ඕනෑම රැළි වැටුණු සමක් ඉක්මණින් ඉවත් කරන ස්වභාවික සත්කාර 7ක්

health tips

ක්‍රමයෙන් වයස්ගත වීමත් එක්ක අපේ සම වෙනස්වීම්වලට භාජනය වෙනවා. විශේෂයෙන්ම සමේ රැලි ඇති වීම කියන්නේ වයස වැඩි වෙද්දි බොහෝදෙනෙක්ට අත්විදින්නට වෙන දෙයක්. වයස හැරුණාම  ඇතැම් විට අපේ වැරදි අඩු අඩුපාඩු නිසා වුණත් සමේ රැළි ඇති වෙන්නට පුළුවන්.  සමේ  රැලි වැටීම් ඇතිවීම වයසට වඩා මහලු පෙනුමක්  ඇති කරන්නට හේතුවන කාරණාවක්. 

නිතර හිරු එළියට නිරාවරණය වීම, සන් ක්‍රීම් ආලේප නොකිරීම, ජලය අඩුවෙන් පානය කිරීම, නිතර ස්ක්රබ් කිරීම, සමට ආලේප කරන විවිධ ආලේපන ආදිය හේතු කරගෙන සමේ රැලි ඇතිවීම් සිදු වෙන්නට පුළුවන්.  සමේ රැලි ඇති වීම පමා කර ගන්නට වගේම සමේ රැලි නැති කර ගන්නටත් ස්වභාවික ක්‍රම ඕනෑතරම් තියෙනවා.  අපි අද ඔබත් එක්ක කතා කරන්නේ එවැනි  ස්වභාවික ක්‍රම  කිහිපයක් පිළිබඳව.

ෆේස් මාස්ක් විශේෂයෙන්ම  පලතුරු face mask එකකින් සමට නැවුම් බවක් වගේම හොඳ පෝෂණයක් ලැබෙනවා. සම තුළට යොදන පෝෂණයක් විදිහට ස්වාභාවික ෆේස් මාස්ක් එකක් දිනපතාම භාවිතා කිරීම මේ සමේ  රැලි ඇතිවීම නැතිකර ගන්නට සහ අවම කර ගන්නටත් විශාල උදව්වක් වෙනවා. ඒ සඳහා සෑම පලතුරක්ම වගේ ඔබට භාවිතයට ගන්නට පුළුවන්.

 තක්කාලි, ස්ට්‍රෝබෙරි සහ ඇපල් ආදී පලතුරු තෙල් සහිත සමට ඉතාම සුදුසුයි. 

කෙසෙල්වලින් සාදාගත හැකි ෆේස් මාස්ක් එකක් සමට හොඳ  මෘදු පැහැයක් එකතු කරනවා. මේ සඳහා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් බ්ලෙන්ඩර් කර ගෙන එයට මී පැණි ටිකක් එකතු කර ඔබට ආලේප කරන්නට පුළුවන්. මෙය  මුහුණට වගේම මුළු ශරීරයටත් භාවිතයට ගන්නත් පුළුවන්.

 අලිගැටපේර ආදී පලතුරු moisturizer වලින් පොහොසත් නිසා ඒවා වියළි සමට ඉතාමත්  සුදුසුයි. ඒ හැරුණාම පැපොල්, දොඩම්, කොමඩු ආදී පලතුරුත් ඔබට මේ සඳහා යොදා ගන්න පුළුවන්.

ඉතින් ඔබ පලතුරක් ආහාරයට ගනිද්දි එයින්  කුඩා කොටසක් ඉතිරි කරගෙන මේ විදියට සමේ  ආලේප කළොත්  ඔබේ සමේ  පුදුමාකාර වෙනසක් ඔබට දැක ගන්නට හැකියාව ලැබේවි.

කෝමාරිකා සමේ රැලි ඇතිවීම නැතිකර ගන්නට සම පැහැපත්කර ගන්නට සමේ වියළි බව නැතිකර ගන්නට කෝමාරිකා තරම් සුදුසු වෙනත් ප්‍රතිකාරයක් නැති තරම්. කෝමාරිකා මදය සූරාගෙන වතුරට අල්ලා සෝදාගන්න. එය  පොඩි කර මුහුණේ ආලේප කර විනාඩි  පහළොවක් විස්සකට පසු මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මෙය දිනපතාම වුනත් කළ හැකි සත්කාරයක්.

කැරට් යුෂ කැරට් බීජ තෙල් වගේම කැරට් යුෂ සමේ රැළි නැතිකර ගන්නට අපිට භාවිතා කරන්නට පුළුවන්. කැරට් යුෂ ගෙන මී  පැණි සමඟ මිශ්‍රකර මුහුණේ හොඳින් ආලේප කර මද වේලාවකින් සෝදා හරින්න. මෙය  දිනපතාම සිදු කිරීම මගින් ඔබේ මුහුණේ ඇති රැළි ඉතා ඉක්මනින් ඉවත් කර ගන්නට පුළුවන්. 

