උදේ හිස්බඩ නොගත යුතු ආහාර වර්ග 9 ක්

health tips

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට නිරන්තරයෙන් උනන්දු වෙන අපි වැඩි මිලට ඉහළ පෝෂණ ගුණයක් ඇති හොඳම ආහාර ගන්නටයි උත්සාහ කරන්නේ.නමුත් මේ පෝෂක අපේ ශරීරයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වුණත් වැරදි වේලාවක අපි මේ ආහාර ලබා ගන්නේ නම් එයින් අපේ ශරීරයට ඇතිවෙන්නේ යම් අපහසුවක් හෝ අහිතකර තත්ත්වයක්.ඒ නිසා වැරදි වේලාවට ආහාර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලකින් වුණත් අපේ කායික සහ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ උදෑසන ආහාරය ගැන කතා කළොත් අපි ගත කරන කාර්යබහුල ජීවන රටාවත් එක්ක අතට හසුවන කෙටි කෑමක් හෝ පානයක් පමණක් ගෙන දවස ආරම්භ කරන්නට බොහෝදෙනෙක්ට සිදුවෙලා තියෙනවා. නමුත් හිස්බඩම ආහාරයට ගන්නා යම් යම් දේවල් අපිට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්.අපි බොහෝදෙනෙක් නොසැලකිලිමත්ව උදෑසන හිස්බඩ ගන්නා ඒ ආහාර අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට විශාල බාධාවක්. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ හිස්බඩ ආහාරයට නොගත යුතු ආහාර වර්ග මොනවාද යන්න ඔබව දැනුවත් කරන්නටයි.

