තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයක් ඇති බවකල්තියා දැනගත හැකි ක්‍රම 14 ක්

health tips

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා වැඩි දායකත්වයක් සපයන ග්‍රන්ථියක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය හඳුනාගත හැකිය. එනම් සිරුරට අවශ්‍ය තයිරොයිඩ් හෝමෝනය  නිෂ්පාදනය කරනු ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. තයිරොයිඩ් ග්‍රන්ථිය බෙල්ල මධ්‍යයේ සමනල හැඩයට පිහිටා තිබේ.

ශරීරය පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අමතරව  මොලය, වකුගඩු, සම හා අක්මාව යන අවයව වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ද  මෙම ග්‍රන්ථිය වැඩි දායකත්වයක් සපයනු ලැබේ. මේ සා කාර්යයන් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථිය යම් යම් අවස්ථාවල රෝගී වේ. එනම් 

  • තයිරොයිඩ් වැඩි වීම.
  • තයිරොයිඩ් අඩුවීම.
  • තයිරොයිඩ් ගැටිති.
  • තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වයන්.
  • ගලගණ්ඩය.
  • තයිරොයිඩ් පිලිකා 

වැනි රෝග තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති විය හැකිය. මේ ආදී රෝග ඇති වූ විට ඇතැම් පුද්ගලයන්ට රෝග ලක්ෂණ නොපෙන්වන අතර මේ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ගැටළු පවතින්නේද යන්න රෝගියා නොදනී.  තවත් සමහරු රෝග ලක්ෂණ පැවතුනද රෝගය පිළිබඳව දැනුවත් භාවයක් නොමැති නිසා රෝගය උත්සන්න වන තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු නොකරයි. 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව යම් රෝගයක් ඇති විට එය හඳුනාගත හැකි රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ලැබේ. කෙසේ නමුත් පොදුවේ පහත රෝග ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය. 

මාංශපේශී හා සන්ධි වේදනාවක් ඇති වීම.මෙම රෝග ලක්ෂණය හා අත් පා පණ නැති බවක් දැනීම බොහෝ විට ඔබ හදුනා නොගත් තයිරොයිඩ් ගැටලුවක් නිසා ඇති විය හැකි රෝග සංකූලතා වේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙහි අඩු ක්‍රියාකාරිත්වය නිසා කැක්කුම ,තද ගතිය,වේදනාව, මාංශපේශී දුර්වලතා ඇතුළු ගැටලු ඇති කරයි. මෙම තත්වය සාමාන්‍ය සන්ධි වේදනා ඇති කිරීමට හේතූ වේ. එමෙන්ම මාංශ පේශි දුර්වලතා හා තෙහෙට්ටුව සදහා අධිතයිරොඩතාවය හේතූ වේ. 

සුවබර නින්දක් ලබා ගැනීමට නොහැකිවීම. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් පවතින්නේ නම් එය රාත්‍රී නින්දට බාධාවක් වේ. ඒ අනුව සුවපහසු නින්දක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවා කාලයේදී අධික නිදිමතක් මෙන්ම ශරීරයට වෙහෙසක් මහන්සියක් දැනීම සිදුවේ. 

වෙහෙස මහන්සියක් දැනීම. පුද්ගලයින් තමන්ගේ දෛනික ජීවිතයේ වැඩ රාජකාරි කරගෙන යාමේදී වෙහෙසක් මහන්සියක් දැනීම සාමාන්‍ය තත්ත්වයකි. එනමුත් සුළු වැඩ කටයුත්තක දී පවා අධික ලෙස ශරීරයට වෙහෙසක් මහන්සියක් දැනෙන්නේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගයක් නිසා ඇතිවන ගැටළුවක් ලෙස හඳුනාගත හැකිය. 

