හිසකෙස් හැලීයාම කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයම මුහුණ දෙන ගැටලුවක්.අධිකව හිසකෙස් හැලීයාමෙන් හිස මුඩුවීම හෙවත් තට්ටය පෑදීමට පටන්ගනියි. තැනින් තැන හිසකෙස් හැලීයාමෙන් ඒ තැන් වල කැපීපෙනෙන ලෙස තට්ටය මතුවී පෙනෙයි. අද අප කතාකරන්නේ පිරිමි පුද්ගලයින් තුළ හිසකෙස් හැලීයාමේ තත්වය හේතුවෙන් ඔවුන්ගේ සිරුරු වල මතුකළ හැකි පූර්ව ලක්ෂණ මොනවාද කියලයි.මේ ලක්ෂණ හඳුනාගන්නට හැකි නම් ඉන් බොහෝ විට කියවෙන්නේ ඔබේ තට්ටය පෑදීමට පටන්ගෙන ඇතිබවයි.

කොට්ටය මත අධික ලෙස හිසකෙස් තිබී හමුවීම නින්දෙන් අවදි වූ පසු මේ වගේ දෙයක් දකින්න ලැබෙන එක නම් ඒ තරම්ම ප්‍රසන්න අත්දැකීමක් නොවෙයි.ඔබේ කොට්ටය මත, පොරෝනාවේ, ඇඳ ඇතිරිල්ල මත ඔබේ හිසෙන් ගැලවී ගිය හිසකෙස් අධික ප්‍රමාණයක් නිතිපතාම වගේ දකින්නට ලැබේ නම් මේ තත්වය නොසලකා හැර ඉන්න එපා.කාලයක් ගත වන විට ඔබේ හිසේ එතරම් හිසකෙස් නොමැතිව බව කැපී පෙනෙන්නට පටන්ගනියි.
බොහෝ විට අධික ලෙස හිසකෙස් හැලීයාමට හේතුව ඇලොපීසියා (alopecia) නම් හිස මුඩුවීමේ රෝගය නිසා විය හැකියි.පුරුෂයින් තුළ රටාවක් ආකාරයෙන් හිස මුඩුවීමේ තත්වය හඳුනාගත හැකියි (male pattern baldness).ඇතැම් ඖෂධ වර්ග භාවිතය නිසා සහ පෝෂණ ඌනතාවන් නිසා ද අධිකව හිසකෙස් හැලීයාමට පටන් ගනියි.ජීවන රටාව හා ජානමය බලපෑම් නිසා ද මේ තත්වය මතුවිය හැකියි.
නාන විට අධික ලෙස හිසකෙස් ගැලවී යාම නාන කාමරයේ බිම අධික ලෙස හිසකෙස් ගැලවී ගොස් තිබෙන ආකාරය දැකීම ඇත්තෙන්ම හිතට ඇතිකරන්නේ ලොකු දුකක්.ගැලවී යන තරම් වේගයෙන් හිසකෙස් වර්ධනය වන්නේ නැහැ.ඉතින් මේ තත්වය නිසා ඔබේ තට්ටය මතුවීම තවත් වේගවත් විය හැකියි.ටෙලොජන් එෆ්ලූවියම් (telogen effluvium) යනු ඇලෝපීසියා තත්වයට වඩා මදක් වෙනස් හිස මුඩුවීමේ රෝගයකි.මෙය අධික ආතතිය හෝ කම්පන තත්වයක බලපෑමින් පසු ඇතිවිය හැකියි.
හිස මතට වතුර වැටෙන විට ,එහි පීඩනයේ බලපෑමින් දුර්වලව පවතින කෙස්ගස් ගැලවී ඉවතට ඒම සිදුවෙයි.නාන කාමරයේ වතුර බැස්ම අසල තිබී කෙස්ගස් අහුරු පිටින් හමුවන්නේ මෙම සිදුවීම නිසා විය හැකියි. අධික ආතතිය ඔබේ කෙස්කලඹේ නීරෝගිබවට බලපෑම් ඇතිකරන බවට මෙම තත්වය හොඳ උදාහරණයක්.
