ඕනෑම පිළිකාවක් හැදෙන්න කලින් සුව කර හැකි හණ ඇට සතු ගුණ 7 ක්

health tips

අපි අපේ ආහාරවේලට  නිතර ඇට වර්ග එකතු කර නොගත්තත් අපේ ආහාරවේලට  ඕන  කරනම අංගයක් නේ මේ ඇට වර්ග කියන්නේ. අපි හැමදාම වගේ කන්නෙත් එකම ලැයිස්තුවේ තියෙන ඇට වර්ග කිහිපයක් විතරයි. ඒත් ෆිෂ් ඔයිල්වලින් බොහෝදෙනෙක් දේහයට ලබාගන්නට උත්සාහ කරන ඔමේගා 3 මේද අම්ල වඩාත් හොඳින් ලබාගන්නට හැකි  බොහෝදෙනෙක් පරිභෝජනයට නොගන්නා ඇට වර්ගයක් තමයි හණ ඇට කියන්නේ. ඉස්සර රජවරුන් හමුදා සෙබළුන්ට ශක්තිය වැඩිවෙන්නට දීපු දිගු ඉතිහාසයක් තියෙන හණ ඇට ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

මේ හණ ඇට දුඹුරු පැහැයෙන් වගේම රන්වන් පැහැයෙන් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා. නමුත් එහි පෝෂණ ගුණයන් එක හා සමානයි. දිනකට හණ ඇට මේස හැන්දක ප්‍රමාණයක් අනුභව කිරීමෙන් මිනිස් ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන්, තන්තු ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වෙනවා. මේ හණ ඇට සතු ප්‍රෝටීන අතුරින් ඇමයිනෝ අම්ල,  ඇස්පාටික් අම්ල හා ග්ලූටමින් අම්ල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා මාංශමය ප්‍රෝටීනවලට නොදෙනිව ආකාරයෙන් ප්‍රෝටීන් ලබාගත හැකි අගනා ප්‍රභවයක් තමයි මේ හණ ඇට. ඒ නිසා නිර්මාංශික අයෙකුට මේ හණ ඇට ඉතාම වැදගත් වෙනවා. 

ඒ විතරක්ම නෙවෙයි මේ හණ ඇටවල ජල ද්‍රාවී තන්තු වගේම ජල අද්‍රාවී තන්තු යන කොටස් දෙවර්ගයම අන්තර්ගත වෙනවා.ඒ හැරුණාම ශරීරයට අත්‍යවශ්‍ය වන B1 B6 කැල්සියම්, යකඩ  මැග්නීසියම්, පොස්පරස්,  පොටෑසියම් වැනි පෝෂක  සංඝටක රාශියක්ම මේ හණ ඇට තුළ අන්තර්ගත වෙනවා.

එනිසා දිනපතාම හණ ඇට අනුභව කිරීමෙන් අපිට ලබා ගන්නට හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක්ම තියෙනවා.

භාවිතා කරන ආකාරය 

  • හණ ඇට අහුරු දෙකක් වතුරේ පෙගෙන්නට දමා ඒ වතුර පානය
  •  හණ ඇටවලින් සකස් කළ තෙල්  පරිභෝජනය 
  • වෙනත් ධාන්‍ය වර්ගවලට හණ ඇට එකතු කර  පරිභෝජනය 
  • කේක් වර්ග ආදිය සකස් කිරීමේදීත් භාවිතා කළ හැකිවීම 
  • හණ ඇට පවුඩර්  කර කැඳවලට එකතු කළ හැකිවීම 
  • සමට බාහිරින්  පැක් එකක් ලෙස භාවිතා කළ හැකිවීම 

(හිසකෙස් වර්ධනයට) හිසේ  ගල්වන පොල්තෙල් හෝ ඔලිව් තෙල් සමඟ හණ ඇට  අහුරක්  දමා රත්කර භාවිතා කළ හැකිවීම 

