ඔබටත් විටමින් ඌනතාවය හැදීගෙන එන බව කල්තියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ 9ක්

health tips

විටමින් යනු අපගේ ශරීරයේ නීරෝගිබව සහ යහපැවැත්ම කෙරෙහි අතිශයින්ම වැදගත් වන පෝෂකයකි.  දිනපතා ආහාර වේලට විටමින් අඩංගු එළවළු සහ පලතුරු එක්කරගැනීම සිදුකල යුතු බව සෞඛ්‍යය නිර්දේශයකි. මීට අමතරව වෛද්‍ය නිර්දේශ යටතේ සප්ලිමන්ට් වර්ග , පෙති සහ විටමින් දියර වර්ග ලෙස ද විටමින් පෝෂණය සිරුරට ලබාගත හැකියි. නිතිපතා ප්‍රමාණවත් තරම් විටමින් පෝෂණයක් සිරුරට ලැබීම එහි ක්‍රියාකාරීත්වයන්ට ඉතා වැදගත් වේ. එලෙස සිරුරට හොඳින් විටමින් පෝෂණය නොලැබෙන විට ශරීර ක්‍රියාවලීන් අකර්මන්‍ය වී විවිධ ගැටලු ලක්ෂණ මතුකිරීමට පටන්ගත හැකියි.

විටමින් ඌනතා තත්වයක් ඇතිවූ විට ඒ බව සංඥා කරමින් සිරුරේ මතුකළ හැකි පූර්ව රෝග ලක්ෂණ හඳුනාගනිමු.

හිසකෙස් හැලීයාම මෙය විටමින් ඌනතාවලින් පෙළෙන පුද්ගලයින් තුළ බහුලව හඳුනාගැනීමට හැකිවන ලක්ෂණයක්.වයස්ගත වීමේදී,උදාහරණයක් ලෙස වයස අවුරුදු 50 ඉක්මවීමත් සමඟ වැඩිහිටි පුද්ගලයින් අතරින් 50%ක් පමණ දෙන මෙම අවදානමට ලක්වේ.විටමින් B3 හෝ නියැසින් (niacin) ඌනතාව හිසකෙස් හැලීයාමට තුඬුදිය හැකියි.ඇලොපීසියා නම් හිස මුඩුවීමේ රෝගයෙන් පෙළෙන පුද්ගලයින් අතරේ නියැසින් ඌනතාව වඩාත් බහුලයි.

විටමින් B7 හෙවත් බයෝටීන් ඌනතාව ද හිසකෙස් හැලීයාමට බලපාන තවත් හේතුවකි.වෛද්‍ය නිර්දේශ යටතේ බයෝටීන් වැනි සප්ලිමන්ට් වර්ග ගැනීමෙන් මෙම තත්වය බොහෝදුරට පාලනය කරගත හැකියි. කොළ පැහැති පත්‍ර එළවළු වර්ග (නිවිති,ගෝවා කොළ වැනි),නට් වර්ග,මස්,මාලු,කිරි නිෂ්පාදන ,පූර්ණ ධාන්‍ය වර්ග,රනිල බෝග වල නියැසින් බහුලයි.මෙවැනි ආහාර පාන පරිභෝජනයට එක්කරගන්න. විටමින් ඌනතාවක් නොමැතිව විටමින් සප්ලිමට්ය් වර්ග ගැනීමෙන් හිසකෙස් හැලීයාම තවත් වැඩිවිය හැකියි. එම නිසා පළමුව වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබ යම් විටමින් ඌනතාවකින් පෙළෙන්නේ ද කියා තහවුරු කරගන්න.

කටේ තුවාල මතුවීම (mouth ulcers) ඌෂ්ණ බිබිලි හෙවත් කටේ මතුවන තුවාල විටමින් B හා ඛනිජ ලවණ ඌනතා තත්වයක පූර්ව සංඥාවක් විය හැකියි.විටමින් B1 හෝ තයමීන් හෝ රයිබෝෆ්ලේවින් හෝ විට්ටමින් B6 පයිරිඩොක්සින් ඌනවීමෙන් මෙවැනි වණ කටේ වර්ධනය වීමට පටන්ගත හැකියි.රයොබෝෆේවින් ඌනතාව හේතුවෙන් කට කොන් වණ වීමේ රෝගය හෙවත් angular chilitis තත්වය ඇතිවිය හැකියි. මස් (අවයව කොටස්),මාලු,බිත්තර,කිරි නිෂ්පාදන,රනිල කුලයේ ආහාර,පිෂ්ටය සහිත කොළ පැහැති එළවළු වර්ග වල තයමීන් ,රයිබෝෆ්ලේවින් හා පයිරිඩොක්සින් බහුලයි.විටමින් B බහුල ආහාර පාන පරිභෝජනයට එක්කරගැනීමෙන් මෙවැනි ගැටලු යලි යලි මතුවීම බොහෝදුරට පාලනය කරගත හැකියි. තුවාල බොහෝකලක් සුවනොවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

