විසර ගෙඩි, සැරව ගෙඩි, විසප්පු ආදි නොයෙක් ආකාරයට හඳුන්වන විසර ගෙඩි ඉතාම වේදනාකාරී තත්ත්වයක්. ඉඳගන්නට, නිදියන්නට පවා ඉතා දැඩි ලෙස අපහසුතා ගෙන දෙන මේවා සැරව පිරුණු ගෙඩියක් ලෙසයි හඳුන්වන්නේ. ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම ස්ථානයක මේ විසර ගෙඩි අභ්‍යන්තරව වගේම බාහිරවත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් බොහෝදෙනා පීඩා විදින විසප්පු නැත්නම් විසර ගෙඩි ඇතිවීම පිළිබඳව සහ ඒවාට කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳවයි අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ.
විසර ගෙඩි ශරීරයේ ලේ විෂවීමක් නිසා ඇතිවෙන්නට හැකි තත්ත්වයක් ලෙසටයි බොහෝදෙනෙක් මේ තත්ත්වය හඳුනා ගන්නේ. මේ විසර ගෙඩි බැක්ටීරියාවලට එරෙහිව ශරීරය සිදු කරන සටනේ ප්‍රතිඵලයක් ලෙස මිය යන සුදු රුධිර සෛලත් විනාශ වූ පටකවල මිය ගිය සෛලත් මත වැගිරුණ පටක තරලයත් එක්ව සැරව සෑදී ක්‍රමයෙන් එක්රැස් වීමෙන් විසර ගෙඩි හටගනු ලබනවා. සැරවවල පීඩනය වැඩිවන විට ගෙඩියේ මුදුනේ ඇති දුර්වල ස්ථානයෙන් සැරව පිටතට කාන්දුවීමක් ද වෙනවා.එවිට පැවති දරුණු වේදනාව අඩුවී තාවකාලික සහනයක් දැනෙනවා. නමුත් නැවත ප්‍රතිකාර නොකළහොත් නැවත සැරව පිරීම සිදු වන්නට පුළුවන්.
කොහොමනමුත් විසර ගෙඩි හටගත්විට ඒ විසර ගෙඩි නිතර ස්පර්ශ කිරීම මිරිකීම ආදිය නොකළ යුතුයි. එවිට රුධිරයට විෂබීජ ඇතිවීමට හැකියාව පවතිනවා. එමගින් රුධිරය මගින් ඒ බැක්ටීරියා ශරීරයේ තවත් ස්ථානයකට ගමන් කිරීමෙන් ඒ ඒ ස්ථානයෙත් විසර ගෙඩි හට ගන්නට හැකියාව පවතිනවා.
මේ විසර ගෙඩි අපේ ශරීරයේ තට්ටම් ප්‍රදේශයේ, ලිංගාශ්‍රිතව කිහිලි යට, ඉකිලි යට ප්‍රදේශවල, පාදවල බහුල වශයෙන් ඇතිවෙනවා. ඒ හැරුණාම ඇතැම් විට මොළයේ අක්මාවේ ආදී ශරීරය අභ්‍යන්තරයේ පවා මෙවැනි විසර ගෙඩි ඇතිවෙන්නට පුළුවන්. ඒවා බාහිරව ඇතිවන ගෙඩිවලට වඩා තරමක් භයානක ඒවා වෙනවා.මේ විසර ගෙඩි හේතුවෙන් තුවාලයක් හට ගැනීම සිදු වෙනවා. මේ විසර ගෙඩි හටගන්නා අවස්ථාව, ඉන්පසු පැසවීමට ආසන්න අවස්ථාව ආදී වශයෙන් විසර ගෙඩිය වර්ධනය වනවිට ඇතිවන රෝග ලක්ෂණයන් ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වගේම විසර ගෙඩියේ අවධීන් අනුව ස්වරූපය අනුව සිදුකරන ප්‍රතිකාරත් වෙනස් වෙනවා.
විසර ගෙඩි ඇති වෙන්නට බලපෑ හැකි සාධක

- පිරිසිදුභාවය නොමැති වීම විශේෂයෙන්ම අධෝමාර්ගය ආශ්‍රිතව බොහෝදෙනෙක්ට ගෙඩි ඇතිවෙන්නේ පිරිසිදු බව අඩුවීම කියන කාරණය නිසාවෙන්.
