හිසකෙස් හැලීම එහෙමත් නැතිනම් අධිකව හිසකෙස් ගැලවී යාම කියන්නේ ගැහැණු -පිරිමි භේදයකින් තොරව කවුරුත් අසරණ කරන ගැටලුවක්. හිසකෙස් ගැලවී යාමේ ප්‍රතිඵලයක් ලෙස දවසින් දවස තට්ටය පෑදෙන එක පුද්ගලයාගේ පෙනුම වගේම ආත්මාභිමානය හා ආත්ම-විශ්වාසයට පවා හානිකරයි. තට්ටය පෑදීම බොහෝවිට පුරුෂයින් තුළ බහුලව හඳුනාගැනීමට ලැබෙන තත්වයක් කියා සිතුවත් කාන්තාවන් තුළ ද මෙම අවදානම ඉතා ඉහළ බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.
හිසකෙස් හැලීමේ රෝග තත්ව හා ඒවායේ පූර්ව රෝග ලක්ෂණ පිළිබඳවයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

අහුරු පිටින් හිසකෙස් ගැලවී යාම කෙස්කලඹ පීරන විට අහුරු පිටින් කෙස්ගස් පනාවට ගැලවී යනවාද?හිස පීරන සෑම විටම පනාවේ හෝ බුරුසුවේ අධික ලෙස කෙස්ගස් එකතු වී තිබෙයි නම්, හිස්කබල ඇඟිලි තුඬු වලින් පිරිමදින විට කෙස්ගස් ගැලවී අතට එයි නම් හෝ හිස සෝදන විට අධිකව කෙස්ගස් ගැලවී යයි නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි.නිතිපතා මැරුණු හිසකෙස් හැලීයාම සාමාන්‍යය ක්‍රියාවලියකි. එසේ කෙස්ගස් ඉවත්වන්නේ සුළු ප්රමාණයකි.නමුත් දිනෙන් දින මෙසේ ගැලවී යන කෙස්ගස් ප්‍රමාණය වැඩිවෙයි නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්.
හිස්කබලේ තැනින් තැන තට්ටය මතුවීම හිස්කබලේ තැනින් තැන කෙස්ගස් හැලීගොස් තට්ටය පෑදුණු ස්ථාන දකින්නට ලැබෙයි නම් , ඒවා දිගින් දිගටම විශාල වෙයි නම් ,එය අවදානම් සංඥාවකි. නොසලකාහැරීමෙන් සිදුවන්නේ ඔබේ හිස පූර්ණ ලෙස මුඩුවී යාම වීමට පුළුවන්.ඇතැම් විට තට්ටය පෑදී ඇති තැන් වල හිසකෙස් හැලීයාමට පෙර ඔබට සියුම් දැවිල්ලක් හෝ පුපුරුගසන ගතියක් දැනෙන්නට ඇති.හිසේ තුවාල,කැසිල්ල හෝ සම මොළොක් බව දැනෙයි දැයි පරික්ෂාකාරි වන්න.තැනින් තැන පැල්ලම් ලෙස තට්ටය මතුවීම ආසාදන තත්වයක් වන්නට ද ඉඩ තිබෙයි.එම නිසා එවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
ඇහිබැමි,ඇහිපිල්ලම් හා සිරුරේ අනෙකුත් ස්ථාන වල රෝම තුනී වීම හිස්කබලේ පමණක් නොව සිරුරේ විවිධ ස්ථාන වල රෝම හැලීයාමට පටන්ගත හැකියි.බොහෝවිට මුළු සිරුරටම බලපාන ලෙස කෙස් හා රෝම හැලීයාමට හේතුවන්නේ aloepecia areata නම් රෝග තත්වයයි.සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරේම පවතින රෝම කූප (hair follicles) වලට හානිකිරීමට පටන්ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ කෙස් හා රෝම ගැලවීයයි.ඇහිබැමි, ඇහිපිල්ලම්,කිහිලි හෝ සිරුරේ වෙනත් තැන් වල රෝම ගැලවී ගොස් පැහැදිලි හිඩැස් තැන් මතුව ඇත්දැයි පරික්ෂා කරබලන්න.