රාත්‍රී කාලයේදි ඇස් පෙනීම දුර්වල වීම විටමින් A ඌනතාවේ බලපෑම හේතුවෙන් රාත්‍රි කාලයේදී පුද්ගලයාගේ ඇස් පෙනීම අඩුවිය හැකියි. මෙය night blindness නම් තත්වයයි.පැහැදිලිව හා අඩු ආලෝකයේදී ඇස් නොපෙනීම ලක්ෂණයි.රාත්‍රී කාලයේදී ඇස් පෙනීමට උපකාරී වන රුඩොප්සින් (rhodopsin) නම් වර්ණක නිර්මාණය වීමට විටමින් A අත්‍යවශ්‍ය වේ.මෙම රාත්‍රී අන්ධතාවට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් එය ඇස් පූර්ණ ලෙස අන්ධවීමට තුඬු දිය හැකියි.විටමින් A ඌනතාව හේතුවෙන් ඇසේ සුදු ඉංගිරියාවේ සුදු පෙණ වැනි තිත් මතුවීමට පටන්ගත හැකියි. කොළ පැහැති පත්‍ර එළවළු වර්ග, පලා වර්ග,කහ හෝ තැඹිලි පැහැති එළවළු වර්ග,බිත්තර,මාලු හා මස් වල විටමින් බහුලයි.

ඉස්හොරි සිරුරේ තෙල් ස්‍රාවය වන ස්ථාන ආශ්‍රිතව ඉස්හොරි බලපෑම ඇතිවිය හැකියි.බොහෝවිට හිස්කබල ආශ්‍රිතව ඉස් හොරි බහුලව වර්ධනය වෙයි.ඕනෑම වයසක කෙනෙකුට මෙම තත්වය ඇතිවිය හැකියි.අධ්‍යයන පෙන්වාදෙන ආකාරයට ඉස්හොරි මතුවීමට බලපාන නොයෙකුත් සාධක අතර පෝෂණ ඌනතාව ද එකකි.විශේෂයෙන් විටමින් B12 ,විටමින් B3 සහ විටමින් B6 ඌනතා මීට බලපායි.කුකුළු මස් හා වෙනත් මස් වර්ග, මාලු, බිත්තර,කිරි නිෂ්පාදන,කොළ පැහැති පත්‍ර එළවළු හා පලා වර්ග මෙන්ම පූර්ණ ධාන්‍ය වර්ග වල මෙම විටමින් වර්ග බහුලයි.

පළුදු වූ නිය හා හිසකෙස් නියපොතු හා හිසකෙස් ආශ්‍රිතව දක්නට ලැබෙන පළුදු වූ හානිවූ ස්වභාවයට බොහෝ විට හේතුවී ඇත්තේ විටමින් ඌනතාවක් විය හැකියි.බොහෝ විට විටමින් B7 හෙවත් බයෝටින් ඌනතාව මීට හේතුවිය හැකියි.මෙය දුර්ලභ තත්වයක් වුව ද නිය හා කිසකෙස් වලට ප්‍රබල බලපෑමක් මතුකරයි.පේශී (කෙණ්ඩා) පෙරළීම් , අත් පා පුපුරුගසන ගතිය හා නිදන්ගත තෙහෙට්‍ටුව තවත් ලක්ෂණ කිහිපයකි.දුම්බීම, අධික මත්පැන් පානය, ගැබිනි කාන්තාවන් හා ක්‍රෝන්ස් රෝගයෙන් (ජීර්ණ මාර්ගයේ රෝගයකි) පෙළෙන පුද්ගලයින් බයෝටීන් ඌනතාවට ගොදුරුවීමේ අවදානම ඉහළය.

අමුවෙන් බිත්තර සුදුමද ආහාරයට ගැනීම නොකරන්න.ඒවායේ බයෝටින් සිරුරට අවශෝෂණය වීම වළකන ප්‍රෝටීනයක් අඩංගු බව අධ්‍යයන පෙන්වාදෙයි.ආහාරයට ගැනීමට පෙර බිත්තර හොඳින් පිසගන්න.බ්‍රොකොලි,මල්ගෝවා,බිත්තර කහමද,මස්,මාලු,පූර්ණ ධාන්‍ය වර්ග හා කෙසෙල් වල බයෝටීන් බහුලයි. නියපොතු හා කෙස්කලඹේ ගැටලු වලින් පෙළෙන්නේ නම් නිසි වෛද්‍ය උපදෙස් යටතේ බයෝටීන් සප්ලිමන්ට් වර්ගයක් භාවිත කරන්න.

විදුරුමස්වලින් ලේ ගැලීම විටමින් C ඌනතාවේ වඩාත් බහුලම ලක්ෂණයක් ලෙස මෙය හඳුන්වයි.මෙම තත්වය ගැන නොසලකා හැර සිටියොත් බරපතල ගැටලු ඉදිරියේදි වර්ධනය වීමට ඉඩ තිබෙයි.සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය උදෙසා,තුවාල සුවවීමේ ක්‍රියාවලිය හා සිරුරේ ඔක්සිකාරක ආතතිය වැළැක්වීම සඳහා විටමින් C ඉතා වැදගත් කාර්යක් ඉ‍ටුකරයි.කෙසේවෙතත් අපේ සිරුරට මෙම විටමිනය නිපදවීමේ හැකියාවක් නැති නිසා ආහාර පාන හා සප්ලිමන්ට් ලෙස බාහිරව ඒවා ලබාගැනීමට සිදුවෙයි.

