රුධිර කැටියක් ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ 7 ක්

health tips

යම් අනතුරක් නිසා අභ්‍යන්තරව හෝ බාහිරව සිදුවන රුධිරය ගැලීමකදී එය නතර වුණේ නැත්නම් පුද්ගලයෙකු මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා රුධිරය ගලන අවස්ථාවක ස්වභාදහමෙන්ම පුද්ගලයාට ලබාදීපු දායාදයක් තමයි රුධිර කැටි ඇතිවීම. ඉතින් රුධිර කැටි ගැසීම කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට හිතකර දෙයක්. නමුත් ඇතැම් අවස්ථාවලදී ශරීරයේ යම් යම් ස්ථානවල අනවශ්‍ය ආකාරයට ලේ කැටි ගැසීම සිදු වන්නට පුළුවන්. විශේෂයෙන්ම මාංශපේශී ආසන්නයේ ඇතුළත ශිරාවල තමයි මේ ආකාරයේ රුධිර කැටි ඇතිවීම සිදු වෙන්නේ. මේ ආකාරයට ඇතුළත පද්ධතියේ රුධිර කැටි ගැසීමක් වුණොත් එය ඉතා වේදනාකාරී වගේම භයානක තත්ත්වයන් ඇති කරන්නට හැකියි. ඒ නිසා රුධිර කැටියක් ශරීරයේ සිරවී ඇත්නම් එය දරුණු බලපෑමක් ඇති කරන්නට පෙර හඳුනා ගෙන ප්‍රතිකාර ලබාගැනීම ජීවිත අවදානම අඩු කරගන්නට හේතුවෙනවා. එසේ රුධිර කැටියක් සිරුරේ ඇති බව හඳුනා ගත හැකි පූර්ව ලක්ෂණ කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ.

රුධිර කැටියක් ඇතිවෙන්නේ යම් දීර්ඝ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන්. බාහිරින් රුධිර නාලයකට හානි වුණොත් මෙසේ රුධිරය කැටි ගැසීම ඉක්මනින් සිදු වෙන්නට පුළුවන්. ඒ හැරුණාම මේ ක්‍රියාවලිය ශරීරය අභ්‍යන්තරයේ ආරම්භ වෙන්නටත් පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ රුධිර නාලයකට හානියක් වුණොත් එක්වරම මෙසේ රුධිර කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ  සඳහා  කාරණා කිහිපයක්ම බලපානු ලබනවා. 

• වැඩි වේලාවක් එක් ස්ථානයක වාඩි වී සිටීම

• දුම්පානය 

• අධික ස්ථුලතාවය 

• උපත් පාලනය සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධ  

• ඇතැම් ශල්‍ය කර්මවලින් පසුව 

මේ රුධිර කැටි වැඩි වශයෙන් පුද්ගලයාගේ පාදයේ අභ්‍යන්තරයේ ඇති ශිරා රුධිර වාහිනී තුළ ඇතිවන බව සොයාගෙන තියෙනවා. ඒවායේ රුධිරය වේගයෙන් ගමන් නොකරන නිසා රුධිර කැටි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් එසේ ඇතිවන රුධිර කැටි ඒ ස්ථානයේ රැඳී නොතිබී ක්‍රමයෙන් රුධිරය සමඟ ඉහළට ගමන් කිරීම සහ ශරීරයේ විවිධ අවයවයන් වෙතට ගමන් කිරීම මගින් හානිකර තත්ත්වයන් ඇති වෙන්නට හැකියාව පවතිනවා. එය මරණය පවා ගෙනදිය හැකි ජීවිතයට වඩා තර්ජනයක් වන රුධිර කැටි බවට පත් වෙනවා.

එවැනි රුධිර කැටියක් මොළයට ගමන් කිරීමෙන් මොළයේ සිරවුණොත් අංශභාගය ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට මරණය පවා ඇති වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. හෘදයට රුධිරය සපයන වාහිනීයක් තුළ මෙවැනි රුධිර කැටියක් සිරවුණොත් එතැනින් ඉදිරියට රුධිර ගමන් නොකිරීම නිසා  හෘදයාබාධයක් ඇති වෙන්නට පුළුවන්. රුධිර කැටියක් පෙනහළු දක්වා ගමන කිරීමේදී අනිත් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතු රුධිරාණුවලට රුධිරය සැපයුම අඩාල කරනවා. එය පෙනහළුවලට මෙන්ම අනෙක් අවයව සඳහා ද ඉතාම අහිතකර තත්ත්වයන් ඇති කරනවා. ඒ නිසා රුධිර කැටියක් හඳුනාගත් විගසම ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.

