ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් වුණාට අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ ලස්සන වැඩි කරගන්නට. ලස්සන ගැන කතා කරද්දි සමේ පැහැය පිළිබඳව අපි වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. හැමකෙනෙක්ම වගේ පැහැපත් සමකට කැමතියි. සමේ පැහැපත් බව තීරණය වෙන්නේ මෙලනින් කියන වර්ණකය අනුව. ඉතින් ඔබේ සම සුදු හෝ තලෙලු සමක් වුණත් හිරු එළියට නිරාවරණය වීම මත තිබුණු පැහැයට වඩා සමේ අවපැහැවීම් ඇති වෙන්නට පුළුවන්. එසේ අඳුරු පැහැයක් ගන්නා සම නැවත යථා තත්ත්වයට පත්වෙන්නට සති දෙකක පමණ කාලයක් හෝ මාසයක පමණ කාලයක් ගත වෙන්නත් පුළුවන්.ඉතින් එවැනි තත්ත්වයන් නිසාවෙන් කනස්සල්ලට පත්වෙන ඔබට සම නැවත යථා තත්ත්වයට පත්කර ගන්නට අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් තමයි මේ කියන්නට සූදානම් වන්නේ.

මී කිරි සහ දෙහි මේ සත්කාරය සඳහා මිශ්‍රණය සකසා ගැනීම ඉතා පහසුයි. මී කිරි ස්වල්පයක් ගෙන එයට දෙහි බෑයක යුෂ එකතු කරන්න. ඉන්පසු හොඳින් බීටරයක් ආධාරයෙන් මිශ්‍ර කරගන්න. එවිට මදක් ඝන මිශ්‍රණයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඉන්පසු මෙය හොදින් වසා පැය 6 ක කාලයක් තබා ගන්න .පසුව අව්වට කළු වුණ ස්ථානවල මෙය ඝනකම් තට්ටුවක් ලෙස ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර මෘදු සබන් වර්ගයක් භාවිතා කර සෝදා හරින්න. දිනපතා මේ සත්කාරය දින 5 ක් පමණ කිරීමෙන් අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත්කර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
පාන් කුඩු සහ ලෙමන් යුෂ පාන් කුඩුවල ඇති රළු බව මෙහිදී සමට ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරන අතර ලෙමන් ස්වාභාවික බ්ලීචින් එකක් ලෙසත් මෙහිදී ක්‍රියා කරනවා. ඒ නිසා එකතු වූ මෙලනින් ක්‍රමයෙන් විසුරවා හැර සම යථා තත්ත්වයට පත් කරන්නට මේ සත්කාරය ඔබට යොදා ගන්නට පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට පාන් කුඩු ලබාගෙන හොඳින් අතින් පොඩිකර තද දුඹුරු පැහැයක් ගන්නා තුරු බදුනකට දමා රත්කර ගන්න. මෙය නිවුණු පසුව ලෙමන් යුෂ එකතු කරමින් ඝනකම් තලපයක් ලෙස සකස් කරගන්න.පසුව මේ මිශ්‍රණය අතින් ගෙන අවපැහැ ගැන්වූ සමේ තදින් අතුල්ලා සෝදා හරින්නට පුළුවන්. නැවත ඒ තැන්වල ඝනකම්ව මෙය ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න. මේ ක්‍රමවේදය දිනපතා දවස 2 ක් 3 ක් සිදු කිරීමෙන් අවපැහැ ගැන්වුණු සම නැවත යථා තත්ත්වයට පත් කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
අර්තාපල් යුෂ හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ වී ඇත්තේ මුහුණ නම් එය නැවත යථා තත්ත්වයට පත් කරගන්නට හැකි හොඳම සත්කාරය වෙන්නේ මේ අර්තාපල් යුෂ සත්කාරයි. මේ සඳහා අර්තාපල් අලයක් පොතු ඉවත් කරගෙන එය සිහින්ව ග්‍රේට් කරගෙන පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන පොට්ටනියක් සේ සකස් කරගන්න.එය හොඳින් මිරිකා යුෂ ගෙන මිරිකා ගත් පොට්ටනිය නැවත ජලයේ පොගවා යුෂ මිරිකා ගන්න. ඉන්පසු රෙදි කැබැල්ලක් මේ යුෂවල පොගවා අවපැහැ ගැන්වුණු සමේ මද වේලාවක් අතුල්ලා නැවත ඒ යුෂවලින්ම මුහුණ සෝදා පිසදා නොගෙන වියළෙන්නට ඉඩ හරින්න. විනාඩි 15 ට පසු නැවත සෝදා හරින්න.
සඳුන් කුඩු සහ තක්කාලි යුෂ සමේ එක්රැස්වන මෙලනින් විසුරුවා හැරීමට තවත් සාර්ථක සත්කාරයක් තමයි එය වියෝජනය වීමට ඉඩ ලබාදීම . තක්කාලි යුෂ මගින් මෙය සාර්ථකව සිදුකර ගන්නට හැකියාව ලැබෙනවා. තක්කාලිවලට තද රතු පැහැයක් ලබාදෙන්නට හේතුවෙන කැරටිනොයිඩ් කියන ප්‍රතිඔක්සිකාරකය ජෛව අයන ක්‍රියාවලියක් හරහා එකරැස් වූ මෙලනින් වියෝජනය වීමට සලස්වනවා.
මේ සඳහා ඉතා හොඳින් ඉදුණු තක්කාලී ගෙඩි දෙකක් ගෙන සෝස් මෙන් ඒකාකාරී ද්‍රාවණයක් වනතුරු බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට සඳුන් කුඩු මේස හැන්දක් එකතු කර නැවත හොඳින් මිශ්‍රකර ගන්න. මේ මිශ්‍රණය සමේ කළු වී ඇති ස්ථානවල හොඳින් ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න. මෙය බොහෝවිට එක් වරක් සිදු කිරීමෙන් පමණක් වුණත් සාර්ථක ප්‍රතිඵලයක් දැක ගන්නට ඔබට පුළුවන්.

කෝමාරිකා කෝමාරිකා යුෂ තේ හැන්දක්, මී පැණි තේ හැදි භාගයක් සමඟ හොඳින් මිශ්‍රකර විනාඩි 10 ක් පමණ තබා අවපැහැ ගැන්වුණු සමේ ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න.පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනපතා සති 2 ක් පමණ මෙය සිදු කරන්න.
පිපිඤ්ඤා යුෂ පිපිඤ්ඤා යුෂ තේ හැදි 1 ක් මී පැණි තේ හැදි 1 ක් සහ දෙහි යුෂ තේ හැදි 1 ක් යන සියල්ල බදුනක දමා හොඳින් මිශ්‍රකර සමේ ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න.
ලෙමන් යුෂ තේ හැදි 1 ක් කහ කුඩු තේ හැදි 1 ක් හොඳින් මිශ්‍රකර එය අවපැහැ ගැන්වූ සමේ ආලේප කර විනාඩි 15 ක් වියළෙන්නට තබන්න. පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.මෙය රාත්‍රියේ නින්දට යාමට පෙර සිදු කිරීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.
මේ ස්වාභාවික සත්කාරයන් සිදු කිරීමෙන් හිරු එළියට අවපැහැ ගැන්වුණ සම නැවත ඉතා කෙටි කාලයක් අතුරු ආබාධවලින් තොරව යථා තත්ත්වයට පත් කරන්නට හැකියාව ලැබෙනවා.