සිරුර ආතතියට පත්වී ඇති බව හඟවන ලක්ෂණ 6 ක්

health tips

කාලයක් තිස්සේ ඔබේ සිතට වද දෙන දෙයක් ගැන සිතමින් සිටීම නිසා ඔබේ මානසික සෞඛ්‍යය මෙන්ම කායික සෞඛ්‍යයත් පිරිහීමට ලක් වී තිබෙන්න පුලුවන්. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට නිතරම මනසේ නොසන්සුන් බවක්, ආතතියක් සහ කායික වශයෙන් තෙහෙට්‍ටුව සහ පීඩාවක් දැනීම අරුමයක් නොවේ. නමුත්, ඒවා තුලින් ඔබේ සෞඛ්‍යය ඔබ නොහිතන ලෙස පරිහාණියට පත්වේ. වෛද්‍යවරුන් පවසන ආකාරයට ආතතිය විවිධ රෝගාබාධ වැලඳීමට ප්‍රධාන හේතු සාධකයකි. අපගේ සිරුරට ආතතිය දරාගත නොහැකි අවස්ථාවල ඒ බව විවිධ ලක්ෂණ මඟින් පෙන්නුම් කිරීමට පටන්ගනියි.  ඔබේ සිරුරේත් මෙවැනි ලක්ෂණ පහළ වී ඇත්නම් ඔබේ සෞඛ්‍යය තත්වය පිලිබඳව වඩාත් හොඳින් සැලකිලිමත් වීමට කාලය බව මතකතබාගන්න.

  1. දත් මිටි කෑම

දත් මිටි කෑමට බලපාන ලොකුම හේතුවක් වන්නේ ආතතියයි.දහවලේ හෝ රාත්‍රියේ නින්දේදි පවා ඔබ නොදැනුවත්වම දත් විකාගෙන සිටීම හෝ දත් මිටි කෑම සිදුවිය හැකියි.පසුදා අවදිවන විට හණු වල තැල්මක් මෙන් දැනීම ඔබ නින්දෙන් දත් මිටි කන බවට පෙන්නුම් කරන සංඥාවක්.ඇතැම් විට කාලයක් ගත වන විට පෙරට වඩා දත් ගෙවී ගොස් කොට වී ඇති බවක් ඔබට දකින්නට ලැබිය හැකියි.mouth guard එකක් පැලඳීම හෝ දන් චිකිත්සක ප්‍රතිකාරයක් ගැනීම වඩාත් සුදුසුය.

  1. නිතරම අධික ලෙස දහඩිය දැමීම

විවිධ හේතු නිසා සිරුරෙන් දහඩිය පිටවෙනවා: උදාහරණ ලෙස ව්‍යායාම කිරීම, වැඩකිරීම,අධික උණුසුම් උෂ්ණත්වයට නිරාවරණය වීම… ඇතැම් විට ජීවිතයට තර්ජනයක් ඇති බව මොළය වටහාගැනීමත් සමඟ සිරුරේ මෙවැනි ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා.නමුත්, ඔබට නිතර නිතර එක දිගට දහඩිය දමයි නම්, ඔබ අධික කාංසාවකින් පෙළෙන බවට මෙය සංඥාවක් විය හැකියි.සාමාන්‍යයෙන් සිරුරේ ජලය වැඩියෙන් බැහැර කෙරෙන්නේ වකුගඩු හරහායි.නමුත්, අප කරදරයකට පත්ව සිටින විට අපේ සිරුරේ සටන් කිරීම හෝ පලායාම (fight-or-flight response) නම් යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අපේ ආත්මාරක්ෂාව සලසාගැනීමට මේ දෙකෙන් කුමන වරණය ‍තෝරාගත්ත ද , ඒ අතරතුර වැසිකිළි භාවිත කිරීමට අවශ්‍ය නොවන ලෙස අපේ සිරුරෙන් ජලය බැහැර කිරීම සම හරහා සිදුවීමට පටන්ගන්නවා.මේ නිසා සිරුරට අධිකව දහඩිය දැමීමට පටන්ගනියි.