ස්නානය කරන විට මැරුණු හිසකෙස් ගැලවී ඉවත් වී යයි. එය සාමාන්‍ය තත්වයකි.ඇතැම් විට පීරන විට හිස් කබලෙන් ගැලවුණු හිසකෙස් නාන විට වතුරත් සමඟ සේදි ගැලවී යයි.නාන විටදි අධික ලෙස හිසකෙස් ගැලවී යන බවක් අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ ගැටලුව කුමක්දැයි හඳුනාගන්න.
හිස මුදුනේ තට්ටය මතුවීම හිස මුදුනේ හිසකෙස් නොමැතිව හිස්කබලේ සම මතුවී පෙනෙනවා නම් ඔබ හිසකෙස් හැලීයාමේ ගැටලුවෙන් පෙළෙන බවට එය සංඥාවකි.පිරිමින් තුළ මතුවන රටාවකට හිස මුඩුවී යාමේ රෝගයේ පූර්ව ලක්ෂණයක් ලෙසත් මෙය හඳුන්වයි.මුළින්ම හිසකෙස් හැලීයන්නේ නළලට ඉහළ සීමාවෙනි (hairline).හිසකෙස් සීමාව පිටුපසට යාමෙන් නළල පළල් වූ පෙනුමක් ගනියි.
හිසකෙස් හැලීගොස් ක්‍රම ක්‍රමයෙන් හිස මුදුන ප්‍රදේශය සම්පූර්ණ ලෙස තට්ටය මතුවිය හැකියි. මෙම තත්වය පාලනය කරගැනීමට හොඳ ප්‍රෝටීන් පෝෂණයක් සිරුරට ලබාගන්න උත්සහ කරන්න.හිසකෙස් සැකසී ඇත්තේ කෙරටින් කියන ප්‍රෝටීන වලින් බව ඔබ අසා ඇති.හිසකෙස් හැලීයන විට රෝම කූප/ස්‍යුනිකා (follicles) වලට නිසි ප්‍රෝටීන් පෝෂණයක් නොලැබෙයි.මස්,මාලු,කිරි,බිත්තර,බෝංචි වගේ ආහාර වල ප්‍රෝටීන් බහුලයි.මීට අමතරව ඔමේගා-3 මේද අම්ල, විටමින් D සහ විටමින් C, සින්ක් හා යකඩ පෝෂක බහුල ආහාර පාන ද ඔබේ පරිභෝජනයට එක්කරගන්න.
හිසේ තැනින් තැන තට්ටය පැල්ලම් මතුවී තිබීම හිසකෙස් හැලීයන්නේ එකම තැනකින් නොවෙයි. හිසේ තැනින් තැන හිසකෙස් හැලීයාමෙන් එම ස්ථාන වල පැල්ලම් වශයෙන් තට්ටය වර්ධනය වේ. මේවා bald patches ලෙස හඳුන්වයි.ඇතැම් ඒවා කුඩාවට ද ඇතැම් ඒවා විශාලව ද වර්ධනය වී තිබිය හැකි නිසා ඔබේ හිසේ පෙනුම අවලස්සනට පෙනෙන්නට පුළුවන්.
මෙසේ තට්ටය පෑදුණු තැන් වල සම ඉතා මෘදුය. කිසිඳු ආරක්ෂාවක් සමට නැති නිසා හිරු කිරණට පිලිස්සීමේ අවදානම ඉතා වැඩියි.පැල්ලම් ලෙස තට්ටය මතුවීමේ තත්වයේදි හිසේ කැසිල්ල හා හිස්කබලේ (සමේ) අපහසුතා වැනි ලක්ෂණ ද බොහෝ විට මතුකළ හැකියි.මෙම තත්වය බොහෝ දුරට ඇලෝපීසියා තත්වය යැයි සැක කළ හැකියි. මතුවී ඇත්තේ කුඩා කාසියක තරම් තට්ටය පැල්ලමක් පමණක් නම් වසරක් පමණ ගත වෙද්දී හිසකෙස් යළි වර්ධනය වේවි. කෙසේවෙතත් මෙවැනි පැල්ලම් බහුලව ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.
