අතර පටකවලට ඔක්සිජන් රැගෙන යන රතු රුධිර සෛලවල සෞඛ්‍යයටත් එය බලපානු ලබනවා.
ආහාර අවිධිමත් ලෙස පාලනය බර අඩු කර ගැනීම සඳහා ආහාර නොගෙන සිටීම බොහෝසෙයින් ආහාර අඩු කිරීම නිසා සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබීයාමෙන් හිසකෙස් ගැලවී යාම සිදු වෙනවා.
කොණ්ඩය සඳහා කරන රූපලාවන්‍ය කටයුතු අද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනා කොණ්ඩය සැකසීම සඳහා උනන්දු වෙනවා. ස්වභාවිකව පවතින කොණ්ඩයේ ස්වභාවය වෙනස් කරමින් කොණ්ඩය රැළි කිරීම්, දිග හැරීම, වර්ණය වෙනස් වීම ආදිය සඳහා විවිධ රසායන අඩංගු ආලේපන වර්ග ගල්වනු ලබනවා.එමගින් හිසකෙස්වලට වගේම හිස් කබලටත් බොහෝ සේ හානි සිදු වෙනවා. ඉතින් අද බොහෝදෙනා පීඩා විදින හිසකෙස් අධික ලෙස ගැලවීයාමටත් මෙය ප්‍රමුඛ හේතුවක් වෙනවා.

අවේලාවේ ආහාර ගැනීම දිරවීමට අපහසු ආහාර ගැනීම, ක්ෂණික ආහාර නිතර ගැනීම ආදී වැරදි ආහාර පුරුදු නිසා අප ලබා ගන්නා ආහාරවලින් වැඩි කොටසක් විෂ බවට පත්ව ශරීරයේ විවිධ ලෙඩ රෝග ඇති කරනු ලබනවා. මේ ආකාරයෙන් ඇතිවන විෂ කොටස් කේශ මූලයන් ආශ්‍රය කිරීම නිසාවෙන් හිසකෙස්වල වර්ධනය බාල වී හිසකෙස් ගැලවී යයි.
- සුදු කෙස් කළු කිරීමට භාවිතා කරන ඩයි වර්ග
- රාත්‍රීයේ ස්නානය
- නිතර නිතර දැඩි හිරු එළියට නිරාවරණය වීම
- අධික සීතල හා අධික උෂ්ණ දේශගුණය
- අධික ලෙස ක්ලෝරීන් අඩංගු ජලය ස්නානය කිරීම
- අධික සීතල ජලය සහ අධික උෂ්ණ ජලය ස්නානය
- ස්නානය කළ විගස තෙත පිටින් කොණ්ඩය පීරීම
- නිතර කෘතීම ෂැම්පු වර්ග භාවිතය
- නිතර කොණ්ඩය සැකසීම
- සිපිලිස් වැනි ආසාදන හා දිලීර හා බැක්ටීරියා ආසාදන
- ඔසප්වීම නතර වීම
- වයසට යාම
- හිසට සිදු කරන ශල්‍ය කර්ම
- හිසකෙස් තදට ගෙතීම
- හිසකෙස් වියළන උපකරණ මගින් හිසකෙස් වියළීම
- විවිධ ඖෂධ භාවිතා කිරීම (උපත් පාලන පෙති, පිළිකා මර්දන ඖෂධ ,ලේ කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ )
- පීනස් රෝගය
- ක්ෂය රෝගය
- ගර්භනීභාවය
අධික ලෙස හිසකෙස් ගැලවී යන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමයි සුදුසු. ඒ වගේම සමබල ආහාර වේලක් ලබා ගනිමින් දැති දුරස් පනා භාවිතා කිරීම, හිස සේදීමට සැර අඩු පිරිසිදුකාරකයක් භාවිතා කිරීමත් වැරදි විහරණවලින් වැළකී සිටීමත් ඉතා සුදුසුයි.