ශරීරගත ඉදිමුම් සමනය කරන නීරමුල්ලිය 

health tips

ජලාශ ආශ්‍රිතව හොඳින් වැඩෙන නීරමුල්ලිය ශාකය ආයුර්වේදය තුළ නොයෙක් රෝග සුව කිරීම සඳහා බහුලව භාවිතා කරන  තවත් එක් ඖධීය ශාකයකි. එනම් ඉකිරිය නමින් හඳුන්වන මෙම ශාකය මීටර් 1.25 ක් පමණ උසට වැඩේ. එනම් Acanthaceae කුලයට අයත් බහුවාර්ෂික ශාකයක් වූ නීරමුල්ලිය ශාකය කටු සහිත ශාකයකි. එමෙන්ම මෙහි හටගන්නා පත්‍ර දිගටි බූවා සහිත පත්‍රවේ. එමෙන්ම මෙම ශාකයේ විශේෂත්වය වනුයේ සුදු මල් පිපෙන එක් වර්ගයක් සහ නිල් මල් පිපෙන තවත් එක් වර්ගයක් ලෙස වර්ග දෙකක් පැවතීමයි.  නමුදු බහුලව ඇත්තේ නිල් පැහැති වර්ගයයි. 

නීරමුල්ලි ඖෂධයක් ලෙස ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන අතර ආයුර්වේදයට අනුව නීරමුල්ලිය ශීත හා වීර්ය ගුණ සහිත ඖෂධයකි. මධුර අම්ල  සහ තිත්ත රසින් යුක්තවේ. 

ආයුර්වේදය තුළ නීරමුල්ලිය යොදා සකස් කළ පෙති වර්ග, කසාය ,චූර්ණ ,අරිෂ්ට ආදිය බොහොමයක් පවතී. ඊට අමතරව ආයුර්වේදය තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද නීරමුල්ලිය යොදා ගෙන කරන ප්‍රතිකාර රැසක් පවතී. 

නීරමුල්ලිය ඖෂධීය භාවිතය.  

ස්නායු දුර්වලතා ඇති වීම වළක්වා ගැනීම සඳහා භාවිතා කළ හැකිය.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින ස්නායු රෝග ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම මව්කිරි වර්ධනය කරගැනීමට ඖෂධයක් ලෙස නීරමුල්ලිය හෙවත් ඉකිරිය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා පැසී වියළුණු ඉකිරිය ඇට ඖෂධ ලෙස ආයුර්වේදය තුළ යොදා ගනී. 

ඇස්වල ඇතිවන තුවාල සඳහා ඔසුවක් වේ.ඇස් ආශ්‍රිතව ඇතිවන තුවාල සුව කර ගැනීම සඳහා නීරමුල්ලිය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් නීරමුල්ලිය පුළුස්සා නිවා එම දුම ඇස් වලට ඇල්ලීමෙන් ඇස් වල තුවාල ඉක්මනින් සුව කරගත හැකිය. 

මූත්‍ර රෝග සඳහා ඔසුවක් වේ. නීරමුල්ලිය වඩාත් ප්‍රචලිත වන්නේ මුත්‍ර රෝග සුව කිරීම සඳහාය. එනම් මුත්‍ර අඩස්සිය සමනය කිරීමට, මුත්‍රා ගල් ඉවත් කිරීමට,මුත්‍රා දැවිල්ල සමනය කිරීමට, නීරමුල්ලිය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් නීරමුල්ලිය ශාකයේ අඩංගු පොටෑසියම් සල්ෆේට් සහ පොටෑසියම් ක්ලෝරයිඩ් මේ සඳහා ඖෂධයක් වේ.  එමෙන්ම උණ රෝගීන්ගේ මුත්‍රා හොඳින් පිටකර උණ ඉක්මනින් සුව කර ගැනීම සඳහා ද නීරමුල්ලිය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. 

මුත්‍ර ගල් දිය කර හරී. වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින මුත්‍ර ගල් දියකර හැරීම  සඳහා  නීරමුල්ලිය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඇතිවූ මුත්‍ර ගල් දිය කර හැරීම සඳහා නීරමුල්ලිය මුල් ,ලුණුවරණ පොතු , කලං 6 බැගින් ගෙන කෂාය කර පානය කිරීම මගින් මූත්‍ර ගල් දියකර හැරිය හැකිය. ඊට අමතරව පොල්පළා, නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පානය කිරීම යෝග්‍ය වේ. 

සර්ප විෂ ඉවත් කරයි.ආයුර්වේදය තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද සර්ප දෂ්ටනය හේතුවෙන් ඇතිවන විෂ ඉවත් කිරීමට බොහෝ ඖෂධ භාවිතා කරයි. එනම් එවැනි ඖෂධ අතර නීරමුල්ලිය යනු තවත් එක් වටිනා ඖෂධයකි. සර්පයෙකු දෂ්ට කළ විට එම විෂ ඉවත් කිරීම සඳහා නීරමුල්ලිය ශාකය ගෙන තම්බා හෝ කැද සකස් කර එම පුද්ගලයාට ලබාදීම තුළින් මුත්‍රා සමඟ සර්ප විෂ ඉවත් කරගත හැකිය. 

ඉදමුම් සමනය කිරීම සඳහා ඔසුවක් වේ.අත් පා ආශ්‍රිතව ඇතිවන ඉදමුම් සුවකර ගැනීමට නීරමුල්ලිය ශාකය ගෙන තම්බා එම ජලයෙන් කකුල් සහ අත් සේදීම මෙන්ම දෙපා එම ජල බඳුනට දමා තැවීම මගින් එම ඉදමුම් සුව කර ගත හැකිය. අධි රුධිර පීඩනය ඇත්නම් මෙම ප්‍රතිකාරය සුදුසු නොවේ 

ලිංගික බෙලහීනතාවය සමනය කිරීම සඳහා ඔසුවක් වේ. ලිංගික බෙලහීනතාවය පවතින පුද්ගලයින්ට එය සුව කර ගැනීමට මෙන්ම ශුක්‍රාණු වර්ධනය කිරීමට නීරමුල්ලිය ඔසුවක් ලෙස යොදා ගත හැකිය. 

රක්තහීනතාවය සඳහා ඔසුවක් වේ.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය ඇති වනු ලැබේ. මෙම රෝග තත්ත්වය සුව කරගැනීම සඳහා ආයුර්වේදය තුළ පවතින තවත් එක් ඔසුවක් ලෙස නීරමුල්ලිය හැඳින්විය හැකිය. එනම් නීරමුල්ලිය ඔසුවක් ලෙස භාවිතා කිරීම මගින් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනයේ වැඩි කරගත හැකිය. විශේෂයෙන්ම අක්මාව ඉදිමීම, මැලේරියාව වැනි රෝග නිසා ඇති වන රක්තහිනතාවය සමනය කර ගැනීම සඳහා  නීරමුල්ලිය භාවිතා කිරීම යෝග්‍ය වේ. මෙම රෝගය හැරුණු විට 

  • අක්මා රෝගයන්ට  
  • අධි රුධිර පීඩනය සමනය කිරීමට  
  • දියවැඩියාව පාලනයට 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට 
  • හෘද රෝග පාලනයට    
  • ශරීර ශක්තිය වර්ධනයට ගැනීමට 

ආතරයිටිස් රෝගයට ආදී වූ රෝග ඇති වීම වළක්වා ගැනීමට ඖෂධයක් ලෙස නීරමුල්ලිය යොදා ගත හැකිය. නමුත් එසේ ඖෂධයක් ලෙස භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.