නරක් වී ගෙන එන අක්මාව පවා නැවත යතාතත්වයට පත් කරන හීන් බෝවිටියා පානය

health tips

අපි ගන්නා සෑම ආහාරයකම අධික ලෙස වස විස අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රුධිරයට ඉහළ  ප්‍රමාණවලින් විෂ පදාර්ථ එකතු වෙනවා. මේ විෂ පදාර්ථ බිඳ හෙළන්නට අක්මාව විසින් සිදුකරන ප්‍රතික්‍රියාවලදී දී හටගන්නා අතුරුඵල නිසා අක්මාවට හානි සිද්ධ වෙනවා. ඉතින් අක්මාවට සිදුවන හානි වලක්වා ගන්නට හානි වී ඇති අක්මාව නැවත ප්‍රතිසංස්කරණයය කරන්නට තියෙන සුවිශේෂීම ඖෂධීය ශාකය තමයි හීන්බෝවිටියා කියන්න.  රටේ බහුතරයක් දෙනා අක්මා රෝගීන් වීම නිසාම මේ ශාකය ගැන බොහෝ දෙනෙක් දැනුවත්.  ඉතින් දන්නා නොදන්නා හැමෝටම දැනුවත් වෙන්නට හීන් බෝවිටියාවල ගුණ ගැන කතා කරමු.  

 විසි කරන බීජයක් පවා පැලවෙන අපේ රටේ ඉබේ වැවෙන ඔසු පැල  ඕනෑතරම්. ඒවා අතරින් හීන් බෝවිටියා ශාකය අපේ රටට  ආවේනික වෙච්ච අපූරු ශාකයක්. ඉතාමත් අලංකාර දම් පාට මලක් පිපෙන  මේ හීන් බෝවිටියා පැලයක් ඔයාගෙත් නිවසේ වගා කර ගන්න එක හරිම වැදගත්. මොකද ඖෂධීය ගුණ විතරක් නෙමේ ආහාරමය වටිනාකමත් ඉතා ඉහළ  නිසා.

බහු වාර්ෂික ශාකයක් වන මෙහි එකිනෙකට සමාන්තරව පිහිටි පත්‍ර තරමක් ඝන කොළ පැහැයෙන් දකින්නට පුළුවන්. පත්‍රවල මද වශයෙන් බූව දකින්නට පුළුවන්. ඒ වගේම කොළවල ඉරි තුනක් ලෙස රේඛා පවතිනවා.හීන් බෝවිටියා ශාකයේ මල පෙති පහකින් යුක්ත අතර එය දම් පැහැයෙන් යුත් අලංකාරවත් එකක්. පඳුරක් ලෙස වර්ධනය වන හීන් බෝවිටියා ශාකයේ කුඩා අතු ශක්තිමත් බවින් අඩුයි. පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තයි. බෝවිටියා ශාක අතර හීන් බෝවිටියා, මහ බෝවිටියා සහ එළ බෝවිටියා වශයෙන් වර්ග කිහිපයක් පවතිනවා. ඒ අතුරින් හීන් බෝවිටියා රෝග රාශියකටම ගුණදායක ඖෂයක් ලෙසට ජනතාව අතර ප්‍රචලිතයි.

හීන් බෝවිටියා ශාකයේ හට ගන්නා කුඩා දම් පැහැ ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගන්නවා.මේ හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ වශයෙන් වගේම දළු ඉතා රසවත්ව සම්බෝලයක් වශයෙන් සකසා ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි දළු මැල්ලුම් වශයෙන් ව්‍යංජන වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම හීන් බෝවිටියා පස්පංගුවම තම්බා හෝ තේ පානයක් ලෙසත් අපිට භාවිතයට ගැනීමේ  හැකියාව පවතිනවා.

 ඈත අතීතයේ ඉඳලම අක්මාවේ විවිධ රෝගාබාධ සඳහා විතරක් නෙවෙයි වෙනත් රෝගාබාධ සඳහාත් මේ හීන් බෝවිටියා ශාකයේ කොළ, පොතු, මුල් , මල් ගෙඩි ආදී සියල්ලම භාවිතයට ගෙන තියෙනවා. 

හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය ගුණ

  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.
  • අක්මාවේ තෙල් දිය කර හරිනවා.
  • අර්ශස් රෝග සමනය කරනවා.
  • පිළිකා සෛල විනාශ කරනවා.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • පාචනයට ගුණදායකයි.
  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. මෙය හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කිහිපයක් ලුණු නොදමා හිස් බඩ පානය කිරීමෙන් සුවය ලැබෙයි.
  • හීන්  බෝවිටියා කැඳ උදෑසන කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරය සිසිල් කරනවා. 
  • රුධිරය පිරිසිදු  කරනවා.
  • මුත්‍රා   දැවිල්ල නැති කරනවා.මේ සඳහා හීන්බෝවිටියා සම්පූර්ණ ශාකයම තම්බා පානය කළ හැකියි.
  • බඩ පුරවා දැමීම නසාලනවා 
  • විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරනවා.
  • පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වනවා.
  • අනවශ්‍ය  ලෙස දහදිය දැමීම වළක්වනවා .
  • දියවැඩියා රෝගය සුවපත් කරනවා.
  • ආහාර රුචිය ඇති කරනවා.
  • සිරෝසීස් අක්මා ප්‍රදාහය ඇතුළු අක්මා රෝගවලට ගුණදාකයි.

සියලුම අක්මා රෝග සඳහා මුස්සැන්ද, යකිනාරං මොනරකුඩිම්බිය සහ මුං ඇට දමා සකස් කරන කැඳ මාසයක පමණ කාලයක් සතියකට දින කිහිපයක් භාවිතා කිරීම ගුණදායකයි. එමගින් හානි වුණු අක්මාව නැවත ප්‍රකෘතිමත් කරන්නට හැකියාව ලැබෙනවා. 

අක්මා රෝග සඳහා හීන් බෝවිටියා කැඳ සකස් කිරීමේදී පොල් කිරි හෝ ලුණු එකතු නොකර සකසා දීම වැදගත්. (මේ කැඳ දිනපතා පානය කිරීම සුදුසු නැහැ.)

හීන් බෝවිටියා ව්‍යංජනය 

හීන් බෝවිටියා කොළ හොඳින් තම්බා හොඳින් අඹරා ගෙන එය මැටි මුට්ටියකට දමා එයට සිහින්ව ලියාගත් රතුළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා සහ උම්බලකඩ එකතු කරන්න. අවශ්‍ය පමණට තුනපහ, ගොරකා හා සියඹලා එකතු කර දියකිරි දමා ලිප තබා හිදී ගෙන එද්දී මිටි කිරි එකතු කර හොදින් පැහෙන විට ලිපෙන් ඉවත් කර අවශ්‍ය  පමණට ලුණු එකතු කර ගන්න. 

  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. 
  • බඩේ ඉදීමීමකින් තොරව කීපවරක් බඩඑලියේ යනවිට හීන්බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් සුවයක් ලඟා කරගත හැකියි.
  • හීන් බෝවිටියා ව්‍යංජනය හා සලාදය දිනපතා දවස 5-7 ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.

තම්බා පානය කිරීම 

  • හීන් බෝවිටියා කොළ, පොතු, කඳ, මුල් ආදි සියල්ලේම ඇත්තේ ඉතා ඉහළ ඖෂධීය ගුණයක්. තේ වෙනුවට තම්බා පානය කිරීමෙන් ගුණ රැසක් ලබා ගන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීම අර්ශස් රෝගයට ඉතා ගුණදායකයි. නමුත් සතියකට දෙවරක් තුන්වරක් ඉදහිට පානය කිරීම මිස දිනපතා පානය කිරීම සුදුසු නැහැ.

ඉතින් හීන් බෝවිටියා ශාකය සෑම නිවසකම තිබිය යුතු පැරැන්නන් විවිධ රෝග සඳහා ආහාර කොටගත් වටිනා ශාකයක්. එබැවින් සෑම නිවසකම වගා කරගත යුතු ඖෂධීය පැලෑටියක්.