අද බහුතරයක් දෙනෙකුගේ ජීවිතයේ ආහාර වගේම විශේෂ තැනක් ඖෂධ හිමිකරගෙන තියෙනවා. අපි හැමෝම සෞඛ්‍යසම්පන්නව ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නටත් විවිධ ලෙඩ රෝග සුවපත් කර ගන්නටත් අපි නිරන්තරයෙන්ම ඖෂධ භාවිතයට යොමු වෙලා ඉන්නවා. ඒ අතරිනුත් අද වෙද්දී බටහිර ඖෂධ සෑම අසනීපයකටම වගේ අපි ලබා ගන්නවා.
නමුත් මේවා කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් ඇතිවෙන අතුරු ආබාධ අපිට අමතක කරන්න බැහැ. රුධිර පීඩනය බහුතරයක් දෙනා පීඩා විඳින එහෙම නැත්නම් අධි රුධිර පීඩනය අඩුකර ගැනීම සඳහා වැඩිහිටි බොහෝ දෙනෙක් ඖෂධ භාවිතයට ගන්නවා. නමුත් අපි අද ඔබට කියන්න යන්නේ ඖෂධ භාවිතා කරන්නේ නැතිව අපේ චර්යාවේ වෙනස්කම් ආහාර පුරුදු ආදිය මගින් රුධිර පීඩනය අඩු කරගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව.

ශරීර බර ප්‍රමාණවත්ව පවත්වා ගන්න .දේහ බර වැඩිවීම අධි රුධිර පීඩනය වැළඳීමේ අවදානම වැඩි කරන්නට හේතුවක් වගේම නින්දේ දී හුස්ම ගැනීමේ අපහසුතාවලටත් ඔබට මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති වෙන්නට තියෙන ප්‍රවණතාවය ඉහළ යනවා. තරබාරු පුද්ගලයෙක් නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ දේහ බර ක්‍රමානුකූලව අඩු කරගන්න. ඔබේ ශරීර බර කිලෝ කිලෝ ග්‍රෑම් 1 කින් අඩු වෙනවා නම්. ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 1 කින් අඩු වෙනවා.
බර වගේම ඉණ වටා වැඩි මේද තට්ටුවක් තියෙනවා නම් රුධිර පීඩනය ඇතිවීමේ ඉඩකඩත් ඒ හා සමානවම වැඩි වෙනවා.පිරිමියෙකුගේ ඉණ වටා අගල් 40 ට වඩා වැඩි සහ කාන්තාවකගේ ඉණ වටා අගල් 35 ට වඩා වැඩි නම් රුධිර පීඩනය වැළදීමේ වැඩි හැකියාවක් තියෙනවා.
ව්‍යායාම් කිරීම-දෛනිකව ව්‍යායාම්වල නිරත වන පුද්ගලයෙකුට අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම බොහෝ දුරට අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඔබ මේ වනවිට අධි රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් දෛනිකව ව්‍යායාම්වල නිරත වීම අනිවාර්ය වෙනවා.
විනාඩි 30 ක පමණ කාලයක් තුළ දිවීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම, නර්තනය සහ බයිසිකල් පැදීම කියන ක්‍රියාකාරකම් හෘදයට හොඳ ආරක්ෂාවක් ලබාදෙන රුධිර පීඩනය යාමනය කරන ව්‍යායාමයි . සතියකට දින කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමත් දිනපතා යෝගා අභ්‍යාසවල නිරත වීමත් අධි රුධිර පීඩනය පාලනය කර ගන්නට උපකාරී වෙනවා. මේ සඳහා ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.
සෝඩියම් අඩුවෙන් ලබා ගන්න.අපේ ශරීරයට සෝඩියම් ලැබෙන මූලික ප්‍රභවය තමයි ලුණු. පමණට වඩා ශරීරයේ ලුණු ප්‍රතිශතය අඩුවීම වගේම වැඩිවීම කියන තත්ත්වයන් දෙකම රුධිර පීඩනය ඇතුළු ශරීරයේ බොහෝ අවයවවල ක්‍රියාකාරිත්වයට හිතකර වන්නේ නැහැ. වෙනත් රටවල් හා සාපේක්ෂව ගත්විට ලාංකීය අපි ලුණු පරිභෝජනය කරන ප්‍රමාණය ඉතා ඉහළයි.
සිරුරේ සෝඩියම් ප්‍රමාණය ඉහළ යාම නිසා රුධිර පීඩනය වැඩිවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් ඔබ ලබාගන්නා සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම මගින් රුධිර පීඩනය රසදිය මිලිමීටර 5 – 6 ත් දක්වා ප්‍රමාණයකින් අඩු කරගන්නට හැකියාව ලැබෙනවා.
අපේ ශරීරයට ලැබෙන සෝඩියම් ප්‍රමාණය අඩු කරගන්නට හැමවිටම නැවුම් එළවළු පලතුරු ආහාරයට එකතු කර ගන්න. නමුත් ඇතැම් ආහාරවල sodium වැඩි ප්‍රතිශතයකින් අඩංගු වෙන්න පුළුවන්. ඒ වගේම ක්ෂණික ආහාර සකස් කරන ලද ආහාර පාලනය කරන්න. ඒ වගේම ආහාර මිලට ගැනීමේදී ඒවායේ අඩංගු වන සෝඩියම් ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීමත් මෙහිදී ඉතාම වැදගත්.