  • යෝගට් හෝ මුදවපු කිරි උදෑසන ඇති කාර්යබහුල ස්වභාවය නිසා බොහෝදෙනෙක්ට උදේ ආහාරය කිවූ සැණින්ම මතකයට නැගෙන්නේ යෝගට්. නමුත් යෝගට් පමණක් නෙවෙයි වෙනත් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් පවා උදේ හිස්බඩ ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. විශේෂයෙන්ම යෝගට්වල ඇති ලැක්ටික් අම්ල බැක්ටීරියා නිසාවෙන් ආමාශයේ ආම්ලික මට්ටම ඉහළ දමන නිසා එහි ක්‍රියාකාරිත්වය අකාර්යක්ෂම කරනවා.ඒ වගේම ආම්ලික මට්ටම අධික වුණාම උදරයේ ආම්ලිකතාවයට හේතුවන හයිඩ්රොලෝරික් අම්ලයත් නිපදවනු ලබනවා.
  • ෂෝට් ඊට්ස් සහ පේස්ට්‍රි  වර්ග ලොකු කුඩා හැමෝම වගේ උදෑසන ආහාරයට මේ පේස්ට්‍රි වර්ග ආහාරයට ගන්නවා. නමුත් ඊස්ට් අඩංගු ආහාර මගින් ආමාශයේ දැවිල්ලක් ඇති කරනු ලබනවා. ඒ වගේම උදරයේ වාතය එක්රැස්වීමටත් එය හේතුවක්. ඒ නිසාවෙන් ඇතිවන අපහසුතාවය ඔබේ දෛනික කටයුතු සියල්ලම අඩපණ කරන අතර අමිල පිත්ත රෝගය ඇතිවීම කෙරෙහිත් මෙය බලපානු ලබනවා.
  • පලතුරු යුෂ උදෑසන හිස්බඩ පලතුරු යුෂ වීදුරුවක් පානය කිරීම සෞඛ්‍යයට හිතකර ලෙස බොහෝදෙනා සිතුවත් එය වැරදි අදහසක්. බොහෝමයක් පලතුරුවල ෆ්රුක්ටෝස් බහුලව අඩංගු වෙනවා. මේවා සීනිවලට සමාන නිසා වගේම පලතුරු යුෂ පිළියෙල කරන විට රසය වැඩි කරන්නටත් සීනි යම් ප්‍රමාණයක් එකතු කරනවා. ඒ නිසා උදෑසන හිස්බඩ මේ පලතුරු යුෂ පානය කිරීම තුළින් අධික සීනි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන නිසා අග්න්‍යාශයට වගේම අක්මාවටත් අමතර පීඩනයක් එල්ල වෙනවා.මේ නිසා දිගුකාලීනව අක්මාවේ සහ අග්න්‍යාශයේ ආසාදන තත්ත්වයන් පවා ඇති වෙනවා. ඒ වගේම පලතුරු යුෂ වශයෙන් සකස් කරන විට ඇතැම් සෞඛ්‍ය සම්පන්න තන්තු විනාශ වෙලා යනවා. ඒ නිසා නියම පලතුරු අනුභවයට වඩා පලතුරු යුෂ අනුභවයෙන් රුධිරයේ  සීනි ප්‍රමාණයත් ඉහළ යනවා.ඒ නිසා දියවැඩියාව හෝ අධික කොලෙස්ටරෝල් ආදී ගැටළු ඇති කරන්නටත් පුළුවන්.
  • කැෆේන් අඩංගු පාන වර්ග තේ කෝපි ආදී කැෆේන් අඩංගු පාන වර්ග  හිස්බඩ පානය කිරීම මගින්  ආම්ලිකතාවය වැඩිවෙන්නට පුළුවන්. ඒ වගේම ආමාශයික යුශ නිෂ්පාදනයත්  ඉහළ දමනවා. මේ නිසා ආහාර ජීර්ණය අක්‍රමවත් වීමත් අමිල පිත්ත රෝගී තත්ත්වය වර්ධනය වීමත්  සිදු වෙනවා.
  • අමු එළවලු වර්ග විශේෂයෙන්ම බර  අඩුකර ගන්නට ආහාර පාලනය කරන බොහෝදෙනා නොපිසන ලද එළවලුවලින් සකස් කරගත් සලාද වර්ග අනුභවයට උන්නදුවක් දක්වනවා. ඒවා පෝෂණ ගුණයෙන් ඉහළ වුණත් එය උදේ හිස්බඩ ගැනීම සුදුසු වන්නේ නැහැ. මේවායේ තන්තු බහුලවම අඩංගු වන නිසා  ඒවා මගින් උදරයට අමතර  පීඩනයක් ඇති කරනවා.  ඒ වගේම බඩ පිපීම, සහ උදරයේ වේදනාවන් ඇති කරන්නටත් පුළුවන්.
  • පැගිරි කුලයේ පලතුරු දොඩම්, ලෙමන්, දෙහි ආදී පැගිරි කුලයේ පලතුරු පෝෂණ ගුණයෙන් ඉහළ වුණත් ඒවා උදෑසන හිස්බඩ ආහාරයට ගැනිම නම් එතරම් සුදුසු නැහැ. මේවා මගින් උදරයේ ආම්ලිකතාවය ඉහළ යා හැකි අතර  ආහාර ජීර්ණය ආශ්‍රිත  වෙනත් ගැටළු ද ඇති වෙන්නට පුළුවන්. 
  • පෙයාර්ස් පෙයාර්වල ඇති රළු කෙඳි මගින් හිස්බඩේ ඇති සිනිඳු ශ්ලේෂ්මල පටලය තුවාල වන්නට පුළුවන්. ඒ නිස පෙයාර්ස් උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම එතරම් හිතකර නැහැ.
  • තක්කාලි  ,කෙසෙල් හිස්බඩ කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ මැග්නීසියම් මට්ටම ඉහළ යනවා. එය හදවතේ නීරෝගීභාවයට එතරම් හිතකර වන්නේ නැහැ.
  • පැණි බීම වර්ග කෝලා වර්ග, සෝඩා වර්ග හෝ වෙනත් ශක්තිජනක පාන වර්ග ගැනීම සැමවිටම අපේ ශරීරයට අහිතකරයි.ඒවා උදෑසන හිස්බඩ ගැනීම වඩාත්ම අහිතකරයි.මේවා උදරයේ ආම්ලිකතාවය ඉහළ දමන අතර උදරයේ වේදනාවන් ඔක්කාර තත්ත්වයන් පවා ඇති කරන්නට පුළුවන්.

මේ ආහාරවලින් ඇතැම් ඒවා අපේ ශරීරයේ පැවැත්මට විශාල මෙහෙයක් කරන ආහාර. නමුත් ඒවා ගත යුතු නිවැරදි වේලාව නම් උදෑසන හිස්බඩ නෙවෙයි. ඒ නිසා මේ ආහාර වෙනුවට උදෑසන හිස් බඩ ගතහැකි ආහාර වර්ග ඕනෑ තරම් තියෙනවා. ඒ අතර ඕට්ස්, බිත්තර,කොමඩු , බ්ලූ බෙරි, යීස්ට් රහිත ධාන්‍යම පාන් , ධාන්‍ය  වර්ග, කැඳ වර්ග විශේෂයි. ඉතින් ගන්නා ආහාර ගැන වගේම ඒවා ගත යුතු සුදුසුම වේලාවන් පිළිබඳවත් අපි දැන සිටියොත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගෙන යන්නට එතරම් අපහසු වෙන එකක් නැහැ.