  1. වෙනදාට වඩා වැඩියෙන් හිසකෙස් ගැලවීයාම

ස්නානය කරන විට නාන කාමරයේ බිම හෝ කොණ්ඩය පීරන පනාවේ අධිකව හිසකෙස් ගැලවී පැටලී තිබෙනවා දකින්නට ලැබෙයි නම්, මෙය ඔබ ආතතියෙන් පෙළෙන බව පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.ඇතැම් විට ඔබ අසිහියෙන් හෝ නොදැනුවත්වම ඔබේ කොණ්ඩය අවුල් කරගැනීම හෝ හිසකෙස් අතින් ඇද කැඩීම සිදුකළා වන්නට ද පුළුවන්.මානසික නැතිනම් චිත්තාවේගීය වශයෙන් ඇතිවන කලබලකාරී ගතිය හිසකෙස් වල වර්ධන චක්‍රයට බාධා කරමින් අඩපණ කරවයි.බොහෝ විට ආතතීය යමක් මෑතකදී සිදුනොවුණා විය හැකියි. නමුත් ආතතීය සිදුවීමකින් සති 6-12ක් පමණ ගෙවී ගිය පසුව ද මෙවැනි ගැටලුකාරී ප්‍රතිඵල අත්දැකීමට සිදුවිය හැකිය.

  1. රතු ලප හෝ පැල්ලම් ඇතිවීම

ඔබ ආසාත්මිකතාවලින් පෙළෙන අයකු නොවූවත් ඔබේ සමේ බිබිලි ලප කැලැල් මතුවන්නේ, බොහෝ විට ඔබ මානසිකමය වශයෙන් ගැටලුකාරී තත්වයක සිටින නිසා විය හැකියි.ඇතැම් විට ආතතිය නිසා කටේ තුවාල හා රතු ලප පවා ඇති විය හැකියි.මානසික සෞඛ්‍යට බලපෑම් ඇතිවූ ආකාරයේ දේවල් අත්දැකීමත් සමඟ පුද්ගලයාගේ සිරුරේ ඇතැම් රසායනික ද්‍රව්‍ය නිකුත් වීමට පටන්ගන්නවා.සිරුරේ වෙනත් ක්‍රියාකාරීත්වයන් කෙරෙහි එහි ප්‍රතිචාර දැක්වීම වෙනස්වීමට මේවා බලපානු ලබයි.

  1. නිතර ඇස් කෙවෙන ගතියක් දැනීම

ආතතිය හේතුවෙන් ඔබේ මොළයට හා මුහුණේ මාංශ පේශී වෙත අසාමාන්‍ය සංඥා නිකුත්වීමට පටන්ගනියි.එහි ප්‍රතිඵලයක් ලෙස පාලනය කරගත නොහැකි ලෙස පුද්ගලයාගේ ඇස් කෙවෙන්නට පටන්ගනියි.ඔබේ ඇස් වල යටි ඇහිපිය හෝ දුර්ලභ ලෙස උඩු ඇහිපිය අනිච්ඡානුගව (ඉබේම) ගැස්සීමට නැතිනම් චලනය වීම සිදුවෙන බවක් ඔබට දැනිය හැකියි.මෙසේ ඇස් වල කෙවෙන ගතිය සති කිහිපයක් හෝ මාස ගණනක් පුරා පැවතිය හැකි තත්වයන් ද ඇත.

  1. නිතරම කට වියළීම

ලුණු අධික කිසිවක් ආහාරයට නොගත්තත් නිතරම එකදිගට වාගේ ඔබට පිපාසය දැනෙනවා නම්, ඔබේ චිත්තාවේගීය සෞඛ්‍ය ගැන වඩාත් හොඳින් අවධානය යොමුකරන්න.දිගු කලක් තිස්සේ පවතින ආතතිය ඔබේ ඛේට ග්‍රන්ථි අවහිර වීමට තුඬු දෙන අතර එම හේතුවෙන් හැමවිටම කට වියළී ගිය ස්වභාවයක් ගනියි.මෙසේ අධික ලෙස විජලනයට පත්ව ඇති නිසාම යමක් ගිලීමට පවා ඔබට අපහසු විය හැකියි.