ශරීර බර වෙනස් වීම. ශරීරබර අඩුවීම මෙන්ම ශරීර බර වැඩි වීම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝග තත්වයක් ඇති බව හඟවන පූර්ව රෝග ලක්ෂණයක් විය හැකිය. එනම් ආහාර හා ව්‍යායාම මගින් බර පාලනය කරන පුද්ගලයෙකුගේ බර තවත් වැඩි වන්නේ නම් එය මන්දතයිරොයිඩතාව ඇති බවට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විය හැකිය. එමෙන්ම  ආහාර පාලනය නොකර හෝ ව්‍යායාම නොකර ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වන්නේ නම් එය අධිතයිරොයිඩතාවය ලෙස හඳුනාගත හැකිය. මේ නිසා හේතුවක් නොමැතිව ශරීර බර අඩු වූවිට මෙන්ම ශරීර බර වැඩි වූ විටද ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ගැටලුවක් ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ විය හැකිය. 

සමේහි ගැටළු ඇති වීම.සමේ ක්‍රියාකාරිත්වය තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිකුත් කරන හොර්මෝන මගින් පාලනය වන නිසා තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ගැටලු සමේ ගැටලුකාරී තත්වයන් ඇති කිරීමට හේතු වේ. තයිරොයිඩ් හොර්මෝන මට්ටම අඩු වීම සම වියළි සුදුමැලි වීම, සමෙහි රැලි වැටීම ,කොරපොතු ඇතිවීම ,සමේ වර්ණය වෙනස් වීම ,සම ඉදිමීම ,බිදෙනසුළු ගන නියපොතු සහ දද මතු වීම මන්දතයිරෝඩතාවයේ ලක්ෂණ වේ. එනිසා සම ආශ්‍රිතව ඇතිවන ගැටලු පිළිබඳවද විමසිල්ලෙන් සිටීම වැදගත් වේ. 

මාසික ඔසප් චක්‍රයේ ගැටළු ඇති වීම -තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු පවතින කාන්තාවන්ගේ මාසික ඔසප් ඔසප් වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. ඒ අනුව ප්‍රමාද වී වැඩිවිය පැමිණීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, වැඩියෙන් හෝ අඩුවෙන් රුධිර වහනය සිදුවීම, ඔසප් වීමේදී වේදනාවක් ඇතිවීම, ඇතැම්විට වද භාවයට පත්වීම ආදී ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ. 

හිසකෙස් ගැලවීයාම-හිස කෙස් ගැලවී යාමට විවිධ රෝගී තත්ත්වයන් බලපානු ලැබේ. එනම් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ගැටලු ඇතිවිට ද හිසකෙස් ගැලවී යාම සිදුවිය හැකිය. ඊට අමතරව හිස කෙස් වියළීම, පැලීම,රළු වීම මෙන්ම ඇහි බැම, පිහාටු ගැලවී යාම ද තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝග ඇති බවට හෙළි කරන රෝග ලක්ෂණ වේ. එනම් අධිතයිරොයිඩතාව ඇති විට හිසකෙස් සම්බන්ධ ගැටලු ඇති වනු ලැබේ. 

ශරීරයට අධික ලෙස සීතල හෝ උණුසුම දැනීම-අධික සීතලට හෝ උණුසුමට බලපාන කිසිදු හේතු කාරණයක් නොමැතිව ශරීරයට අධික ලෙස සීතල හෝ උණුසුම දැනේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. විශේෂයෙන් මන්ද තයිරොයිඩතාවය තුළ අධික උණුසුමේ වුවද සීතල ඇතිවිය හැකිය. එමෙන්ම අධි තයිරොයිඩතාවය තුළ අධික සීතලක වුවද උණුසුම දැනිය හැකිය. මීට අමතරව 

  • ආහාර ගිලීමේ අපහසුතා.
  • මානසික රෝග ඇති වීම. 
  • සමෙහි විවිධ වෙනස් කම් ඇති වීම. 
  • ආහාර ජීර්ණ ගැටළු ඇති වීම 
  • බෙල්ල ආශ්‍රිතව වේදනා ඇති වීම. 

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ තවත් බොහෝ රෝග වල රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. කෙසේ නමුත් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ කිහිපයක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත් වේ. එනම් ඉන් රෝගය කුමක්ද යන්න නිවැරදිව හඳුනාගත හැකිය.