ශරීර ගතවු සර්ප විෂ පැය 24ක් යන්න කලින් ඉවත් කරන කුප්පමේනියා ශාකයේ ගුණ 20 ක්

health tips

කුප්පමේනියා කිවූ සැණින් ඔබට සිහි ගැන්වෙන දෙයක් තමයි කුප්පමේනියාවලට බළලුන් සතු දැඩි කැමැත්ත. නමුත් බළලුන් විතරක් නෙවෙයි බළල් පවුලේ (ෆෙලිඩේ පවුල / felidae family  සියලුම සාමාජිකයන් වෙන  කොටි, ව්‍යාඝ්‍ර, සිංහ සහ දිවියන් යන සියල්ලෝම මේ ශාකයට ඇල්මක් දක්වනවා. මේ පැළෑටියක් ගලවා බළලෙකුගේ ඇඟට දැමූ විට එහි මුහුණ අතුල්ලමින් ඒ මත පෙරළී පසුව එහි මුල් දලු සහ කොළ කෑමට පටන් ගන්නවා. ඔවුන්ගේ මේ දැඩි ඇල්මට හේතුව වෙන්නේ කුප්පමේනියා පැලෑටිය සතු ට්‍රාන්ස් ලෙක්ටා ලැක්ටෝන් කියන රසායන ද්‍රව්‍ය හේතු කරගෙන ඇතිවන ගන්ධයයි. සාමාන්‍යයෙන් බළලාගේ ප්‍රියතම ආහාරයක් වුණු කුප්පමේනියා මලේ සුවඳ මීටර් 50 ක් පමණ දුරකට දැනෙන බව කියවෙනවා. ඒ නිසාම මේ බළලුන් තමන්ට අසනීපයක් ඇති වූ විට මේ කුප්පමේනියා සොයා ගොස් ආහාරයට  ගන්නවා.

නමුත් කුප්පමේනියා බළලුන්ට විතරක් නෙවෙයි මිනිසුන් වුණු අපිටත්  බොහෝ රෝගාබාධ සුවපත් කර ගන්නට භාවිතා කරන්නට පුළුවන්. ඖෂධයක් වශයෙන් වගේම ආහාරයක් ලෙසටත් කුප්පමේනියා පැලෑටිය සතු වටිනාකම ඉතාම ඉහළයි. ඔන්න අපි අද කතා කරන්නේ ඖෂධීය වටිනාකම් රැසකින් සමන්විත කුප්පමේනියා ශාකය පිළිබඳවයි.

Euphorbiaceae  කුලයට අයත් වෙන කුප්පමේනියා පැලෑටිය පහතරට වියළි කලාපයේ දකින්නට ලැබෙනවා. මේ පැලෑටිය  මීටර් 1 ½ -2 පමණ උසට වැඩෙනවා. පත්‍රවල සියුම් බූවක් දකින්නට ලැබෙනවා. කුඩා ඍජු කඳක් සහිත මේ පැලෑටිය වාර්ෂික පැලෑටියක්. ඖෂධ සඳහා මේ පැළෑටියේ කොළ, මල්, මුල් ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතයට ගනු ලබනවා. කුප්පමේනියා ශාකය සතුව ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, යකඩ, මේදය, විටමින් C , තන්තු , පොස්පරස්, ආදී පෝෂක අන්තර්ගත වෙනවා. ඒ නිසාම මේ කුප්පමේනියා ශාකය කොළ කැඳ සකස් කිරීමේදී වගේම මැල්ලුවම් වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් පුළුවන්.ඒ විතරක් නෙවෙයි මේ කුප්පමේනියා කොළ සමඟ ආඩතෝඩා කොළ, මිංචි කොළ, කොත්තමල්ලි කොළ වේලා කුඩුකර ගෙන තේ මෙන් සකසා පානය කරන්නටත් හැකියාව තියෙනවා.

කුප්පමේනියාවල ඔසු ගුණ 

  • චර්ම රෝග සුව කරයි.
  • මල බද්ධය වළක්වයි.
  • ඉරුවාරදය සුව කරයි.
  • පිළිස්සුම් තුවාල සුව කරයි.
  • ස්නායු රෝග සඳහා ගුණ ලබාදෙයි.
  • කැස්ස ඇදුම ආදී රෝග සුවපත් කරයි.
  • උණ සුව කරයි.
  • මුත්‍රා  අඩිස්සිය දුරලයි.
  • අර්ශස් රෝගයට ගුණදෙයි .
  • පණු රෝග සුව කරයි.
  • ළදරුවන්ගේ සෙම් රෝගවලට ගුණදෙයි.
  • නින්ද නොයාමට ගුණදෙයි.
  • ශරීරයේ උෂ්ණය නැති කරයි.
  • දත් කැක්කුම සහ කන් කැක්කුම සුව කරයි.
  • සන්ධිවල ඉදිමුම්වලට සහනය සලසයි.
  • වාත රෝග නසයි.
  • සෙම්ගෙඩි සුව කරයි.
  • සර්ප විෂ නසයි. 

කුප්පමේනියාවල ඖෂධීය භාවිතයන් 

  • සන්ධි ඉදිමුම් සඳහා කුප්පමේනියා කොළ යුෂ දෙහි යුෂ තල තෙල් ලුණු සමඟ මිශ්‍රකර සන්ධි මත ආලේපයෙන් ඉදිමුම් තත්ත්වය සුව කර ගන්නට හැකියාව තියෙනවා.
  • සර්ප විෂ සඳහා කුප්පමේනියා කොළ  කැඳ පානය සකස් කරදීම සර්ප විෂ සමනයට වඩා සුදුසුයි.
  • මුත්‍රා අඩිස්සිය දුරුකර මුත්‍රා හොඳින් පිටවීම සඳහා කුප්පමේනියා කොළ ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්‍රා  අඩිස්සිය දුරු කර ගන්නට පුළුවන්.
  • විරේචනය සඳහා කුප්පමේනියා මුල් ඇල්දියෙන් තලා ලබාගත් යුෂ පානය මේ සඳහා සුදුසුයි.
  • පිළිස්සුම් තුවාල සඳහා කුප්පමේනිය කොළ තලා පිළිස්සුණු ප්‍රදේශවල ආලේප ඉරීමෙන් සහනය සලසා ගත හැකියි.

කුප්පමේනියා  කොළ සම්බෝලයක්  සකසා ගන්නා ආකාරය මුලින්ම කුප්පමේනියා කොළ ටික හොඳින් සෝදා ගන්න. පසුව දිය බේරා ගෙන එය සිහින්ව ලියා ගන්න. ඉන්පසුව එයට සිහින්ව ලියාගත් රතු ළූණු,  අමු මිරිස්, උම්බලකඩ, ගා ගත් පොල් ආදිය සහ අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස්  සහ දෙහි එකතු කර හොඳින් මිශ්‍රකර ගෙන රස බලන්න.

සැලකිය යුතුයි.ජානගත අසාත්මිකතා ඇති පුද්ගලයන් කුප්පමේනියා ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් වීම වැදගත්. එවැනි අයට ඇතැම් විට කුප්පමේනියා ආසාත්මික වීමෙන් ලේ වමනය,  මුත්‍රා  සමඟ ලේ පිටවීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට හැකියාව තියෙනවා. එබැවින් එවැනි පුද්ගලයන් මේ ශාකය ඖෂධ පිණිස භාවිතයට ගැනීමට පෙර සහ ආහාරයට ගැනීම පෙරත් වෛද්‍ය  උපදෙස් ලබා ගන්න.