කාබෝහයිඩ්රේට,ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තිය,සිරුරේ උෂ්ණත්ව නියාමනයට දායක වීම,ඛනිජ ද්‍රව්‍ය ගබඩා කිරීම,රුධිරය ගබඩා කර තබන අවයවයක් ලෙස ක්‍රියා කිරීමට අමතරව සිරුර විෂහරණය කරවන ප්‍රධාන අවයවයක් ලෙස ක්‍රියා කිරීම ද අක්මාව විසින් ඉටු කරන කාර්යන් අතර වේ.කෙසේවුවත් දිගු කාලයක් තිස්සේ අක්මාවට හානි සිදුවීම හේතුවෙන් එහි ක්රියාකාරීත්වයන්ට බාධා ඇතිවෙයි.මෙම නිසා අක්මාවේ නිරෝගි පටක විනාශ වී අක්මාවේ කැලැල් හටගනියි.මෙසේ පටක තුවාල වීමෙන් ඇතිවන තත්වය සිරෝසිස් (Cirrhosis) තත්වය ලෙස හඳුන්වයි.
මෙය එක් දිනකදි සිදුවන දෙයක් නොවේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වන රෝගයක් ලෙස මෙය හැඳින්වීම වඩාත් නිවැරදියි. සිරෝසිස් තත්වයට බලපාන හේතුසාධක අතර දිගු කාලයක් තිස්සේ අධික ලෙස මත්පැන් පානය කිරීම,ස්ථූලතාව,හෙපටයිටීස් C තත්වය ආසාදිත වීම,මද්‍යසාරමය නොවන අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගය (non-alcoholic fatty liver disease) බලපෑමින් අක්මාවේ අධික මේද එකතුවී අක්මාව ආසාදනය වීම වැනි හේතු ප්‍රධානයි.
සිරෝසිස් රෝගයේ අවදානම පෙන්නුම් කරන පූර්ව සංඥා ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

සිරුරේ ඉදිමුම් කිසිඳු පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ තැනින් තැන ඉදිමුම් මතුවීම සිරෝසිස් තත්වයේ බලපෑමින් ද ඇතිවිය හැකි ලක්ෂණයක්.සිරෝසිස් හේතුවෙන් අක්මාව හරහා ගමන් කරන රුධිර ප්‍රවාහය මන්දගාමී වෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස අක්මාව වෙත රුධිරය ගෙන එන නාළ අවහිර වීමට පටන්ගනියි.එහිදී ප්ලීහාවෙන් හා බඩවැල් වලින් රුධිරය ගෙන්වා ගැනීමට ආයාසයකින් ක්‍රියාකිරීමට ඒවාට සිදුවේ.මේ බලපෑමින් කකුල් සහ යටිබඩ ප්‍රදේශයේ ඉදිමුම් තත්වයක් මතුකළ හැකියි.
කකුල් ඉදිමීම ‘එඩිමා’ (edema) තත්වයයි. යටිබඩ ඉදිමීම ‘ඇසයිටිස්’ (ascites) ලෙස හඳුන්වයි.මෙම තත්වයන් වර්ධනය වීමට මූලික වන්නේ අධික ලෙස තරල එකතුවීමයි. මෙවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම සුදුසුයි. සිරෝසිස් තත්වයේ ප්‍රධාන අවධි දෙකකි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවධිය (compensated stage) සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන /අක්මාව පරිහාණියට ලක්වෙමින් පවතින අවධිය (decompensated stage).ඇසයිටිස් තත්වය දෙවන අවධියේ සංඥා පෙන්නුම් කිරිමකි.