හණ ඇට අනුභවයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 

පිළිකාවලින් ආරක්ෂා සලසනවා. හණ ඇට තුළ අඩංගු වෙන ලිග්නන්ස් කියන ප්‍රතිඔක්සිකාරක සංයෝගය පිළිකාවලින් අපිව ආරක්ෂා කරන්නට උපකාර කරනවා. දිනපතා හණ ඇටමේස හැදි 2 ක් අනුභව කරන කාන්තාවන්ට  පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම 18% කින් පමණ අඩු කරගත හැකි බව සමීක්ෂණවලින් හෙළි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි හණ ඇට අනුභව කිරීමෙන් පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමත් බොහෝසෙයින්  අඩුකර ගන්නටත් , බඩවැල් ආශ්‍රිත පිළිකා හා සමේ ඇතිවන පිළිකාවලින් ආරක්ෂාව සලසා ගන්නත් උපකාරී වෙනවා.

හෘදයාබාධ ඇතිවීම වළක්වා හදවත නිරෝගී කරනවා.හණ ඇටවල බහුලව අඩංගු මේ ALA කියන ඔමේගා 3 මේද අම්ලය නිසි පරිදි සිරුරට ලැබීම හෘදයාබදවලින් ආරක්ෂා වීමටත් ආඝාතය ආදී රෝගවලින් ආරක්ෂා වෙන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා. 

අධි රුධිර පීඩනය අඩු කරනවා.දිනපතා ග්‍රෑම් 30 ක හණ ඇට ප්‍රමාණයක්  මාස 6 ක් නොනවත්වා ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමින් අඩු කර ගන්නට හැකියාව ලැබෙන බව සමීක්ෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළුවලින් සහනය  සලසනවා .හණ ඇටවල ජල ද්‍රාවී සහ ජල අද්‍රාවී තන්තු බහුල වශයෙන් අන්තර්ගත නිසා මලබද්ධය , බඩ පිපුම් වගේ අපහසුතා ඇතිවීම වළක්වනවා. ඒ වගේම හණ ඇටවල ඇති තන්තු විෂ ද්‍රව්‍ය බැහැර කරන්නත්  දායක වෙනවා .

ශරීර බර අඩු කරන්නට දායක වෙනවා.හණ ඇට තන්තු බහුල ආහාරයක් වන නිසා හණ ඇට අනුභව කළ විට කුස පිරුණු ස්වභාවයක් ඇතිවෙනවා. එයින් වැඩිපුර ආහාර  ගැනීමේ අවශ්‍යතාවයත්  නැති වෙලා  නිතර බඩගිනි ඇතිවීමත් වැළකෙනවා. 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.හණ ඇට දෙවන ගණයේ දියවැඩියාව ඇතිවීම පාලනය කරන්නට සමත් වෙනවා . හණ ඇට කුඩු ග්‍රෑම් 20 ක්  දිනපතා පාරිභෝජනයෙන් මාසයකින් පමණ පසුව  රුධිරගත සීනි මට්ටම 20% කින් පහළ යන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.සමීක්ෂණවලින්  අනාවරණය  කරගෙන ඇති ආකාරයට දිනපතා හණ ඇට කුඩු මේස හැදි 3 ක ප්‍රමාණයක්  නොනවත්වා මාස 3 ක කාලයක් පරිභෝජනය කිරීමෙන් ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටමට 20% කින් අඩු කරගන්න  පුළුවන්.

  • ප්‍රතිශක්තිකරණ  පද්ධතිය ශක්තිමත් කරනවා.
  • ශරීරයට  ශක්තිය ලබාදෙනවා .
  • තයිරොක්සින් අඩු අයට  හිතකරයි.
  • සමට සහ හිසකෙස්වලට හිතකරයි.
  • කොන්දේ වේදනා, ඇඟේ කැක්කුම් නැතිකරනවා.

වටිනා කියන ගුණ රැසක් තියෙන හණ ඇට ඉහත සඳහන් කරපු ඕනෑම ආකාරයකට ඔබට භාවිතයට ගන්න හැකියාව තියෙනවා. නමුත් මේ හණ ඇට පමණට වඩා ලබා ගැනීමට නම් සිරුරට අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා අවශ්‍ය පමණට හණ ඇට ආහාරයට එකතු කරගන්නට වග බලා ගන්න.