වැඩිවිය පැමිණීමෙන් පසුව සෑම කාන්තාවක්ම මාසිකව ඔසප් වීම සිදුවේ. මෙම තත්වය වර්තමානයේ බොහෝ දෙනෙකුට අධික වේදනාවක් හා පීඩාවක් ගෙන දෙන තත්ත්වයක් බවට පත්ව තිබේ.
මාසික ඔසප් වීම හරහා කාන්තාවකගේ නිරෝගි බව පිළිබඳ පැහැදිලි වැටහීමක් ලබාගත හැකිය. විශේෂයෙන් දින විසි අටක් හෝ තිහකට වරක් අපහසුවකින් තොරව දින තුනක් හෝ හතරක් රුධිරය පිට වී යාම ඔසප් වීමේ සාමාන්‍ය ස්වරූපය වේ. මෙසේ සිදුවීම තුළින් කාන්තාවකගේ ප්‍රජනන සෞඛ්‍ය නිරෝගිමත් යැයි උපකල්පනය කළ හැකිය.
ඩිම්බ කෝෂ තුල පවතින ඩිම්බයක් සංසේචනය සඳහා සූදානම් වී ගර්භාෂය වෙත පැමිණීමෙන් පසු එයට ශුක්‍රාණුවක් මුණ නොගැසී යාම නිසාවෙන් ගර්භාෂයෙන් පිටතට එම ඩිම්බය ගර්භාෂ බිත්ති සමග ගැලවී යාම සරලවම ඔසප්වීමේදී සිදුවේ.
ඔසප් වීම වැඩිවිය පත් වීමෙන් පසුව දරුවකු පිළිසිඳ ගැනීම තෙක් හෝ ආර්තවහරණය වන තෙක් මාසිකව සිදුවේ. දරුවකු පිළිසිඳ ගත් විට එම මාස නමය පුරාවටම සහ දරුවාට මව් කිරි ලබාදෙන මුල් මාස කිහිපය තුළ ද ඔසප් වීම සිදු නොවේ.
කෙසේ නමුත් කාන්තාවන්ට පොදු තත්ත්වයක් ලෙස ඔසප් වීම හදුනා ගත හැකි වුවත් ඇතැම් කාන්තාවන්ට එය අසාමාන්‍ය ලෙස වේදනා ගෙන දෙන්නක් වේ. ඒ අනුව

- පියයුරුවල ඇතිවන වේදනාව
- හිසරදය
- කොන්දේ වේදනාව
- මානසික නොසන්සුන්තාවය
- යටිබඩේ පවතින සුළු සුළු අපහසුතා
- ඔක්කාරය සහ වමනය
- දින තුනකට වඩා වැඩි කාලයක් රුධිර වහනය සිදුවීම
- වහනය වන රුධිරය දැඩි දුගදක් පැවතීම
- රුධිරය කැටිති ආකාරයට පිටවීම
- මස්පිඩු වල ඇතිවන අධික වේදනාව
- ආහාර අරුචිය
ආදී ලක්ෂණ ඔසප් වේදනාවේ ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකිය. මෙම ලක්ෂණවලින් යුක්ත කාන්තාවකට දෛනික කටයුතු වලට පවා යෙදීම අපහසු වේ. මෙම වේදනාත්මක ලක්ෂණ ඇතිවීම සඳහා බලපාන හේතු පවතී. එනම්
- ගර්භාෂයේ හා ප‍්‍රජනන ඉන්‍ද්‍රිය ආශ‍්‍රිත පවතින රෝග තත්ත්වයන්
- ගර්භාෂ බිත්තිවල ඇති අසාමාන්‍ය ඝනත්වය
- ගර්භාෂයේ හටගන්නා ෆයිබ්‍රොයිඩ් නමින් හඳුන්වන ගර්භාෂ ගෙඩි තත්ත්වයන්
- ගර්භාශ ගෙළෙහි ඇතිවන රෝග තත්ත්වයන්
- ඩිම්බ කෝෂවල හටගන්නා රෝග හා ආසාදන තත්ත්වයන්
- අධික තෙල් සහිත ආහාර පාන පරිභෝජනය
- අධික හිර ඇඳුම් වැඩි කාලයක් ඇඳ පැළඳ සිටීම.
- හෝමෝන සම්බන්ධයෙන් පවතින ගැටළු
ආදි හේතු සාධක බලපානු ලබයි. මෙම ඔසප් වේදනාව බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බෙහෙත් පෙති පානය කිරීමෙන් සුවකර ගත හැකි වුවත් අත් බෙහෙත් මගින් ද ඔසප් වේදනාවට සහනයක් ලබාගත හැකිය. ඒ අනුව ඔසප් වේදනාව සම්බන්ධයෙන් සිදු කළ හැකි ස්වභාවික ප්‍රතිකර්මයන් කිහිපයක් පවතී.

- කොත්තමල්ලි මිටක් පමණ ගෙන හොඳින් කුඩුකර ඇල් වතුර වීදුරුවකට දමා රැයක් පෙඟෙන්නට හැර පසුදින පෙරා සීනි ස්වල්පයක් මිශ්‍රකර පානය කළ යුතුය.
- සුදුළූණු තම්බා එම ජලය පානය කිරීම හෝ සුදුලූනු පුළුස්සා උක් හකුරු කැබැල්ලක් සමඟ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
- කොල්ලු ඇට තම්බා හෝ වෑන්ජනයක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීම ඔසප් වේදනාවට කදිම විසඳුමක් වේ.
- උණු වතුර දැමූ බෝතලයක් හෝ උණු වතුර පෙඟවූ රෙදි කැබැල්ලකින් පහත බඩ ප්‍රදේශය තැවීම සිදුකළ යුතුය.
- එරබදු දළු හා පාවට්ටා දළු පොල් සමඟ කොටා යුෂ වෙන්කරගෙන පානය කිරීමෙන් ඔසප් සමයේ ඇති වන අධික රුධිර වහනය නවතා ගත හැකිය.
- වැඩි වශයෙන් ජලය පානය කිරීම හා දියරමය ආහාර පාන භාවිතා කළ යුතුය.
- පොල් පලා සහ නීරමුල්ලිය තම්බා පානය කළ යුතුය.
- කස කසා ඇට නොහොත් කුෂ් කුෂ් ඇට රැයක් පෙඟෙන්නට හැර පසු දින හිස් බඩ පානය කළ යුතුය.
- ඉඟුරු මිශ්‍ර තේ පානය කිරීම.
- අධික ඇඹුල් රසැති හා අධික පැණි රසැති ආහාර භාවිතා නොකළ යුතුය.
මෙම ක්‍රියාකාරකම් හරහා වේදනාත්මක මාසික ඔසප් වීම සමනය කරගත හැකිය. මෙම වේදනාව සමනය කර ගැනීම සඳහා බටහිර ඖෂධ වර්ග තිබුණද ඒවා දීර්ඝ කාලීනව භාවිතා කිරීම තවත් රෝගයකට අතවැනීමක් බඳු වේ. එබැවින් දේශීය ස්වභාවික ප්‍රතිකාර වෙත යොමු ව වේදනාව සමනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.