අල්ල රතුවීම සිරෝසිස් තත්වයේ දුර්ලභ ලක්ෂණයක් වුවත් මේ කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්.අත්ල රතුවීම palmar erythema තත්වයයි.අක්මාවේ පටක තුවාල වෙමින් පවතින අවධියේදි අල්ල රතුවීමට පටන්ගත හැකියි.මුළු අත්ලම හෝ අත්ලේ තැනින් තැන රතුවෙයි. මෙම ලක්ෂණය බොහෝවිට හඳුනාගැනීමට ලැබෙන්නේ සිරෝසිස් රෝගින් අතරින් 22% පමණ පිරිසකගේය.කෙසේවෙතත් ලක්ෂණ අත්දකින්නේ නම් එය නොසලකා හැරීමෙන් වළකින්න.
බර අඩුවීම මින් අදහස් කරන්නේ සෙමින් සෙමින් සිරුරේ බර අඩුවීමේ තත්වයක් නොවේ. කණ්ණාඩියක් ඉදිරියේ සිටගත් විට ඔබ ඉතා කෙටි කලෛන් කෙට්ටු වී ගොස් තිබෙන බව පෙනී යා හැකියි. හදිසියේම සිරුරේ බර අඩුවීම සිරෝසිස් තත්වයේ දුර්ලභ ලක්ෂණයක්. මෙම රෝගය හේතුවෙන් පුද්ගලයාගේ ආහාර රුචියට බලපෑම් එල්ලවෙයි.අක්මාව යනු ජිර්ණ පද්ධතියේ වැදගත්ම අවයවයක්.අක්මාවට හානි වූ පසු ඉස්සර මෙන් ආහාර පාන ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙන්නේ නැතිතරම්. බර අඩුවීම fatty liver හෙවත් අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයේ ලක්ෂණයක් ද වේ. අධික මත්පැන් පානය මීට බලපාන ප්‍රබලම හේතුවකි.
කැසිල්ල සිරෝසිස් තත්වයෙන් පෙළෙන පුද්ගලයින් බහුලව මුහුණ පාන ලක්ෂණයක් වන්නේ සමේ කැසිල්ලයි.මීට හේතුව සම යටින් ඉහළ මට්ටමේ ලවණ ප්‍රමාණයක් එකතුවී තිබීමයි.සමේ ලවණ එකතු වීම වැඩි වන තරමට සම කසන ගතිය තවත් වැඩිවෙයි.මෙම ලවණය පිත ලවණ (bile salt) ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි.මෙම ලවණ නිපදවෙන්නේ අක්මාවේය.පිත ප්‍රණාළ වල සිට කුඩා අන්ත්රයට මේවා මුදාහැරෙයි.මින් මේද හා පෝෂක ජීර්ණය හා අවශෝෂණය වීම වඩාත් පහසු කෙරේ.අක්මාව රෝගි වූ විට ඉන් නිකුත් වන ලවණ ප්‍රමාණය පාලනයෙන් තොර වෙයි.මේවා අධික ප්‍රමාණයක් සිරුරේ එකතුවී සම යටින් තැන්පත් වීමෙන් දරාගත නොහැකි අන්දමේ කැසිල්ල තත්වයක් හටගනියි. සම කැසීමෙන් එම අපහසුතාව තවත් වැඩිවිය හැකියි. එම නිසා ඉන් වැළකී වෛද්‍යවරයෙකු වෙත යොමුවී නිසි ප්‍රතිකාරයක් ලබාගන්න.
තෙහෙට්ටුව සුව නින්දක් නොලැබීම, ආතතිය,පීඩනය , දියවැඩියාව, ස්ථූලතාව, හෘද රෝග වැනි වෙනත් රෝගාබාධ, පෝෂණ ඌනතා වගේ හේතු නිසා සිරුරට තෙහෙට්ටුව දැනිය හැකියි.අක්මාවේ සිරෝසිස් තත්වයෙන් පෙළෙන පුද්ගලයින් හට අධික තෙහෙට්‍ටුකර ගතියක් නිතර දැනෙයි.අක්මාව රෝගී වී ඇති නිසා සිරුරට අවශ්‍ය ශක්තිය ලබාදෙන පෝෂක නිසි ලෙස සිරුරට උරාගැනීම සිදුනොවෙයි.කැල්සියම් හා මැග්නීසියම් ඌනතාව සිරුරේ අප්‍රාණිකබවක් ඇතිකරවයි.එළවළු, පලතුරු, ධාන්‍ය වැනි ආහාර සපිරි නීරෝගි ආහාර පාන රටාවක් ඇතිකරගැනීම සහ නිතිපතා සරල ව්‍යායාම වල යෙදීම මෙම තත්වය පාලනය කරගැනීමට උපකාරී වෙයි. දිගු කාලයක් තිස්සේ මෙම තත්වයෙන් පෙළෙන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.