නැවුම් එළවළු හා පලතුරු පරිභෝජනය කරන අය අතරේ විටමින් C ඌනතාව ඉතා විරලයි.දිගු කාලයක් පුරා විටමින් C පෝෂණයක් සිරුරට නොලැබීමෙන් විදුරුමසින් ලේ ගැලීම හා දත් ගැලවීයාම වැනි ගැටලු වර්ධනය වීමේ ඉඩකඩ ඇති බව අධ්‍යයන පෙන්වාදෙයි.විටමින් C ඌනතාව ප්‍රතිශක්තිය දුර්වල කර සිරුර අප්‍රාණික කරවයි. අස්ථි දුර්වල කරයි.නාසයෙන් රුධිරය ගැලීම හා තුවාල සුවවීම මන්දගාමී බවක් ගැනීම වැනි ගැටලු ද මතුකරයි.

නිදිමතගතිය හා අධික තෙහෙට්‍ටුව විටමින් වර්ග ආහාර ජීර්ණය කර ඒවායින් ලැබෙන ශක්තිය සිරුරට අවශෝෂණය කරගැනීමට සහය වෙයි.එවැනි විටමින් ඌනවීමෙන් (විශේෂයෙන් විටමින් B12 වැනි) සිරුරේ තෙහෙට්‍ටුකර ස්වභාවයක් නිතර මතුවිය හැකියි.මෙම විටමිනය රතු රුධිර සෛල හා DNA නිපදවීමට හා මොළයේ ස්නායුසම්ප්‍රේෂක ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කිරීමට සහය දෙයි. බරපතල විටමින් B12 ඌනතාවකදී මතකය නැතිවීම,සිරුරේ සමබරතාව ගිලිහීම,අත් පා වල හිරිවැටීම වැනි ගැටලු ද මතුවේ.කුකුළු මස්, මාලු,කිරි හා යෝගට් වගේ ආහාර වල මෙම විටමින් බහුලයි.අසාමාන්‍ය තෙහෙට්‍ටුවක් සිරුරට දැනෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය පරික්ෂා කරගන්න.

සිරුරේ කැක්කුම් මතුවීම වයසට යන විට සිරුරේ කැක්කුම් වේදනා ඇතිවෙයි.ඇතැම් විට ඔබේ කැක්කුම් වේදනාවන්ට හේතුව විටමින් D ඌනතාව වන්නට ද පුළුවන්.අස්ථි වල නීරෝගී බවට විටමින් D අත්‍යවශ්‍ය වේ.දිගු කාලීනව සිරුරට විටමින් D පෝෂණය නොලැබීමෙන් රිකට්ස් හෙවත් මාන්දම තත්වයට ගොදුරුවිය හැකියි (මෙය අස්ථි මෘදු වී විකෘති වන හා වේදනා ඇතිකරන රෝගයකි). විටමින් D මඟින් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආබාධ ඇතිවීම් වළකයි.

පේශි වේදනාව, සන්ධි වේදනාව, තෙහෙට්‍ටුව,අප්‍රාණිකබව හා ශ්වසන අපහසුතා මතුවීම් විටමින් D ඌනතාවේ තවත් ලක්ෂණ කිහිපයකි.සිරුර හිරු එළියට නිරාවරණය වීමේදී සිරුර තුළ විටමින් D නිපදවෙයි.මාලු, කිරි,මස්,බිත්තර කහමද, බිම්මල් වගේ ආහාර වල විටමින් D බහුලයි.විටමින් D සප්ලිමන්ය් වර්ග ඇතත් ස්වභාවික ක්‍රම වලින් සිරුරට විටමින් D ලබාගැනීමට උත්සහ කිරීම වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි. 

වියළි සම සමේ අධික වියළිබවට බොහෝ හේතු බලපෑ හැකියි. විටමින් A ඌනතාව ඒ අතරින් එකකි.සමේ සෛල වර්ධනය හා නැවත වර්ධනය වීම සම්බන්ධයෙන් මෙම විටමිනය ඉතා වැදගත් කාර්යක් ඉ‍ටුකරයි.මෙම විටමින් වර්ගය සිරුරට ප්‍රමාණවත්ව නොලැබීමෙන් එක්සිමා වැනි ප්‍රදාහක දද රෝග පවා වර්ධනය වීමට ඉඩ තිබෙන බව අධ්‍යයන පෙන්වාදෙයි.මෙම රෝගයට ප්‍රතිකාර ලෙස විටමින් A අඩංගු ඖෂධ ක්‍රීම් වර්ග බාහිරව ආලේප කරයි.කොළ,කහ හා තැඹිලි පැහැති එළවළු වර්ග,මස්,මාලු තෙල්, කිරි හා බිත්තර වල විටමින් A බහුලයි.

*රෝග ලක්ෂණ දිගින් දිගටම පවතියි නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.