මොළයේ ගෙඩියක් හැදීගෙන එන බව කල්තියා හඳුනාගත හැකි ක්‍රම 7 ක්

health tips

මිනිස් මොළය සැබැවින්ම සිරුරේ තියෙන ඉතාමත් ආශ්චර්යමත් ඉන්ද්‍රියක්.මොළය සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්නායුවලින්. ස්නායු පද්ධතිය තුළ වැදගත් වගේම ඉතාමත් සංකීර්ණ අවයවය වෙන්නෙත් මොළය. අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මොළය මගින්. ඒ නිසාම මොළය අපේ දේහයේ පිහිටා  තියෙන්නෙත් ඉතාම ආරක්ෂාකාරී විදියට .ඒ කියන්නේ හිස් කබලෙන් ඉතා ආරක්ෂාකාරීව තමයි මොළය පිහිටා තියෙන්නේ. ඉතින් අපේ දේහයේ වටිනාම ඉන්ද්‍රිය වන මොළය ආශ්‍රිතවත් විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. ඒ අතරින් මොළයේ ගෙඩි ඇතිවීම සිදු වෙනවා. ඒවා පිළිකාමය ගෙඩියක් ද එහෙමත් නැත්නම් පිළිකාමය ගෙඩියක් ද එවැනි ගෙඩියක් හට ගන්නා විට එය අපි හඳුනා ගන්නේ කොහොමද කියන කාරණා බොහොමයක්ම අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ සමඟ.

අපේ ශරීරයේ ඕනෑම ස්ථානයක විවිධ වර්ගයේ ගෙඩි හටගන්නට පුළුවන්. ශරීරයේ කුමන වැදගත් අවයවයක ගෙඩි  හට ගත්තත් පිළිකාමය නොවන ගෙඩියකට වඩා හානිදායක බරපතල ගෙඩි වර්ගය වෙන්නේ පිළිකාමය ගෙඩි. මොළයේ පවා ඇතිවන සාමාන්‍ය පිළිකාවක් නොවන ගෙඩියක් ප්‍රතිකාර මගින් බොහෝදුරට සුවපත් කරන්නට හැකියාව තිබුණත් පිළිකාමය  ගෙඩියක් මොළයේ ඇතිවුණොත් එයින් සුවයක් ලබා ගන්නට බැහැ . මොකද එය මාරාන්තික තත්ත්වයක් වෙන නිසා.

මේ මොළයේ ගෙඩි හටගැනීම සඳහා වයස් භේදයක් නැහැ. අත දරුවාගේ පටන් මහලු පුද්ගලයා දක්වා ඕනෑම අයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මේ මොළය ආශ්‍රිත ගෙඩි මොළයේ ස්නායු ආරක්ෂා කරන මෙනින්ජි පටකවල වගේම, මොළයේ සෛල තුළින්ම හට ගැනීමත් වන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මොළයේ  ඇති කුහර ආශ්‍රිතවත් මොළයට රුධිර සැපයුම ඇති කරන රුධිර වාහිනීවලින් පවා ගෙඩි හට ගන්නවා.මේ සියල්ලම භයානක තත්ත්වයන්. 

මොළයේ ඇතිවන ගෙඩි හෝ වෙනත් ආබාධ පවා හඳුනා ගන්නට ඉතා අපහසුයි. රෝග ලක්ෂණ මතුවෙන්නේ ක්‍රමානුකූලව. ගෙඩි තරමක් දරුණු තත්ත්වයන් මතුවෙද්දි තමයි බරපතල ලෙස රෝග ලක්ෂණ මතුවීමට පටන් ගන්නේ. මෙසේ ඇතිවන රෝග ලක්ෂණ මොළයේ ගෙඩිය හට ගන්නා ප්‍රදේශ අනුව වගේම ගෙඩියේ ප්‍රමාණය මත වෙනස් වෙන්නට පුළුවන්.

මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගන්නට උපකාරී වෙන රෝග ලක්ෂණ 

හිසේ කැක්කුම මොළයේ ගෙඩියක හඳුනා ගන්නට හැකි මූලිකම ලක්ෂණය වෙන්නේ හිසේ කැක්කුම. මේ වේදනාව ක්‍රමයෙන් වැඩිවීම සිදු වෙනවා. ඖෂධ ලබාගත්තත් එයින් සුවයක් ලැබෙන්නේ  නැහැ. දහවල් කාලයේදී විතරක් නෙවෙයි රාත්‍රී  නින්දෙන්  ඇහැරුණු විටත් මේ හිසේ  කැක්කුම පවතින්නට පුළුවන්. උදේ පාන්දර කාලයේදී මේ වේදනාව අධිකව දැනෙනවා. හිසට යම්  දෙයකින් අනිනවා  වැනි අධික වේදනාවක් මේ ගෙඩි හට ගැනීමකදී ඇති වෙන්නට පුළුවන්.