නියපොතු මත සුදු ඉරි මතුවීම නියපොතු වල වෙනස්කම් මතුවීම ඔබේ සෞඛ්‍ය තත්වය සිරුරේ රෝගාබාධ හා ඌනතා පිළිබඳ යම් යම් සංඥා ලබාදෙයි.alopecia නම් මුඩුවීමේ රෝග තත්වයේ පූර්ව රෝග සංඥා අතරින් එකක් ලෙස ද මෙය හැඳින්විය හැකියි.නියපොතු වළගැසීම,කුඩා ආවාට ඇතිවීම හෝ සුදු ඉරි හෝ පැල්ලම් නියමත මතුවීම එවැනි අවදානම් සංඥායි.විශේෂයෙන්ම හිසකෙස් හැලීයාමත් සමඟ නියපොතු ආශ්රිත මෙවැනි වෙනස්කම් අත්දකින්නේ නම් වහාම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසු වේ.
කාන්තාවන් තුළ තට්ටය පෑදීමට බලපෑ හැකි මූලික හේතුසාධක මොනවාද?
පවුල් ඉතිහාසය හිසකෙස් නැතිවීමට වඩාත් පොදු හේතුව පාරම්පරික (ප්රවේණි) හිසකෙස් හැලීයාම (hereditary hair loss) නම් වෛද්‍ය තත්වයකි. එය ඇන්ඩ්‍රොජනික් ඇලෝපසියා ලෙසද හැඳින්වේ. කාන්තාවන්ගේ හා පුරුෂයින්ගේ රටාවට හිස මුඩුවීම (pattern baldness) මෙහි ලක්ෂණයයි. ලිංග භේදය අනුව හිස මුඩු වීමේ රටාවන් අතර ද වෙනස්කම් පවතියි.පුරුෂයින් තුළ නළලේ හිසකෙස් තීරය ක්‍රමයෙන් අඩුවී පිටුපසට තට්ටය පෑදීම(receding hair line) හෝ හිසේ තැනින් තැන තට්ටය මතුවීම (bald spots) සිදුවෙයි. කාන්තාවන්ගේ හිස මුදුනේ හිසකෙස් හැලීයාමේ වැඩි ප්‍රවණතාවක් ඇත.පවුලේ සාමාජිකයින් තුළ තට්ටය පෑදීමේ තත්වය ඇත්නම් ඔබට ද ඒ බලපෑම වයස්ගත වීමත් සමඟ මතුවීමට ඉඩ තිබෙයි.
වෛද්‍යමය හේතු හා හෝර්මෝන වෙනස්කම් තාවකාලිකව හෝ ස්ථීර ලෙස හිසකෙස් හැලීයාමේ තත්වයට නොයෙකුත් වෛද්‍යමය හේතු කාරණා බලපෑ හැකියි.ගැබිනිබව,දරුප්‍රසූතිය,ආර්තවහරණය,තයිරොයිඩ් ගැටලු හා පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය එවැනි ආකාරයෙන් හිසකෙස් සිරුරේ හෝර්මෝන වෙනස්කම් වලට තුඬු දෙන හේතුසාධක කිහිපයකි.එම හෝර්මෝන වෙනස්කම් හිසකෙස් හැලීයාමට බලපෑම් කළ හැකියි.alopecia areata නම් හිස මුඩුවීමේ රෝගය, හිස්කබල ආසාදන (පණුකැවිලි මතුවීම්) හෝ ඇතැම් මානසික ආබාධ තත්වයන් නිසා හිස කැසීම, හිසකෙස් ඇදීම වගේ බලපෑම් කෙස්කලඹට ඇතිවෙයි.
ඇතැම් ඖෂධ හා සප්ලිමන්ට් වර්ග රෝගාබාධ වලට ගන්නා ඇතැම් බෙහෙත් වර්ග අතුරු ආබාධ සහිතයි.හිසකෙස් හැලීයාම එවැනි හේතුවකින් ද ඇතිවිය හැකියි.පිළිකා, ආර්තරයිටිස්ඩ්,විශාදය,හෘද ගැටලු,රක්තවාතය හා අධි රුධිර පීඩනය වැනි රෝග වලට ප්‍රතිකාර කරන ඖෂධ වර්ග භාවිතයෙන් මෙම අතුරු බලපෑම මතුවිය හැකියි.