රුධිර කැටියක් ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ 

  • යටි පතුල් ඉදිමීම හා බාහු ඉදිමීම -රුධිර කැටිය පාදය කරා ගමන් කරන රුධිර නාල  අවහිර කරන අතර එම ස්ථානයේ රුධිරය එක්රැස් වීම නිසා පාදය ඉදිමීමට ලක් වෙනවා.ඒ නිසා ඇවිදින විට පාදය දරදඩු ස්වභාවයක් ගැනීම, යටිපතුල් ප්‍රදේශය ඉදිමුණ ස්වරූපයක් ගැනීම හා පාදයේ පැත්තක වේදනාව මේ නිසා ඇති වෙන්නට පුළුවන්.
  • පාදයේ සහ පාදයේ මාංශපේශීවල වේදනාව –රුධිරය කැටි ගැසීමේ වේදනාව ඇති වෙන්නේ ඉදිමීම හා ඒ අවට ප්‍රදේශය රතු පැහැවීමෙන්. නමුත් ඇතැම්විට ඉදිමුම් පමණක් හෝ රතුවීම පමණක් වුණත් ඇති වෙන්නට පුළුවන්. මේ වේදනාව මාංශපේශීවල තදවීමක් හෝ  ඇඹරීමක් ලෙස වරදවා වටහා ගැනීමෙන් මේ භයානක රුධිර කැටිය ඔබට හඳුනා ගන්නට නොහැකිවීමෙන් වඩාත් බරපතල තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. දෙපා ඉහළ පහළ හසුරවන විට අස්වාභාවික ලෙස බිම වැදීමක්, හෝ ඉදිරියට දිගුවීමක් හෝ උණුසුම් වීමක් වේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු වෙනවා.
  • සම රතුවීම -ශරීරය අස්වාභාවික ලෙස රතුවීමක් හෝ බාහු සහ පාද අසාමාන්‍ය ලෙස උණුසුම් වීමක් පෙන්නුම් කරයි නම් එය රුධිර කැටියක් ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයක් බව වටහා ගත යුතුයි.
  • පපුවේ වේදනාව -පපුවේ ඇතිවන වේදනාවක් හදවතේ රෝගයක් නිසා ඇති වන්නක් ලෙස වටහා ගත්තත් එය සැබැවින්ම රුධිර නාලවල රුධිර කැටි ගැසීමක් නිසා ඇතිවන තත්ත්වයක් වන්නට පුළුවන්. PE ලෙස හඳුන්වන මේ තත්ත්වය තියුණු පිහි ඇනීමක් ලෙස දැනෙනවා. හුස්ම ගැනීම ඉතා වේදනාකාරී එකක් වෙන්නට පුළුවන්. හදවතේ ගැටළු නිසා ඇතිවන වේදනාවට වඩා වෙනස් වන මෙය සෑම ආශ්වාස ප්‍රාශ්වාසයකදීම වේදනාකාරී ස්වභාවයක් ගනු ලබනවා.
  • කෙටි ආශ්වාස ප්‍රාශ්වාස හා හදවත් ගැස්ම-රුධිර කැටිය ශරීරය තුළ ඔක්සිජන් සැපයුම අඩාල කරන අතර ඔක්සිජන් මදිකම නිසා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමට හෘදය වේගවත්ව ක්‍රියා කිරීමට පටන් ගන්නවා. ඒ නිසා කෙටි ආශ්වාස ප්‍රාශ්වාස ඇතිවීම සිදු වෙනවා. ඒ නිසා හදිසි වෙව්ලීමක් හෝ ක්ෂණික ක්ලාන්තයක් වුණත් ඇති වෙන්නට පුළුවන්.
  • අපැහැදිලි කැස්ස 
  • කැස්ස ඇතිවන විට සෙම හෝ රුධිරය පිටවීම 

මේ ලක්ෂණ ඇති විටෙක එය සාමාන්‍ය දෙයක් සේ නොසිතා වහාම වෛද්‍යවරයෙකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගත යුතුයි. එමගින් ඇතිවිය හැකි බරපතල සෞඛ්‍ය ගැටළු පාලනය කර ගන්නට හැකියාව ලැබෙනවා.