අපස්මාර තත්ත්වය මොළයේ ඇතිවන බොහෝ ගැටළුවලදී අපස්මාර තත්ත්ව ඇති වෙනවා. අපස්මාර රෝගයක් නොතිබුණු කෙනෙක්ට හදිසියේ අපස්මාර තත්ත්වයක් ඇතිවුණොත් එය සලකා  බැලිය යුතු කාරණයක්.

  • වමනය
  • පෙනීමේ ගැටළු 

මොළය තුළ ගෙඩියක් හේතුවෙන්  ඇස්වලට ගමන් කරන ස්නායු තෙරපීමකට ලක් වුණොත් එවිට ඇතිවන මූලිකම ලක්ෂණය වෙන්නේ පෙනීමේ ගැටළු.

ශ්‍රවණ ගැටළු ශ්‍රවණයට  අදාල ස්නායු මොළයේ ගෙඩියක් නිසා තෙරපීමකට ලක් වීමෙන් කන් ආශ්‍රිත ඇසීමේ ආබාධ හදිසියේ ඇති වෙන්නට පුළුවන්.

ශරීරයේ බැලන්ස් එක නැතිව යාම කුඩා මොළයේ ගෙඩියක් හෝ  ගැටළු ඇතිවීමකදී  සිටගෙන සිටීම අපහසු වීම හෝ  ශරීරයේ සමබර බව නැතිවයාම සිදු වෙන්නට පුළුවන්. 

  • අංශයක් පණ නැතිවීම හෝ හිරි වැටීම.
  • මොළයේ පීඩනය වැඩිවීම 

ශරීරයේ පීඩනය මැන බලනවා වගේ මොළයේ පීඩනය මැන බලන්නට බැහැ. ඒ සඳහා විශේෂ  ක්‍රම පවතිනවා. සාමාන්‍යයෙන් මොළයේ පීඩනය වැඩි වීම ඇස් පරීක්ෂාවක් මගින් හා  ෂුශුම්නාව හරහා හඳුනා ගන්නට යම් හැකියාවක් තියෙනවා. මෙසේ මොළයේ පීඩනය වැඩිවෙන්නේ මොළය තුළ විශාල ගෙඩියක්  පවතින විට . මොළය හිස් කබලෙන් ආරක්ෂා වී පවතින නිසා ගෙඩිය විශාල වෙද්දි මොළයට  ප්‍රසාරණය වීමට හැකියාවක් නැති නිසා පීඩනය වැඩිවීම සිදු වෙනවා. මෙහිදී  ස්නායු තදවීමකට ලක්වෙලා මොළය එක් පැත්තකට තල්ලුවීම වගේ දේවල් සිදු වෙනවා. එවිට බරපතල සංකූලතා රෝගියාට ඇති වෙනවා.

මානසික රෝගයක ස්වභාවය යම් අවස්ථාවක මොළයේ ගෙඩියක් වැනි තත්ත්වයදී ඒ පුද්ගලයාට එක්වරම මානසික රෝගයක ලක්ෂණ මතුවීමක් වෙන්නට පුළුවන්. අමතකවීම, හදිසියේ ඇඩීම, කියන දේවල් ගැන වැටහීමක්  නොවීම හෝ හැසිරීමේ වෙනස්කම් ආදිය ඇති වෙනවා.  මේ ලක්ෂණ  මානසික රෝගයක් යැයි සිතා මානසික වෛද්‍යවරයෙකු හමුවට ගියත් එවැනි ලක්ෂණ මොළයේ ගැටළුවක් නිසාවෙන් පවා ඇතිවෙන්නට පුළුවන්.

අපි හැමෝම නීරෝගීව ජීවත් වීමට කැමතියි නේ. ඒ සඳහා යම් යම් රෝග කල්ගත වීමට නොදී හඳුනා ගන්නා එක හරිම වැදගත්. මරණය කරා අපිව ගෙන යන්නට හැකි ඉතාම මාරාන්තික තත්ත්වයක් තමයි අපේ මොළය ආශ්‍රිතව ඇතිවන ගෙඩි.  ඉතින් එවැනි තත්ත්වයක් හටගෙන  ඇති බව කල්තියා  හඳුනා ගන්නට ඒ සම්බන්ධව ඇතිවිය හැකි රෝග ලක්ෂණ ගැන දැනුවත්ව සිටීම හරිම වැදගත් නේ. ඉතින් ඔබට මේ කරුණු කාරණා ඒ නිසා වැදගත් වේවි බෙහෙවින්ම. ඒ වගේම තමයි අපි නොසලකා හරින පුන්චි රෝග ලක්ෂණයකින් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරු කරන්නට හේතුවෙන බවත් ඔබ මතක තියාගෙන මේ කරුණු කාරණා හිතට ගන්න.