හිස විකිරණ ප්‍රතිකාර (head radiation treatements) හිසට සිදුකරන විකිරණ ප්‍රතිකාර හිසකෙස් අධිකව ගැලවීයාමට තුඬු දිය හැකියි.ඇතැම් විට පෙර මෙන් හෝ කිසිඳු ආකාරයකින් හෝ හිසකෙස් යළි වර්ධනය නොවිය හැකියි.හිසකෙස් පැහැය හා වයනය විශාල වශයෙන් වෙනස්කම් වලට ලක්විය හැකියි.
ආතතිය අධික ආතතිය හේතුවෙන් හිසකෙස් හැලීගොස් තට්ටය පෑදීමේ අවදානම ඉහළයි.සුළු ආතති තත්වයන් නිසා හිසකෙස් හැලීයාම වගේ ගැටලු තාවකාලිකව මතුවීමට ඉඩ තිබෙයි.මාස කිහිපයකින් අනතුරුව බොහෝවිට හිසකෙස් වර්ධනය වීමේ ක්‍රියාවලිය ප්‍රකෘතිමත් වෙයි.කායික මෙන්ම මානසික ආතතීන් පීඩාවන්ට දිගින් දිගටම ලක්වීම කෙස්කලඹ සිහින් වීමට බොහෝසෙයින් බලපායි.

කොණ්ඩා මෝස්තර හා විවිධ අලංකරණ ක්‍රම හිස හා කෙස්ගස් තද වන ආකාරයෙන් යොදන කොණ්ඩා මෝස්තර නිසා ඊට දැඩි පීඩනයක් එල්ලවෙයි. කෙස්ගස් ඇදීමට ලක්වීමෙන් ඒවායේ ශක්තිය දුර්වල වී පහසුවෙන් කැඩීයයි.තදින් ගැටගැසීම, ගෙතීම හෝ තද ගුලියක් ලෙස බැඳීම එතරම් හිතකර මෝස්තර නොවේ.බ්ලීච් වගේ රසායනික ද්‍රව්‍ය හිස්කබලට හානිකරයි. blow drying, straightening වගේ කොණ්ඩා අලංකරණ ක්‍රම නිසා ද කෙස්කලඹට හානිවෙයි.මීට හේතුව ඒවායේදි භාවිත වන අධික තාපයයි.
පෝෂණය අඩුකම ආහාර පාලනය කරන විට සිරුරට ලැබෙන පෝෂණය ද සීමාවෙයි. බර අඩුකරගන්න උත්සහ කරන බොහෝ අයට මෙම ගැටලුව මතුවෙයි. තදබල ලෙස ආහාර පාලනය කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් පෝෂණය හොඳින් ලැබෙන ආහාර පාන පරිභෝජනයට එක්කරගන්න.විශේෂයෙන්ම විටමින් B, B6,B12,සින්ක්,ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල ඌනවීම හිසකෙස් හැලීයාමට තුඬු දෙයි.
විසඳුම් හා ප්‍රතිකාර මොනවාද?
minoxidil දියර හා පෙණ වශයෙන් සකසා ඇති බාහිර ආලේපන ඖෂධයක් වන මෙය හිස්කබලේ ගල්වා ඇතිල්ලීම කළ යුතුයි.ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් එකදිගට භාවිත කළ යුතුයි. Tretinoin (Retin-A), anthralin වැනි ආලේපන ප්‍රතිකාර ,corticosteroids එන්නත් ප්‍රතිකාර alopecia තත්වයන්ට ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ.නිසි වෛද්‍ය නිර්දේශයක් ලබාගෙන ඒවා භාවිත කිරීම වැදගත්.
ඊස්ට්‍රජන් තෙරපි සිරුරේ ඊස්ට්‍රජන් නියාමනය අඩුවීම හිසකෙස් හැලීයාමට හේතුවෙයි.මෙය හෝර්මෝන ප්‍රතිස්ථාපන චිකිත්සාවක් වැනියි.
ස්වභාවික ප්‍රතිකාර ලූනු යුෂ,කෝමාරිකා,පොල්තෙල් හා රෝස්මරි තෙල් වැනි සත්කාර හිස්කබලේ ගැල්වීමෙන් ද හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව සඳහන්.මෙම තෙල් වර්ග ගල්වා හිස සම්බාහනය කිරීමෙන් හිසකෙස් වර්ධනය උත්තේජනය වෙයි.
*තට්ටය පෑදීමේ ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.