වර්තමාන ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝගයක් ලෙස වකුගඩු රෝගය හඳුනාගත හැකිය. විශේෂයෙන් මෙම රෝගී තත්ත්වය රජරට ප්‍රදේශය තුළ ඉතා ඉහළ මට්ටමක පවතී.වකුගඩු රෝගය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් ම බලපානු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන අධික කෘමිනාශක හා විස වර්ග භාවිතයයි. එම විස වර්ග කිනම් හෝ ආකාරයට ශරීරගත වීම තුළ වකුගඩු රෝගය ඇතිවේ.වකුගඩු රෝගය මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළින් ඉතා සාර්ථක ලෙස එය පාලනය කරගත හැකිය. නමුත් මුල් අවස්ථාවේ දී මෙහි රෝග ලක්ෂණ පැහැදිලිව නොපෙන්න නමුත් වකුගඩු අක්‍රිය වීමට පටන්ගත් පසු පෙන්නුම් කරන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.

ශරීරයට දැනෙන අධික වෙහෙස හා මහන්සිය.වකුගඩු රෝගය ඇති පුද්ගලයෙකු තුළ මෙම අධික වෙහෙස හා මහන්සිය නිරන්තරයෙන්ම පවතී. එයට හේතු වන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා ඒවා තුළ අහිතකර විෂ වර්ග තැන්පත් වීම හා රක්තහීනතාවයෙන් පෙලීම යන කරුණු වේ. මේ නිසාවෙන් ශරීරයේ ශක්තිය හීනවී යනවාක් මෙන් ම ශරීරයට අධික වෙහෙසක් සහ මහන්සියක් දැනෙනු ඇත.
ශරීරයට සීතලක් දැනීම.වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් රක්තහීනතාවයට ලක්වේ. මේ නිසාවෙන් සාමාන්‍ය පරිසරය තුළ සීතලක් නොමැති අවස්ථාවක වුවද රෝගියාට අධික ලෙස සීතල දැනීම වකුගඩු රෝගයේ තවත් ලක්ෂණයකි.
නිදා ගැනීම සඳහා ඇතිවන අපහසුතා.ශරීරය තුළට එකතු වී පවතින විෂ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොවීම වකුගඩු රෝගීන් තුළ දැකගත හැකිය. එයට හේතුව වකුගඩු මගින් පෙරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම නිසාවෙනි. මේ නිසාවෙන් සුවපහසු නින්දක් ලබා ගැනීම සඳහා අපහසුතා ඇතිවේ. විශේෂයෙන් මෙහිදී ස්වසන අපහසුතා ඇතිවීම සිදුවන අතර එබැවින් සුව පහසු නින්දකට බාධා ඇතිවේ.
හුස්ම අඩු බවක් දැනීම.වකුගඩු රෝගීන් තුළ නිසි පරිදි ඔක්සිජන් පරිවහනය සිදු නොවේ. එයට හේතු වන්නේ රක්තහීනතාවය සහ පෙනහළු තුළ අතිරික්ත තරල පිරී පැවතීමයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමයි.
සමෙහි ඇතිවන ගැටලු.වකුගඩු මගින් ශරීරයේ අතිරික්ත තරල හා විෂ වර්ග බැහැර කිරීම සිදුවේ. නිරෝගී වකුගඩු නොමැති වීම තුළ එම කාර්යයට බාධා ඇතිවේ. මෙම හේතුව නිසාවෙන් සිරුර තුළ රතු රුධිරාණු නිපදවීම හා නිසි අයන ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට නොහැකි වේ. එබැවින් සමෙහි වියළි ගතිය සහ ඉරිතැලීම් ඇතිවේ. තවද වකුගඩු අක්‍රිය වීම නිසා විසබීජ නිසි පරිදි බැහැර නොවීම තුළ සම මතුපිට අධික ලෙස කැසීම ඇතිවීමද වකුගඩු රෝගයේ හඳුනාගත හැකි ලක්ෂණයකි.
සෑම විටම මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම.වකුගඩු අක්‍රිය වීම නිසා නිසි පරිදි මුත්‍රා පෙරීම සිදු නොවන අතර අධික මුත්‍රා ප්‍රමාණයක් මුත්‍රාශය වෙත යොමු වේ. මෙම තත්ත්වය මත රාත්‍රී කාලයේ දී වැඩි වශයෙන් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවේ. මෙම තත්ත්වය දවල් කාලය තුළද යම්තාක් දුරකට පවතී.
මුහුණ, අත් සහ පාද ඉදිමීම.වකුගඩු අක්‍රිය වූ පුද්ගලයකුගේ ශරීරයෙන් අතිරික්ත තරල කොටස් නිසි පරිදි බැහැර වීම සිදු නොවේ. එබැවින් එම තරල මුහුණ, අත් සහ පාද වල තැන්පත් වීම සිදුවන අතර එමඟින් දෑත් දෙපා ඉදිමීමට ලක්වේ.

මුත්‍රාවල ඇති වන ආබාධ.විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මුත්‍රා පිට කිරීමේදී ඒත් සමගම රුධිරය පිටවීමක් සිදුවේ. මෙයට හේතුව අක්‍රීය වකුගඩුවක් හරහා මුත්‍රා පෙරීම සිදු වන විට රුධිර අංශු සුළු වශයෙන් මුත්‍රාශය වෙත නිකුත් වේ. ඒවා මුත්‍රා සමඟ පිටවීම සිදුවේ.
තවද වකුගඩු රෝගීන් තුළ ඇතිවන මුත්‍රා ආබාධිත තත්ත්වයක් වන්නේ එහි පෙණ සහිත ස්වභාවයක් පැවතීමයි. මෙයට හේතුව වන්නේ දුර්වල වකුගඩු හරහා මුත්‍රා පෙරීම සිදු වන විට ශරීරයේ පවතින ප්‍රෝටීන් අංශු බැහැරට පිටවීමයි. එබැවින් මුත්‍රා පෙණ සහිත ස්වභාවයක් ගනියි.
මස් පිඩු පෙරලීම.වකුගඩු අක්‍රිය වූ විට ශරීරයේ පවතින අයන වැඩි වශයෙන් සිරුරෙන් ඉවත් වේ. එවිට ශරීරය තුළ අයන අසමතුලිතතාවයක් ඇතිවේ. මේ නිසාවෙන් ශරීරයේ විවිධ ස්ථානවල මස් පිඩු පෙරලීම සිදුවේ.
ඉහත දක්වා ඇති රෝග ලක්ෂණ විවිධ රෝගාබාධ සඳහා ඇතිවිය හැකි වුවත් රෝග ලක්ෂණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් යම් පුද්ගලයකු තුළ හඳුනාගත හැකිනම් ඔහුට හෝ ඇයට වකුගඩු රෝගය පවතිනු ඇතැයි සැක ඇතිවේ. එබැවින් ඉහත රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිමින් වකුගඩු රෝගී අවදානමෙන් මිදීම සඳහා කටයුතු කළ යුතුය.