සිරුරේ තැනින් තැන ඇති රෝම ගැලවීයාම මෙය නොසළකා හැරිය යුතු තත්වයක් නොවෙයි. සිරුරේ තැනින් තැන ඇති රෝම හැලීයාම යම් සෞඛ්‍ය ගැටලුවක ලක්ෂණයක් විය හැකියි.බාහු සහ කකුල් වල රෝම හැලීයාම ඩර්මටයිටිස් (dermatitis) හෙවත් චර්මදාහය,එක්සිමා දද සහ පොතුකබර (psoriasis) වැනි රෝග තත්වයන්ගේ බලපෑමින් ඇතිවිය හැකි බව පෙන්වාදේ. මෙම ගැටලු වලට හේතුවන්නේ සමේ සෛල ආශ්‍රිත ගැටලුකාරී තත්වයන්ය. ඇතැම් බරපතල තත්වයන් වලදී ඇලෝපීසියා රෝගයේ බලපෑමි ද සිරුරේ අනෙකුත් ස්ථාන වල රෝම හැලීයාමට පටන්ගත හැකි බව පෙන්වාදේ.

පනාවට අධික ලෙස හිසකෙස් ගැලවී ඒම හිස පීරන විට හිසකෙස් එකක් දෙකක් නොව අහුරු පිටින් ගැලවී එයි නම් එය සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි.හිස පීරන වාරයක් පාසා එසේ අධික ලෙස හිසකෙස් ගැලවී යයි නම් බොහෝ විට ඉන් ඔබේ හිස මුඩුවීමට පටන්ගෙන ඇති බව සංඥා කරනවා විය හැකියි.කෙස්ගස් කිහිපයක් ගැලවී යාම කිසිසේත්ම වදවීමට හේතුවක් නොවෙයි. එය සාමාන්‍යයයි. කෙසේවෙතත් පෙර සඳහන් කළා වගේ පනාවට අධිකව හිසකෙස් එකතු වෙයි නම් සිතනවාට වඩා වේගයෙන් ඔබේ තට්ටය පෑදෙන්නට ඉඩ තිබෙයි.
ඔබත් ආතතියෙන් මිරිකුණු ජීවන රටාවක් ගත කරන කෙනෙක් නම් මේ තත්වය අත්දකින්නට තිබෙන අවදාන තරමක් ඉහළයි .ටෙලෝජන් එෆ්ලූවියම් තත්වයේ තවත් රෝග ලක්ෂණයක් ලෙසත් මේ තත්වය හඳුන්වන්නට පුළුවන්.යම් බරපතල ආතතියකින් හෝ කම්පනයකට මුහුණ දුන් විගස මේ තත්වය ඇතිවන්නේ නැහැ. බොහෝ විට එම සිදුවීමෙන් මාස 3-6ක් පමණ ගත වූ පසුව මෙවැනි රෝග ලක්ෂණ සිරුරේ මතුකිරීමට පටන්ගනියි.මේ හේතුව නිසාම ඔබේ හිසකෙස් හැලීයන්නේ ආතතිය නිසා ද නැත්නම් වෙනත් රෝග තත්වයක් නිසා ද යන්න වෙන්කර හඳුනාගැනීම පවා ඇතැම් විට තරමක් අපහසුවිය හැකියි. ටෙලොජන් එෆ්ලූවියම් තත්වය නිසා ඇතිවන තට්ටය පෑදීමේ තත්වය බොහෝවිට තාවකාලිකයි. ඔබේ හිසකෙස් නැවත වර්ධනය වීමට පටන්ගනියි.කෙසේවෙතත් ඒ සඳහා මාස ගණනාවක්ම ගත වෙන්නට පුළුවන්.
*මෙවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.