හිසකෙස් අතරේ හා උරහිස මත (තද පාඅට ඇඳුම් වල)ලා කහ හෝ සුදු පැහැති කුඩු කුඩු ස්වභාවයක් දැකිය හැකිද? ඔබේ හිසෙ ඉස්හොරි ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයක් තමයි මේ. ඉස්හොරි කියන්නේ ඔබේ හිස්කබලෙන් ඉවත්වී යන මැරුණු සමටයි (සෛල).ඉස් හොරි ඇති අයගේ හිස්කබල බොහෝ දුරට කොරපොතු මතුවි , රතු පාටට හැරුණු හා කසන සුලු ස්වභාවයක් ගනියි.හිස කසන විට හෝ අතුල්ලන විට මෙම සුදු කුඩු හිස්කබලෙන් ඉවත් වී නළලට, උරහිස් මතට හා කෙස්කලඹේ පහළට හැලෙයි.
ඉස්හොරි ඇති වීම නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි. කොච්චර කැමති වුණත් තද පැහැති ඇඳුමක් අඳින එක පවා මේ ඉස්හොරි කරදරය නිසා අපහසු වී තිබෙනවා. ආයුර්වේදයට අනුව ඉස්හොරි හටගන්නේ සිරුරේ වාත,පිත හා සෙම දොස් කිපුණු විටය.ආයුර්වේදයේ එන ඉස් හොරි සඳහා වන සරල පිළියම් ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නට සූදානම.

කොහොඹ කොළ-ආයුර්වේදයේ එන සර්වරෝග නිරාවරණ ඖෂධයක් ලෙස සැලකෙන කොහොඹ කොළ ඉස් හිරි මර්දනයට ද එක සේ ගුණ දෙන පිළියමක්.බැක්ටීරියානාශක මෙන්ම දිලීරනාශක ගුණය ද මේවායේ බහුලයි.රෝගකාරකනසන ගුණය ද ඇති නිසා ආසාදන වලින් සිරුරට හොඳ ආරක්ෂාවක් ලැබේ.කොහොඹ කොළ සාරය හිස්කබලේ විෂබීජ නසයි.එහි සම ආශ්‍රිත කැසිල්ල හා අපහසුතා දුරලයි.
කෙස්කලඹට කොහොඹ කොළ භාවිත කළ හැකි ආකාර:
- හිසසෝදා අවසානයේ කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් හිස සෝදන්න.
- කොහොඹ දළු වලට මුදවපු කිරි මේස හැඳි 1ක් පමණ දමා මිශ්‍ර කර හිස්කබලේ ගල්වා මෘදුව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් හිස සෝදන්න.
උළුහාල් ඇට ඉස් හොරි වලට එරෙහි ප්‍රබල ආයුර්වේද පිළියමක් ලෙස උළුහාල් හඳුන්වන්නට හැකියි.උළුහාල් මඟින් හිස්කබලේ ඇති කරදරකාරී පොතු වැනි සුදු පැහැති කොටස් ඉවත්කර දමයි.උළුහාල් මේස හැඳි 1ක් පමණ වතුර බඳුනකට දමා පියනකින් වසා රැයක් පුරා පෙඟෙන්නට හරින්න.පසුදා එම ඇට ටික පෙරාගෙන හොඳින් අඹරාගන්න.ඊට මුදවපු කිරි සහ ත්‍රිඵලා සංයෝගයෙන් (අරළු,බුළු,නෙල්ලි) තේ හැඳි 1ක් දමා මිශ්‍ර කරන්න. හිස්කබලේ මෙය ආලේප කර ඇඟිලි තුඬු වලින් මෘදුව සම්බාහනය කරන්න.පැයක් පමණ හිසේ රැඳෙන්නට තබා හිස සෝදා පිරිසිදු කරගන්න.
පොල් තෙල් + ලෙමන් යුෂ-පොල් තෙල් මේස හැඳි 2ක් පමණ මදක් රත්කරගන්න.ඊට ලෙමන් මේස හැඳි 1ක් පමණ එක්කරන්න.රත්කරගත් මෙම තෙල් මිශ්‍රණය හිස්කබලේ හොඳින් ගල්වා ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.සවස් කාලයේ ආලේප කර පුරා රැයක් පමණ තිබෙන්නට හැර පසුදා උදෑසන ස්නානය කර හිස පිරිසිදු කරගැනීම වඩාත් ප්‍රතිඵල සහගත වේවි. සතියකට එක්වරක් බැගින් නිතිපතා සති කිහිපයක් මෙය කරන්න.ස්නානය කිරීමට පැය 2කට කලින් මෙම සත්කාරය කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඔබට කෙටි කලක් තුලදීම අත්කරගත හැකිවේවි.
පොල් තෙල් වල ඇති තෙතමනකාරක ගුණය හිස්කබල වියළීම වළකයි.එමෙන්ම හිස්කබලේ කසනසුලු බව දුරුකරයි. ලෙමන් වල අඩංගු විටමින් C සහ සින්ක් පෝෂක ඉස් හොරි වලට එරෙහිව සටන් කරයි.මේවායේ දිලීරනාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා බහුලයි. එම නිසා සම ආසාදනය වීමෙන් වළකයි.

කෝමාරිකා-ආයුර්වේදයේ එන ජනප්‍රියතම පිළියමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.කෝමාරිකා ජෙල් හෝ මද වලින් කෝප්ප 1ක් සහ එඬරු තෙල් මේස හැඳි 1ක් එකට දමා හොඳින් කළවම් කරන්න.හිසකබල මත මෙම තෙල් ආලේප කර මෘදුව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.පුරා රැයක් පමණ තිබෙන්නට හැර පසුදා උදෑසන සෝදා හැරීම හෝ ස්නානය කිරීමට පැය 2කට පමණ කලින් මෙම සත්කාර කිරීම වඩාත් යෝග්‍යයි.සතියට එක්වරක් බැගින් සති කිහිපයක් කරන්න.කෝමාරිකා වල සිසිලන ගුණය හිස්කබලේ කැසිල්ල, වියළි බව දුරලයි.හිස්කබල සුවකරමින් ඒ මත ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි.
නෙල්ලි-නෙල්ලි වල විටමින් C ඉතා බහුලයි.බැක්ටීරියානාශක ගුණයෙන් ද යුක්ත නිසා හිසකබල ආසාදන වලින් සුරකියි. තුල්සි කොළ හෙවත් බැසිල් (හීන් මදුරුතලා) කොළ සමඟ මිශ්‍ර කර භාවිත කිරීමෙන් වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිලාභ හිස්කබලට ලබාගත හැකිවේවි.
වියළි නෙල්ලි කුඩු මේස හැඳි 2ක් සහ අව්වේ වියළා කුඩු කරගත් තුල්සි කොළ තේ හැඳි 2ක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න.මෙය හිස්කබලේ ගල්වා පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න.පසුව හිස මෘදු ෂැම්පු වර්ගයක් ගල්වා වතුරෙන් සෝදාහරින්න.