ජෝන්ඩිස් තත්වය රතු රුධිර සෛල බිඳ දැමීමේදි නිර්මාණය වන කහ පැහැති වර්ණක බිලිරුබින් නමින් හඳුන්වයි.අක්මාව හරහා ගමන් කොට මේවා සිරුරෙන් බැහැර වී යයි.සිරෝසිස් තත්වයේදි අක්මාව බොහෝ සෙයින් හානි වී ඇති නිසා මේවා ක්‍රමවත්ව සිරුරෙන් බැහැර කිරීමට ඊට නොහැකි වෙයි.එවිට ඒවා සිරුරේ එකතු වී රුධිර ප්‍රවාහය සමඟ මිශ්‍ර වී සිරුර පුරා ගමන් කරයි.මේවා සමට පහළ ස්ථර වෙත ලඟාවීමත් සමඟ ඔබේ සම කහ වීමට පටන්ගනියි.ඇසේ සුදු ඉංගිරියාව ද කහ පැහැයට හැරෙයි.වකුගඩු වල මේවා එකතු වීමෙන් මූත්‍රා අධික කහ පැහැයක් ගනියි.සම සහ ඇස් කහ වීම ජෝන්ඩිස් තත්වය ලෙස හඳුන්වයි. මෙම ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

ඔක්කාරය අක්මා රෝග හේතුවෙන් ඔක්කාරය වැනි රෝග ලක්ෂණ මතුවෙයි.අක්මාව ජීර්ණ පද්ධතිය හා සෘජුවම සම්බන්ධ අවයවයකි.මීට යම් බලපෑමක් ඇතිවූ විට එය ආමාශයට ද දැනෙයි.ඔක්කාරය සහ වමනය වැනි ලක්ෂණ මතුවන්නේ ඒ ආකාරයටයි. නොසිතූ අවස්ථාවන් වලදි පවා ඔක්කාරය ගතිය මතුවිය හැකියි.මෙය සිදුවන්නේ අක්මාවට වස විස ද්‍රව්‍ය නිසි ලෙස සිරුරෙන් බැහැර කිරීමට නොහැකි වීමෙන් ඒවා කසල ද්‍රව්‍ය මෙන් ජීර්ණ පද්ධතිය තුළ එකතුවීම නිසයි.
අහඹු ලෙස තුවාල මතුවීම හා රුධිරය වහනය වීම පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ තුවාල වීම් හෝ රුධිරය වහනය වීම් සිදුවේ නම් ,ඊට සිරෝසිස් තත්වයේ ද යම් බලපෑමක් තිබිය හැකියි. සිරෝසිස් රෝගයෙන් පෙළෙන විට සිරුරේ තුවාල ඇතිවීම හා රුධිරය වහනය වීම් වඩාත් පහසුවෙන් විය හැකි බව පෙන්වාදෙයි.ඊට හේතුව රෝගී වූ අක්මාවෙන් රුධිරය කැටිගැසීමට අවශ්‍ය නිසි ප්‍රෝටීන නිපදනොවීමයි. මේ නිසා සම වඩාත් ඉක්මනින් තුවාල වීමට බලයි.සුළු කැපුමකින් පවා රුධිරය ගැලීමට පටන්ගත හැකියි. මෙවැනි රෝග ලක්ෂණ දිගින් දිගටම අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත්වන්න!