- ශරීරයේ අධික උෂ්ණය
- කාන්තාවන්ට නිසි පරිදි ඔසප් චක්‍රය ක්‍රියාත්මක් නොවීම
විසර ගෙඩි ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කාණ්ඩ
- විවිධ හේතූන් මත ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්
- පිළිකා රෝගවලට කීමෝ තෙරපි ලබා ගන්නා අය
- දිගුකාලීන ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ ලබා ගන්නා අය
- දියවැඩියා රෝගීන්
- මත්ද්‍රව්‍ය නිතර භාවිතා කරන අය
- ඒඩ්ස් රෝගීන්
විසර ගෙඩිවල ලක්ෂණ
- විසර ගෙඩිය හට ගන්නා ස්ථානය තද රතු පැහැයක් ගැනීම
- සම තද ගතියක් ගැනීම
- සාමාන්‍ය වේදනාව පසුව ක්‍රමයෙන් වැඩිවීම
- ඒ ප්‍රදේශය ඉදිමීම
- ඒ ස්ථානයේ උෂ්ණත්වය වැඩිවීම
- උණ ගැනීම
- වසා ගැටිති ඉදිමීම
- ශරීරය කහ පැහැවීම
මේ ලක්ෂණය බොහෝවිට ඇතිවෙන්නේ අක්මාවේ විසර ගෙඩි ඇතිවූ විටකදී.
- ස්නායු ආබාධ , වලිප්පුව, මානසික වෙනස්කම් ආදී ලක්ෂණ මොළයේ සැරව ගෙඩි ඇතිවීම නිසා දකින්නට පුළුවන්.
- කෑම අරුචිය
- කෙට්ටුවීම
- විඩාව
ප්‍රතිකාර

- රත් කුඹල් මැටි, කුඹුරු දළු යුෂවලින් අඹරා විසර ගෙඩිය සම්පූර්ණයෙන්ම වැසෙන සේ ආලේප කරන්න. මේ ප්‍රතිකාරයෙන් ගෙඩිය බොහෝදුරට විසිරී යනවා. මෙය සිදුකළ යුතු වෙන්නේ ආම අවස්ථාව කියන විසර ගෙඩිය හට ගන්නා මුල් අවස්ථාවේදී.
- රතු ළූණු ගෙඩියක් පුළුස්සා එය එළගිතෙලින් අඹරා විසර ගෙඩියේ තුන්වරුවක් ආලේප කරන්න.
පැසවීමට ආසන්න විටදී කළ යුතු ප්‍රතිකර්ම
- බුරුල්ල දළු හාල්පානු වතුරෙන් අඹරා විසර ගෙඩියේ ආලේප කරන්න.
- කෝමාරිකා මද, නෙල්ලි, මුං ඇට හාල් පාණු දියෙන් තම්බා අඹරා ආලේප කරන්න .
- රණවරා දළු ,කැකුළු හාල්, හාතවාරිය අල, බෙහෙත් අනෝදා ,කොළ, අමු කහ පොල් කිරෙන් තම්බා අඹරා ආලේප කරන්න.
- රණවරා දළු, වැල්මී එළකිරෙන් තම්බා අඹරා ගිතෙලින් අනා ආලේප කරන්න.
- පිටවක්කා කොළ, සියඹලා කොළ දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.
විසර ගෙඩියකට ප්‍රතිකාර කිරීමේදී එය පැසවීමට් පත්විය යුතුයි. ඒ සඳහා විසර ගෙඩිය පැසවීම සඳහා වූ ප්‍රතිකර්ම සිදු කළ හැකියි. ඉන්පසුව විසර ගෙඩිය පැසවීමෙන්ම පසුව පලා සැරව ඉවත් කර තුවාලය පිරිසිදු කර ඖෂධ ගලවනු ලබනවා. එහිදී ඉතා ඉක්මනින් තුවාලය සුව කිරීමට හැකියාව ඇති ඖෂධ සකස් කරගත යුතුයි. ඒ සඳහා පහත සඳහන් ඖෂධ වඩාත් සුදුසුයි.
- අමු කහ සහ උදුපියලිය කොළ එකට අඹරා තුවාලයේ ගල්වන්න.
- තල ඇට සහ අමු කහ කොහොඹ එකට අඹරා තුවාලයේ ගල්වන්න.
- උදුපියළිය කොළ අඹරා වෙනිවැල් ඇට සමඟ ගලගා එළගිතෙලින් අනා තුවාලයේ ආලේප කරන්න.
මේ ප්‍රතිකාර බාහිරව ඇතිවන විසර ගෙඩි සඳහා භාවිතා කළ හැකි නමුත් අභ්‍යන්තර විසර ගෙඩි සඳහා වෙනම ප්‍රතිකර්ම පද්ධතියක් පවතින බව මතකයේ තබා ගන්න. ඒ සඳහා අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.