ඔබ ආහාරවලට එකතු කරන ලුණු ප්‍රමාණය පාලනය කිරීමත් මෙහිදී වැදගත්. නීරෝගී තරුණ පුද්ගලයෙකු දෛනිකව ලබාගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 2.5 ක්. මේ වෙද්දි අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක් නම් ඒ ලුණු ප්‍රමාණය ග්‍රෑම් 1.5 දක්වා අඩුකළ යුතු වෙනවා. වයස අවුරුදු 50 ඉක්මවමින් සිටින අයෙක් නම් ඔබ දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය වෙන්නේ 1.5 ක් තරම් ප්‍රමාණයක්.
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න.සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තුළ නැවුම් එළවළු පලතුරු ධාන්‍ය වර්ග ඇතුළත් වීම වගේම සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල් ආදිය අඩු මට්ටමකයි පැවතිය යුත්තේ .සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් රුධිර පීඩනය රසදිය මිලි මීටර් 11 කින් පමණ අඩු කරගන්නට හැකියාව ලැබෙනවා .
විශේෂයෙන්ම පොටෑසියම් බහුලව අඩංගු වන ආහාරපාන ඔබගේ ආහාර වේලට නිතර එකතු කර ගැනීමෙන් රුධිර පීඩනය අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා. හෘදයට ඉතාම හිතකර ආහාර තමයි පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගත වුණු ආහාර. ඉදුණු කෙසෙල් ගෙඩි, අර්තාපල්, නිවිති, අලිගැට පේර,ස්ට්රෝබෙරි ආදී ආහාර රුධිර පීඩනය යහපත් මට්ටමින් තබා ගන්නට අපිට උපකාරී වෙනවා.

ආතතිය අඩු කරගන්න.හදවතේ නීරෝගීභාවයට මනස අතිශයින්ම වැදගත් වෙනවා. මානසිකව ව්‍යාකූලතා ඇති නොවන ආකාරයට තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කිරීම, මනසට සුවයක් ගෙනදෙන ක්‍රියාකාරකම්වල නිරත වීම, සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම ආදිය ඒ සඳහා වඩා වැදගත්. මනස සැහැල්ලු වන විට මෙලටෝනින් වගේ ඉතාම හිතකර සංයෝග වැඩිවීම හදවතේ රුධිර පීඩනය ඉතා යහපත් මට්ටමින් පවත්වාගෙන යන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
මත්පැන් භාවිතය සීමා කරන්න. විශේෂයෙන්ම ඍජුව ලබා ගන්නා මත්පැන් වගේම නිතර වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇල්කොහොල් අඩංගු කර සකස් කරන ලද අරිෂ්ඨ වර්ග, හෝමියෝපති ඖෂධ ආදියත් භාවිතයේදී සැලකිලිමත් විය යුතු වෙනවා. යම්විටෙක ඇල්කොහොල් අඩංගු ඖෂධයක් වෛද්‍ය නිර්දේශය මත ලබා ගන්නා අයෙක් නම් බාහිරින් ලබා ගන්නා මත්පැන් සම්පූර්ණයෙන්ම නවතා දැමීම කළ යුතු වෙනවා.
ගැඹුරින් හුස්ම ගන්න -ඉතා ගැඹුරු සහ දීර්ඝ හුස්ම ලබා ගැනීම රුධිර පීඩනය ඉතාම යහපත්ව පවත්වා ගන්නට උදව් වෙනවා . සාමාන්‍යයෙන් හෘදය හැකිළෙන විට ඇතිවෙන පීඩනය රසදිය පීඩන ඒකක 120 ක් දක්වා වැඩිවීමත් හෘදය ඉහිල් වන විට රුධිර පීඩන තත්ත්වය අඩුවීම 80 ක් තරම් ප්‍රමාණයත් විය යුතුයි. මේ අගයන් දෙක අතර අන්තරය 40 ක් පමණ විය යුතු වෙනවා.
නමුත් ඇතැම්විට කෙනෙකුගේ හෘදය හැකිළෙන පීඩන 180 ක් හෝ වැඩි අගයක් දක්වා ගමන් කිරීමත්, හෘදය ඉහිල්වුණත් ඔහුගේ පීඩනය 80 ට අඩු නොවී 100ක් පමණ අගයක තිබෙන්නට පුළුවන්.මේ තත්ත්වයන් රුධිර පීඩනය සම්බන්ධයෙන් පැවතිය යුතු හිතකර මට්ටම නොවන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.
දුම්පානය නතර කරන්න-ඔබ පානයට ගන්නා සිගරැට් එකකින් ඔබේ රුධිර පීඩනය වැඩි ප්‍රමාණයකින් ඉහළ යනවා. නමුත් ඔබ දුම්පානය නතර කළොත් රුධිර පීඩනය යහපත් මට්ටමට පවත්වාගෙන යන්නට වගේම හදවත් රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් සමස්ත සෞඛ්‍යයම යහපත්ව තියා ගන්නටත් උපකාරී වෙනවා.
ඒ වගේම නිරන්තරයෙන්ම අපගේ රුධිර පීඩන මට්ටම පරීක්ෂා කර ගැනීම සහ වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමත් මේ අධි රුධිර පීඩනය අඩු කරගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්නට උපකාරී වෙනවා.