කොමඩු සමේ ඇතිවන වියළි බව නැතිකර සමේ රැලි වැටීම් නැති කරගන්නට කොමඩු ආහාරයට ගැනීම වගේම කොමඩු ආලේප කිරීමත් ඉතා ප්‍රයෝජනවත්. මේවා බොහොමයක් රූපලාවන්‍ය සත්කාරවලටත් භාවිතයට ගන්නේ ඒ නිසාමයි. කොමඩු යුෂ තේ හැඳි 3 කට මී පැණි සහ ලෙමන් යුෂ බිංදු කිහිපයක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 ක්  තබා සෝදා හරින්න. 

essential oil essential තෙල් සමට ඉතාම හිතකරයි. එයින් සමට චිකිත්සක ප්‍රතිලාභ ලැබෙනවා. මේ සඳහා  ජැස්මින්, ලැවෙන්ඩර්, සුදු හඳුන්, ඔලිව් තෙල්, ආමන්ඩ්ලි තෙල්, ගැටපේර තෙල්, කැරට් බීජ තෙල් ආදිය භාවිතා කරන්නට පුළුවන්. 

මේ තෙල් වර්ග අතුරින් ඔබ ලෙමන් තෙල් හෝ  කැරට් බීජ තෙල් ආදිය භාවිතයට ගන්නවා නම් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. ලෙමන් තෙල්  අධික සාන්ද්‍රිත තෙල් වර්ගයක් නිසා එය  භාවිතා කිරීමේ දී පොල් තෙල් හෝ ඔලිව් තෙල් වැනි වාහක තෙල්වල තනුක කිරීම සිදුකල යුතුමයි. ඒ වගේම ලෙමන් තෙල් භාවිතා කළ යුත්තේ රාත්‍රී කාලයේ දී බවත් මතක තබා ගන්න.  කොහොම වුණත් මේ තෙල් වර්ග  ඔබ භාවිතා කරන මොයිස්චරයිසර් එකක් සමග මිශ්‍ර කිරීමෙන් ඉතා හොඳින් ක්‍රියාකරන නිසා ඒවා ආලේප කිරීමෙන් සමේ රැලි ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්.

බිත්තර බිත්තර සුදු මදය සම පැහැපත් කරනවා වගේම බිත්තර  කහමදය සම පෝෂණය කරමින් සමේ රැලි ඇතිවීම වළක්වනවා. ඔබට තෙල් සහිත සමක් තියෙනවා නම් සම මත බිත්තර සුදු මදයත්,  සම රැලි වැටී ඇත්නම් බිත්තර කහ මදයක් භාවිතා කරන එක ඉතාම හොඳ ප්‍රතිකාරයක්. වයස අවුරුදු 35 ඉක්මවූ අයෙක් නම් කහ මදය නිතිපතා ඔබේ සමේ  ආලේප කිරීම මගින් සමට අවශ්‍ය පෝෂණය හොඳින් ලැබී රැලි වැටීම් ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්. 

සම්බාහනය ඔබ දිනපතාම දිවා කාලයේදී සහ රාත්‍රී කාලයේදී  මොයිස්චරයිසර් ආලේපනයක් ගල්වනවා ඇති. ඒ අවස්ථාවේ විනාඩි දහයක්වත් ඔබ ඔබේ මුහුණ සම්බාහනය කරන්නේ නම්  මුහුණ රැලි ඇතිවීම් නැති කර ගන්නට පුළුවන්.   දිනපතාම මුහුණ සම්බාහනය කිරීමෙන් සම තරුණ බවට වෙනවා. නමුත් මේ සම්බාහනයේ දී සම දැඩි විදිහට අදින්න එපා. මෘදුව මුහුණ සම්බාහනය කිරීම මගින් රුධිර ප්‍රවාහය උත්තේජනය වීමෙන් රුධිර සංසරණය වැඩි වෙනවා පෝෂය පදාර්ථ විශාල ප්‍රමාණයක් රුධිරය හරහා සමට ගෙන යනවා. සීතල අයිස් වතුර මුහුණට ඉසීමෙන් ද ඒ හා සමාන බලපෑමක් සමට ලබා ගන්නටත් පුළුවන්.ඉතින්  සමේ තරුණ පෙනුම රැක ගන්නටත්  සමේ ඇතිවන රැලි නැති කර ගන්නටත් මේ  සම්බාහනය ඉතාම වැදගත්. 

මේ සත්කාරයන් ස්වභාවික නිසා සහ පහසු ඒවා නිසා  සමේ නිරෝගී බවට එයින්  ඉතා හොඳ පිටිවහලක් ලැබෙනවා. කෘතීම ආලේපන සහ නිෂ්පාදන ඇතැම් විටක ඔබේ සමේ රැලි ඇතිවීම තීව්‍ර කිරීමටත් වෙනත් ගැටලු ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ස්වභාවික සත්කාරයන් ඔබට මේ ගැටලුවෙන් මිදෙන්නට භාවිතයට ගන්නට පුළුවන්.